මහා බඩවැල හා කුඩා බඩවැල සම්බන්ධවූ තැන පිහිටා ඇති සෙන්ටිමීටර 5 ත් 10 අතර දිගින් යුත් කුඩා නාළාකාර අවයවය උණ්ඩකපුච්ඡය ලෙස හැදින්වේ. මෙම නාළයේ සිදුර මහ බඩවැලට විවෘත වෙන අතර බොහෝ දෙනකුගේ උදර කුහරයේ දකුණු පැත්තෙන් පහළ කොටසේ පිහිටා ඇත. උණ්ඩකපුච්ඡ ප‍්‍රදාහයෙන් බොහෝ පිරිස් පීඩා විඳිති. ඒ ගැන ඔබ දැනුම්වත් කරන්න අපි වෛද්‍යතුමන් සමඟ සාකච්ඡා කළෙමු.
මෙම තත්ත්වය ඇතිවන වයස් ප‍්‍රභේද තිබේද?
උණ්ඩකපුච්ඡයේ ආසාදනයක් ඇතිවූ විට එය උණ්ඩකපුච්ඡ ප‍්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිට්ස් ලෙස හැදින්වේ. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් වයස 30 ට අඩු තරුණ වයසේ පසුවන ස්ත‍්‍රී සහ පුරුෂ යන දෙපක්‍ෂයටම ඇතිවීමේ ප‍්‍රවණාතාවක් තිබේ. එසේ වුවද කුඩා දරුවන්ට හා මහල්ලන්ටද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙම පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය ඇතිවූ විට ප‍්‍රතිශක්තිය අඩු බැවින් තරුණ වියේ පසුවන පුද්ගලයන්ට වඩා සංකූලතා වැඩිවීමේ ප‍්‍රවණතාවක් දක්වයි. මුළු ජීවිත කාලය තුළම මෙම රෝගය සෑදෙන ප‍්‍රවණාතව 8.6% ක් පිරිමින්ටද, 6.7% ක් ගැහැනුන්ටද ඇතිවන බව සමීක්ෂණවලින් හෙළිවී ඇත. දියුණුවල රටවල ජනාකීර්ණ නගරවල වෙසෙන වැසියන්ට මෙම තත්ත්වය සෑදීමට ඇති ඉඩකඩ ගම්බද ජනතාවට වඩා වැඩිබව ලෝක සමීක්‍ෂණ මගින් පෙන්වාදී තිබේ. මෙයට හේතුව නගරබද ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහාර රටාව යැයි උපකල්පනය කළ හැකිය.
මෙම තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද?
නගරබද වෙසෙන ළමා හා තරුණ පුරපුර තන්තුවලින් අඩු හා තෙල් හා මේදය වැඩි ආහාරවලට ඇල්ම හා භාවිතය වැඩිවීම නිසා මෙම රෝග තත්ත්වය වැඩිවීමේ ප‍්‍රවණතාවක් ඇතිබව පෙනී යයි. උණ්ඩකපුච්ඡයේ ආසාදනයට නිශ්චිත හේතුවක් සොයාගැනීමට අපහසු වුවත් නොයෙකුත් බැක්ටීරියා හා වයිරස් මගින් මෙය සිදුවිය හැකි බව අනුමාන කළ හැකිය. එහෙත් සමහර අවස්ථාවලදී කුඩා අසූචි ගුලි උණ්ඩකපුච්ඡය තුළ හිරවූ විට එය ආසාදන තත්ත්වයකට ඉතා ඉක්මනින් ලක්වේ. අහාරවලින් විෂබීජ ඇතුළුවී ඇතිවන පාචනය වැනි රෝග තත්ත්වලින් පසුව මෙම රෝගය ඇතිවිය හැකිය.
මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?
මෙහි ඇති වැදගත්ම රෝග ලක්‍ෂණය වනුයේ බඩේ කැක්කුමක් ඇතිවීමයි. මෙය මුලින්ම බඩේ හෝ නාභිය වටේ පමණක් පටන්ගෙන පැය කීපයක් තුළදී (පැය 24 ට අඩුකාලයක් තුළ) බඩේ පහළ දකුණු පැත්තට විහිදී යයි. පසුව එම කැක්කුම බඩේ පහළ දකුණු පැත්තේ නතර නොවී දිගටම පවතී. ඊට අමතරව උණ ගතිය, වමනය, කෑම අරුචිය, මළ බද්ධය, බඩ බුරුල්කර යෑම, මුත‍්‍රා දැවිල්ල හා නිතර නිතර මුත‍්‍රා පිටවීම වැනි ලක්‍ෂණ දැකිය හැකිය. මෙහි රෝග ලක්‍ෂණ ඇතිවූ විට ඉතා ඉක්මනින් ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් කරුණකි.
මෙම රෝග ලක්‍ෂණ ඇතිවූ වහාම ශල්‍යාගාර පහසුකම් සහිත රෝහලකට ඇතුළුවී හෝ තම පෞද්ගලික වෛද්‍යවරයා මුණගැසීම ඉතා වැදගත්වේ. ශල්‍ය වෛද්‍යවරයකු හමුවනතුරු වේදනානාශක ඖෂධ නොගෙන සිටීම ද මෙම රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට පහසුවකි. විශේෂයෙන් ගුද මාර්ගයෙන් ඇතුළු කරන වේදනානාශක ඖෂධ මගින් රෝගය හඳුනාගැනීම ප‍්‍රමාදවීමට ඉඩ ඇති අතර ඔබේ වෛද්‍යවරයා හමුවීමට පෙර එවැනි ඖෂධ භාවිතයෙන් වැළැකී සිටීම වැදගත්ය. එමගින් නිවැරදි ප‍්‍රතිකාර සඳහා රෝගියා කලින් යොමුකිරීමට හැකියාව ලැබේ.
මෙම තත්ත්වයට ඇති ප‍්‍රතිකාර මොනවද?
උණ්ඩකපුච්ඡයේ ඇතිවන සුළු ආසාදන තත්ත්වයක් ප‍්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් සමනය කළ හැකි අතර ආසාදනය උග‍්‍ර තත්ත්වයේ පවතින අවස්ථාවලදී රෝගියා ශල්‍යකර්මයකට අත්‍යවශයෙන් යොමු කළ යුතුවේ. මෙය උදරයේ පහළ දකුණු කොටසින් උදරය විවෘත කර බොහෝ දුරට සාමාන්‍ය ක‍්‍රමයෙන් කළ හැකිය. මීට අමතර මෙය කැමරාවක ආධාරයෙන් (ලැපරස්කොපි) සෙන්ටිමීටර 1 ක පමණ සිදුරු තුනක් ආධාරයෙන්ද ඉවත් කළ හැකිය. සමහර විට මෙම ක‍්‍රමයේ අපහසුතාවක ඇතිවූ විට සාමාන්‍ය ක‍්‍රමයට ශල්‍යකර්මය කිරීමට සිදුවේ. ශල්‍යකර්මයෙන් පසුව පැය 24-48 අතර කාලයකින් පසු සාමාන්‍ය ආහාර ගත හැකිවේ. සංකූලාතාවක් ඇති නොවුව හොත් ශල්‍යකර්මයෙන් පසුව දින 2-3 කින් රෝගියාට නිවෙසට යා හැකිය. ශල්‍යකර්මයෙන් අනතුරුව 15% සහ 20% පමණ පුද්ගලයන්ට සංකූලතා ඇතිවීමට පිළිවන. මින් ඉතාම බහුලම ඇතිවන සංකූලතාව නම් තුවාලය පැසවීමයි.
මෙම ආසාදනයෙහි ඇති භයානක තත්ත්ව මොනවාද?
කලාතුරකින් උණ්ඩකපුච්ඡ ආසාදනය වැඩි වී එය පුපුරා ගොස් බඩේ සෑම තැනම විෂබීජ පැතිරී භයානක තත්ත්වයක් උද්ගත විය හැකිය. එවන් අවස්ථාවලදී ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් කර උණ්ඩකපුච්ඡෙය ඉවත්කර උදර කුහරය සෝදා පිරිසුදු කිරීම හැකි ඉක්මනින් කළ යුතුය. ඉන්පසු ප‍්‍රතිජීවක ඖෂධ සතියක් පමණ එන්නත් කිරීමට සිදුවේ.
උණ්ඩකපුච්ඡයේ ආසාදනය නිසා රෝගීන්ගේ ජීවිතවලට අවදානම් තත්ත්වයක් ඇතිවන්නේ කලාතුරකිනි. මෙය විශේෂයෙන්ම උණ්ඩපුච්ඡය පුපුරා විෂබීජ බඩපුරා පැතිර ඇතිවිට අවදානම වැඩිවේ. ගැහැනු දරුවන්ගේ මෙම රෝග තත්ත්වය ඉක්මනින් හඳුනාගෙන එයට ප‍්‍රතිකර්ම කිරීමෙන් ඩිම්බකෝෂ හා ඒ ආශ‍්‍රිත පැලෝපීය නාළවල පසුව ඇතිවන තත්ත්ව වළක්වා ගත හැකිය.
මෙය හඳුනාගන්නා පර්යේෂණ මොනවාද?
උණ්ඩකපුච්ඡයේ ආසාදනය වෛද්‍යවරයකු ප‍්‍රධාන වශයෙන් හඳුනාගන්නේ රෝගියා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. රුධිර පරීක්‍ෂණවලින් පමණක් රෝග තත්ත්වය නිගමනය කළ නොහැක. එහෙත් සමහර රුධිර පරීක්‍ෂණ මෙම රෝග තත්ත්වය හඳුනාගැනීමට උපකාරීවේ. ස්කෑන් පරීක්‍ෂණය ද මේ තත්ත්වය හඳුනාගැනීමට ලොකු පිටිවහලක් වුවද අත්‍යවශ්‍යයම නොවේ. එක්ස්රේ මගින් මෙම රෝග තත්ත්වය හඳුනාගත නොහැක. එහෙත් වකුගඩු සිට මුත‍්‍රා පෙරන නළයේ ඇති ගල්වලින්ද මේ හා සමාන රෝග ලක්‍ෂණ ඇතිවන බැවින් එක්ස්රේ පරීක්‍ෂණය මෙහිදී මහත් පිටිවහලක්වේ.
රෝගීන්ට ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?
මෙම තත්ත්වය ඇතිවූ විට සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත් කරුණකි. ශල්‍යකර්මයක් සඳහා රෝහලට ඇතුළු වූ විට ශල්‍යකර්මය කිරීමේ තීරණය ගන්නා තෙක් නිරාඅහරව සිටීම වැදගත්ය. ඖෂධහල් වලින් වෛද්‍ය උපදෙස්වලින් තොරව ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් වැළැකී සිටීම ඉතා වැදගත්ය.
නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යධම්මික වික‍්‍රමසේකර