කතුන් ලෙඩ කරවන නිහඬ සතුරා


අස්ථි බිඳීමකින් දැනගන්නා නිහඬ රෝගය

ඔස්ටියෝපිරෝසිස් හැඳින්වෙන්නේ නිහඬ රෝගයක් ලෙසය. එය වැළඳී ඇති පුද්ගලයකු තමාට ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇති බව නොදනී. එය හඳුනාගැනෙන්නේ රෝගියකු බිම වැටීමකදී අස්ථියක් බිඳිනු විටදීය. ඔස්ටියෝපොරෝසිස් රෝගය කුමන තත්ත්වයක්ද යන්න ගැන අවබෝධ කරගැනීම අප කාටත් යහපත ගෙනදෙන කරුණකි.

● ඔස්ටියෝපොරෝසිස් රෝගයේ වැදගත්කම කුමක්ද?

මෙය ලොව වටා බහුලව දක්නට ලැබෙන රොගී තත්ත්වයකි. නවතම සමීක්‍ෂණවලින් දන්වා ඇත්තේ අවුරුදු 55 ට වැඩි පුද්ලයන්ගෙන් 1/3 කට මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බවය. එයින් 85% ක් කාන්තා පක්‍ෂයවේ.

● ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ඇති අවධානම කුමක්ද ?

මෙය නිහඬ රෝගයක් වන අතර පුද්ගලයකුට එය ඇති බව නොහැඟේ. එහෙත් එය ඔහුට හඳුනා ගැනීමට හැකි වන්නේ ඔහු බිම වැටී අස්ථියක් බිඳුන අවස්ථාවකදීය. එබැවින් මෙම රෝගය වැළඳීම වැළැක්විය යුතුය. ඒ සඳහා කුඩා කාලයේ සිටම කළ යුතු ක්‍රියාමාර්ග පිළිපැදිය යුතු අතර රෝගයට ගොදුරුවිය හැකි අධි අවදානම් පුද්ගලයන් කලින් හඳුනාගත යුතුය.

● ඔස්ටියෝපොරෝසිස් රෝගයේදී අස්ථි බිඳීමට ඉඩකඩ වැඩි ඇයි ?

අපගේ සිරුරේ ධාරණ ශක්තිය බර ඉසිලීම හා සෘජු කාය විලාශය පවත්වා ගැනීමට අස්ථි උපකාරී වේ.

එය කැල්සියම් හා ප්‍රෝටීනවලින් සමන්විත ව්‍යුහ එකතුවී සෑදී ඇත. මෙම කැල්සියම් හා ප්‍රෝටීන් නිරතුරුවම සිරුර තුළ අලුත්වැඩියාවේ.

 වයසට යෑමේදී නොයෙකුත් රෝගී තත්ත්ව හා ඖෂධවල ක්‍රියාවන් නිසා මෙම අස්ථි තුළ ඇති කැල්සියම් හා ප්‍රෝටීන්වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවය හීනවී යයි එවිට එම ස්ථි තුළ ඇති ශක්තිය හා සිරුරේ ධාරණ ශක්තියද අඩුවේ.

සාමාන්‍ය නිරෝගී පුද්ගයකු වාඩිවී සිටින උසකින් හෝ සිටගෙන සිටින උසින් බිම වැටුණහොත් එම පුද්ලයා අස්ථි බිඳීමට ලක් නොවේ. නමුත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවූවකු එවැනි උසකින් වැටුණ විට පවා අස්ථි බිඳීමට ලක්වේ.

● මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩි කාටද ?

අවදානම වයසත් සමග වැඩි වන අතර කාන්තා පුරුෂ දෙපක්‍ෂයේදීම මේ වන විට අස්ථිවල කැල්සියම් හා ප්‍රෝටීන හීනවීම වයසට යාමත් සමග සිදුවේ. ආර්තවහරණය සිදුවුණ කාන්තාවන්ගේ අස්ථි ඝනත්වය ශීඝ්‍රයෙන් අඩුවීමද මේ රෝගයට රුකුලක්වේ.

තවද දියවැඩියාව වැනි රෝග හා ස්ටෙරොයිඞ් ඖෂධ අවශ්‍ය වන රෝග සහිත පුද්ගලයන්ගේ මෙසේ අස්ථි හීනවීම වැඩිබැවින් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිවේ. සිරුරේ බර ඉතා අඩු පුද්ගලයන් හා ආර්තවහරණය නිසි වයසට කලින් සිදුවූ කාන්තාවටද මෙය වැළඳීමේ ඉඩකඩ වැඩිය.

● ඔබ මුලින් පැවැසූ පරිදි ඔස්ටියෝපොරෝසිස් රෝගය නිහඬ රෝගයක් නිසා එය ඇති බව යමෙකු හඳුනාගන්නේ කෙසේද ?

රෝග ලක්‍ෂණ රහිත බැවින් මේ රෝගය පිටතින් නොපෙනෙන රෝගයකි. එය හඳුනා ගැනීමට අස්ථිවල ඝනත්වය මැනිය යුතුය. ඒ සඳහා ඩෙක්සා ස්කෑන් නැමැති පරීක්‍ෂණය යොදාගෙන උකුල් අස්ථිය හා කොඳුඇට පෙළේ අස්ථිවල ඝනත්වය මැනිය හැක. එමගින් මෙම රෝගය හඳුනාගත හැක.

● මෙම පරීක්‍ෂණයට පෙනී සිටිය යුත්තේ කවුරුන්ද ?

ඉහත දක්වා ඇති පරිදි ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි පුද්ගලයන්ට වෛද්‍ය නිර්දේශය මත මෙම ඩෙක්සා ස්කෑන් පරීක්‍ෂණය දැනට කරනු ලැබේ. කෙසේ වෙතත් වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාම මෙම පරීක්‍ෂණයට පෙනී සිට අස්ථි ඝනත්වය මැන බැලීම වඩා යෝග්‍යවේ.

● ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් බහුලව බිඳීමට පාත්‍රවන අස්ථි මොනවාද ?

ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවූවකුට ඕනෑම අස්ථියක් බිඳීමේ ප්‍රවණතාවක් ඇත. එහෙත් උඩබාහුවේ අපර කොටසේ අස්ථි, උකුල් ඇටය සහ කොඳු ඇට පෙළේ අස්ථි වැඩිපුර බිඳීමට භාජනය වන අස්ථිවේ.

මෙහිදී වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණක් වන්නේ වයස්ගතවූවකුගේ උකුල් අස්ථිය බිඳීගිය විට විශාල මුදලක් වැය කර කෘතිමව එම සන්ධිය ස්ථාපනය කිරීම අවශ්‍යයි. නැතහොත් එම පුද්ලයා මියයාමට පවා අවධානමක් ඇත.

● ඔස්ටියෝපොරෝසිස් රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

අස්ථි බිඳීමක් සිදුවී පැමිණෙන රෝගියකු විශාල වේදනාවක් සිහිතව පැමිණෙන බැවින් එම වේදනාව පාලනය කිරීමේ ඖෂධ පළමුව දෙනු ලැබේ. උකුල් අස්ථිය බිඳීමක් වූ විට කෘතිම සන්ධියක් සම්බන්ධ කිරීම සිදුකෙරේ.

ඉන්පසු අස්ථිවල ඝනත්වය වැඩිකිරීමට ප්‍රයෝජනවත් වන ඖෂධ යොදාගැනේ. ඇන්ටි රෙසෝප්ටිව් ඖෂධ හෙවත් අස්ථි අවශෝෂණය වීමේ ඖෂධ වර්ග යොදා ගැනේ. ඒ සමග කැල්සියම් හා විටමින් ඩී අඩංගු ඖෂධ ද භාවිත කෙරේ.

● මෙම රෝගයේදී අස්ථියක් බිඳීමේ අවධානම අඩුකර ගන්නේ කෙසේද ?

මෙහිදී ඔස්ටියෝපොරෝසිස් යයි රෝගය නිර්ණය කළ රෝගීන් හා වයසට පත්ව ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට පත්වීමට ඉඩ ඇති රෝගීන් සියලුදෙනා අස්ථි බිඳීමට වැඩියෙන්ම හේතුවන ‘වැටීම’ වළක්වා ගත යුතුය.

මේ සඳහා තමා ජිවත්වන පරිසරය වැටීම්වලට ලක්වීමට තුඩු දෙන අවස්ථා අවම කළ යුතුය. එනම් නිවසේ පොළොව මට්ටම් කිහිපයක තිබීම නුසුදුසුය. පොළොව මත ජලය තැන්පත්ව තිබීම ලිස්සා යාමට තුඩු දෙයි. තවද නිවසේ පඩි වැඩියෙන් තිබීමද සුදුසු නොවේ. නමුත් එසේ පඩි අඩු සංඛ්‍යාවක් හෝ තිබෙන ස්ථානවල අල්ලා ගෙන බැසීමට අත් ආධාරක තිබීම වැදගත්ය. තවද සවස් කාලයේ අඳුර වැටෙන විට නිවස ආලෝකවත් කර තැබීමෙන් වැටීමෙන් සිදුවන අස්ථි බිඳීම් වළක්වා ගත හැක. තවද අස් පෙනීම අඩු අය ඇස් පෙනීම වර්ධනය වන ක්‍රම යෙදිය යුතුය. සන්ධි රෝග ඇති අය ඒ සඳහා ප්‍රතිකාර ගෙන අපහසුව ඇවිදීම අවම කිරීමෙන් වැටීම් වළක්වාගත හැක.

● වැටීමෙන් අස්ථි බිඳීම වැළැක්විය හැකි තවත් ක්‍රම තිබේද ?

මෙහිදී ව්‍යායාම කිරීම වැදගත්ය. එනම් ඇවිදීම හා බර ඉසිලීම වැනි ව්‍යායාම මගින් මාංශ පේෂීවල ශක්තිය වැඩිකර ගැනීමෙන් සිරුරේ ධාරන ශක්තිය වැඩිවී සිරුරේ සමබරතාවද වැඩිවේ. එමගින් වැටීමට ඇති ඉඩකඩ බොහෝ දුරට අඩුකළ හැක. ඒ වාගෙම ශක්තිමත් මාංශ පේෂී තිබීමේදී බිමට වැටුණත් අස්ථි බිඳීමේ අවදානම අඩුවේ. එනම් අවට ඇති ශක්තිමත් මාංශ පේශී එම අස්ථි ආරක්‍ෂාකරන නිසාය. කැල්සියම් හා විටමින් ‘ඩී’ අඩංගු ආහාර ගැනීමෙන් අස්ථිවල ශක්තිය වැඩිවන අතර වැටීමට ඇති අවකාශයද අඩුවේ. එනම් විටමින් ‘ඩී’ මගින් මාංශපේෂීන් ශක්තිමත් කිරීමක් සිදුවේ.

● කැල්සියම් හා විටමින් ‘ඩී’ අඩංගු ආහාර මොනවාද ?

කිරි නිෂ්පාදිත (යෝගට්, චීස්, අයිස් ක්‍රීම්, මුදවපු කිරි), කුඩා මාළු, රනිල කුලයේ ආහාර (බෝංචී, කවුපි), මීට අමතරව උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් අපගේ සම තුළ විටමින් ‘ඩී’ නිපදවේ.

● කුඩා කළ සිට ඔස්ටියෝපොරෝසිස් රෝගයට ඇති අවධානම අඩුකර ගන්නේ කෙසේද?

ඉතා වැදගත් කරුණක් වන්නේ වැඩෙන කුඩා දරුවන්ට අස්ථි වර්ධනය හා ශක්තිය වැඩීමට කැල්සියම් හා විටමින් ‘ඩී’ අඩංගු ආහාර වැඩියෙන් ලබාදීමයි. මෙය දරුවා ඉපදුන දාසිට ආරම්භකළ හැක. එනම් මවිකිරිවලින් ආරම්භ කිරීමයි. තවද දරුවා කෙමෙන් වර්ධනය වන විටද නිසි කැල්සියම් ප්‍රමාණයක් ලබාදිය යුතුය. එනම් කිරි හා කිරි ආහාර, කුඩා මාළු, හාල් මැස්සන් වැනි ආහාර හා සැම විටම දරුවාට පිපාසයක් ඇතිවන අවස්ථාවල කෘතිම බීම වෙනුවට කිරි අඩංගු ආහාර සහ කිරි ලබාදීම වැදගත්ය.

ඊළඟ වැදගත් කරුණ ව්‍යායාමයි. ඇවිදීම, බර දැරීම උපයෝගි කරගන්නා ව්‍යායාම එනම් කුඩා කළ සිටම රගර්, ක්‍රිකට්, වැනි ක්‍රීඩාවල යෙදවීම හා නැටුම් (උඩරට, බටහිර) වල යෙදීමට ඉතා වැදගත්ය.

තවද කුඩා කල සිට හඳුනාගෙන ක්‍රියාවේ යෙදෙන ව්‍යායාම, ආහාර පුරුදු, තරුණ රැකියාවල යෙදන කාලයේ හා වැඩිහිටි වසයට පත්වන කාලය දක්වා දිගටම පවත්වා ගැනීමද වැදගත්වේ.

(නවලෝක රෝහලේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ)