කඳ සුරිඳුන් මුහුදු රළින් නාවයි


නැගෙනහිර පානම ඔකඳ දේවාලය හෙවත් ශ‍්‍රී මුරුගන් දේවාලයේ වාර්ෂික දියකැපීමේ මංගල්‍යය උතුරු නැගෙනහිර දෙපළාතේ හින්දු වන්දනාකරුවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් අවසන් විය.

පානම ගම්මානයට කිලෝ මීටර් දාසයක් දුරින් පානම- කුඩම්බිගල අභය භූමියේ කෙළවරක සහ කුමන ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුව ආසන්නයේ පිහිටි ඔකඳ දේවාලයට පෙරදින රාත‍්‍රී වන විට පනස් දහසකට ආසන්න පිරිස් පැමිණ ගස් යට සහ එළිමහනේ ඉඩ ඇති තැන්හි නවාතැන් සලසා ගනිති. මෙසේ පැමිණි බැතිමතුන් ලිප් සාදාගෙන තමන්ට අවශ්‍ය නිර්මාශ ආහාර පමණක් පිළිියෙල කරගනිති. පසුදින පාන්දර තමන් විසින් දෙවියන්ට පිළියෙළ කරන මුරුතැන් බත් සකසන්නේ ද මේ ආකාරයට ම ය.

බස්, වෑන්, ටිපර්, ඇතුළු බැතිමතුන් පැමිණි වාහන ප‍්‍රමාණය ද, දහස ඉක්මවා තිබිණි. සමහරු බොට්ටු වලින් පැමිණෙති. කතරගම මහ දේවාලය බලා පාද යාත‍්‍රාවේ යන බැතිමතුන්ගෙන් සතියකට පෙර හිස් වූ දේවාල භූමියට වැඩිම පිරිසක් මෙලෙස පැමිණෙන්නේ මෙම දියකැපීමේ මංගල්‍යයට එක්වීමටය. දේවාල බිම විසිතුරු බඩු, රෙදිපිළි ඇ`දුම් ආයිත්තම්, රසකැවිලි ආදිය විකුණන, තාවකාලික කඩ මෙන්ම ආහාරපාන විකුණන ආපනශාලා වලින් ද සමන්විත ය.

මුුරුගන්, ස්කන්ධ වැනි විවිධ නම් වලින් හඳුන්වන කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස්ස ස්ථානය ලෙස හඳුන්වන මෙතැන, අතීතයේ දී නැව් තොටක් තිබු බව ද, ජනප‍්‍රවාදයේ කියැවෙයි. ස්කන්ධ කුමාරයා පැමිණි රන් ඔරුව මෙතැනදි ගල් කළ බව කියැවෙන අතර දේවාලය අසල පිහිටි විශාල කලු ගල ‘‘රන් ඔරු ගල’’ ලෙස හැදින්වේ.

 ‘‘රන් ඔරු ගල’’ පාමුල පිහිටි ඔකඳ දේවාලයේ වාර්ෂික පෙරහර උත්සවයෙන් පසුව කතරගම දෙවියන්ගේ දේව රූපය ලී දෙකක් මත තැනූ මැස්සක තබාගෙන දේවාලය වටා පැදකුම් කර බැතිමතුන්ගේ ‘‘හරෝ හරා’’ හඬ මැද මීටර් පන්සියයක් පමණ දුරකින් පිහිටි මුහුදු වෙරළට පෙරහරින් වැඩම කරවනු ලබයි.

එහිදී ගොඩට එන දිය රළකින් දේව ප‍්‍රතිමාව නෑවීම දිය කැපීම ලෙස හඳුන්වයි. දේව රූපය මුහුදු රළින් දිය නෑවීම අනුගමනය කරමින් පැමිණි සියලූ බැතිමතුන් තමන් ඇඳ සිටින වස්ත‍්‍ර පිටින්ම මුහුදු රළින් ඇඟ තෙමාගෙන දේව රූපය ආපසු වැඩම කරවන පෙරහරට එක්වෙති. මෙය පානම අම්පිටිය දේවාලයේ දිය කැපීමේ මංගල්‍යයේ චාරිත‍්‍රයට සමාන ය.

721-001 721-002 721-003 721-005