ගැබිනි මවට පෝෂණයත් වැදගත්


නිරෝගිමත් කිරිකැටියකු පතන මවක් ගැබ් ගැනීමට සැලසුම් කරන දින සිට ඒ සඳහා සූදානම් වියයුතුය. නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සමබල ආහාර ඔස්සේ නිසි පෝෂණයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. එබැවින් ගැබිනි සමයේ පෝෂණය ගැනත් මවක් දැනුම්වත්වීම ප‍්‍රයෝජනවත්වේ.

ගැබිනි මවකගේ පෝෂණය කෙසේ වියයුතුද?

දරුවකු පිළිසිඳ ගැනීමට බලා ඉන්න අම්මා කෙනෙක් දෙදෙනෙක්ට කෑම කන්න  ඕනෑ යැයි අපේ මතයක් තිබේ. වැඩියෙන් ආහාර ගැනීමේ හොඳ මෙන්ම නරක පැත්තක්ද තිබේ. ඊට හේතුව නම් වැඩිපුර කැලරි ප‍්‍රමාණයක් මවට ලැබීමෙන් අධි බර තත්ත්වයට පත්විය හැකිය. අධිබර තත්ත්වයට පත්වූ විට ගැබිනි සමයේ හෝ ගැබ් ගැනීමට සූදානම් වන අවස්ථාවේ පවා ගැටලූකාරී තත්ත්ව මත ගබ්සාවීමේ අවදානමක් පවතී.

ගැබිනි සමයේ අධිබර හේතුවෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතිවිය හැකිය. ගැබ් ගැනීමට පෙර ඔබේ බර වැඩිනම් ගැබිනි සමය වන විට ඔබේ බර තවත් වැඩිවේ. ගැබ් ගැනීමට සූදානම් වන කාන්තාවක් මුලින්ම තමන්ගේ සිරුර සෞඛ්‍ය සම්පන්නව තබාගත යුතුය. තමන් ආහාර ගැනීමේ සමබල ආහාර වේලක් ලබාගැනීම ඉතා සුදුසුය. එමෙන්ම ව්‍යායාම තුළින් ක‍්‍රියාශීලී කාන්තාවක්වීම ගැබ්ගැනීමට වැදගත්වේ.

ගැබිනි මවකගේ බර කෙසේ වියයුතුද?

ගැබ්ගැනීමෙන් පසු ද දරු ප‍්‍රසූතිය දක්වා තමන්ගේ සිරුරේ බර ශරීර ස්කන්ධ දර්ශකයට අනුව ක‍්‍රමවත්ව තබා ගැනීම නිරෝගී දරුවකු බිහිකිරීමට ඉවහල් වේ. එමෙන්ම කාන්තාවකගේ බර නියමිත ප‍්‍රමාණයට වඩා අඩුනම් එය තවත් ගැටලූකාරී තත්ත්වයකි. ශරීර ස්කන්ධ දර්ශකය 18 වඩා අඩුනම් එම කාන්තාව බර අඩු කාණ්ඩයට වැටේ. මෙවැනි බර අඩු තත්ත්ව යටතේ ආර්ථවය නිසි පරිදි සිදු නොවීම, නොමේරූ දරුවන් බිහිවීම, බරින් අඩු දරුවන් බිහිවීම දැකිය හැකිය.

ශරීර ස්කන්ධ දර්ශකය 19 ත් 25 අතර නම් උසට සරිලන නියමිත බර ප‍්‍රමාණයෙ පවතින අතර 25 ත් 30 ත් අතර නම් වැඩිබර කාණ්ඩයට වැටේ. එහිදී සමබල ආහාර වේලක් ලබාගත යුතු අතර බර අඩුකර ගැනීමට ව්‍යායාම කළ හැකිය.

ශරීර ස්කන්ධ දර්ශකය 30 ත් 35 ත් අතර අධි බර කාණ්ඩයමට වැටෙන කාන්තාවක් නම් නොමේරූ දරුවන් බිහිවිය හැකිය. එමෙන්ම ආර්ථවය සිදු නොවීම, දරුවා බිහිකිරීමට අපහසුවීම, බරින් වැඩි දරුවන් බිහිවීම සහ ගබ්සාවීමේ අවදානම, අධිරුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම වැනි තත්ත්ව ඇතිවිය හැකිය. එබැවින් ගැබ් ගැනීමට ප‍්‍රථම නිරෝගිමත් සිරුරකට හිමිකම්කීම ඉතා වැදගත් කරුණකි.

ෆෝලික් ඇසිඞ් ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?

ගැබි ගැනීමට සූදානම්වන අවස්ථාවේ සිට ෆෝලික් ඇසිඞ් මයික්‍රෝගෑම් 400 ක පෙත්තක් දිනපතා ලබාගත යුතුය. අප ලබාගන්නා තද කොළ පැහැති පලාවර්ගවල ෆෝලික් ඇසිඞ් අඩංගුවේ. දැනටමත් බර වැඩි සහ රුධිරයේ සීනි මට්ටම වැඩි මෙන්ම ගබ්ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවක් නම් ෆෝලික් ඇසිඞ් මිලිග‍්‍රෑම් 5 ක් පමණ දිනකට ලබාගත යුතුය. ගැබ් ගෙන පළමු සතියේදී ෆෝලික් ඇසිඩ් පෙත්ත ලබාගැනීම ඉතාවැදගත්වේ. එමගින් කුස තුළ වර්ධනය වන දරුවාගේ කශේරුකාව, මොළය සහ ස්නායුවර්ධනයට එය ඉතා වැදගත්වේ.

ගැබිනි මවට යකඩවල වැදගත්කම කුමක්ද?

යකඩ මගින් සිදුවන්නේ මවට සහ දරුවාට රුධිරය මගින් ඔක්සිජන් රැගෙන යාමයි. ගැබිනි මවුවරුන් අතර යකඩ අඩුකම හේතුවෙන් රක්තහීනතාව සුලභව දක්නට ලැබේ. ලෝකයේ ගැබිනි මවුවරුන් අතර 40 ක් පමණ රක්තහීනතාවයෙන් පෙළේ. රක්තහීනතාව නිසා මළදරු උපත්, දරුවාගේ වර්ධනය සීමාවීම, දරුවා ඉපදී මියයාමේ අවදානම් තත්ත්ව ඇතිවිය හැකිය. යකඩ අඩංගු ආහාර ලෙස තෙල් මට්ටම අඩු මස්වර්ග, මාළු, කජු, කොළ පැහැති පළාවර්ග (ගොටුකොළ, සාරන, නිවිති, මුරුංගා කොළ, කතුරුමුරුංගා, තම්පලා)  බිත්තර දැක්විය හැකිය.

විටමින් සී අඩංගු පලතුරු, එළවළු ආහාරයට එක්කර ගැනීමෙන් යකඩ සිරුරට අවශෝෂණය කිරීමට උදවුවේ. නිරාඅහරව සිට යකඩ සහිත අතිරේක ආහාර හෝ යකඩ පෙති දොඩම් යුෂ සමඟ ලබාගන්නේ නම් එය සිරුරට හොඳින් අවශෝෂණයවේ.

විටමින් ඩී ලබාගත හැකි ආහාර මොනවාද?

ගැබිනි කතකට දිනකට විටමින් ඞී මයික්‍රෝග‍්‍රෑම් 10 ක් ලබාගත යුතුය. උදෑසන හිරුඑළියට නිරාවරණයවීමෙන් විටමින් ඩී ලබාගත හැකිය. ශරීරය ආවරණය වන පරිදි දිග ඇඳුම් ඇඳීම, දිගු කාලීනව මවුකිරිදීම, එක දිගට ගැබ් ගැනීම, මාංශ ආහාර නොගැනීම විටමින් ඩී ඌණතාවට බලපායි. සැමන්, කෙලවල්ලා, බිත්තර කහ මදය, චීස්, යොදය සහිත කිරි සහ ධාන්‍යවර්ගවලින් විටමින් ඩී ලබාගත හැකිය.

ආහාරයට එකතු කරගත යුත්තේ මොනවාද?

එළවලූ වර්ග පහක් දිනකට ආහාරවේලට එකතු කරගන්න. ඊට තද කොළ පැහැති පළාවර්ග (නිවිති, ගොටුකොළ, තම්පලා) තැඹිලි පැහැති එළවලූ වර්ගයක් (කැරට්, වට්ටක්කා, බීට්) සහ පැඟිරි කුලයට අයත් පලතුරු වර්ගයක් හෝ දෙකක් ආහාරයට එක්කර ගන්න. නිවුඩ්ඩ සහිත සහල්  ආහාරයට එක්කර ගැනීමේදී, පාන්, ධාන්‍ය වර්ග, පැස්ටා, අලවර්ග ආහාරයට එක්කර ගැනීම වැදගත්වේ. සතියකට දෙවරක් හෝ තෙල් සහිත මාලූ වර්ගයක් (සැමන්, කෙලවල්ලන්) ආහාරයට එක්කරගන්න. අවම වශයෙන් දිනකට වතුර වීදුරු 8 ක් වත් පානය කළ යුතුය.

ගැබිනි සමයේ සිදුකෙරන පරීක්‍ෂණ මොනවාද?

එෆ්.බී.සී. පරීක්‍ෂණය මගින් රතු රුධිරාණු (හිමෝග්ලොබීන්) ප‍්‍රමාණය අඩුවී දැයි නිරීක්‍ෂණය කිරීමට හැකිය. ගැබිනි සමයේ සිදුකරන අතර මවට එච්.අයි.වී., හෙපටයිටීස් බී, ලිංගාශ‍්‍රිත රෝග ඇද්දැයි හඳුනාගනී. එමෙන්ම සමහර අවස්ථාවල මවට පැපොල තත්ත්වයක් ඇතිවී ඇත්නම් එයද හඳුනාගැනීමට හැක. මවට පැපොල තත්ත්වයක් ඇතිවූ විට එය දරුවාටද බලපෑ හැකිය. ආර්.බී.සී. පරීක්‍ෂණය මගින් මවගේ රුධිර සීනි මට්ටම දැනගත හැකිය. මවගෙන් මවට වෙනස්වන පරිදි තයිරොයිඩතා, තැලසීමියා ඇතුළු අනෙකුත් පරීක්‍ෂණ සිදුකෙරේ.

DSC02173

(නවලෝක රෝහලේ ප‍්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රෝෂාන් ෂෙයිරිඩ්න් සෙයිඩ්)