ගැහැනියක් විදිහට ජීවිතේ ලැබුණු හොඳම සම්මානය මගේ විවාහය


2016-06-10-ent-142

සන්ධ්‍යා කියන්නේ කොළඹ මුඩුක්කු පරිසරයක ජීවත් වුණ සුන්දර ගැහැනියක් නෙමෙයි. යකඩ ගැහැණියක්. ඈ කා අතරත් ජනපි‍්‍රය වුණේ මුඩුක්කුවේ සන්ධ්‍යා නමින්. පාතාලය මත්ද්‍රව්‍ය ඇගේ ජීවිතේට අමුතු දේවල් නෙමෙයි. දුක සතුට කියන දේ සන්ධ්‍යාටත් පොදු වුණු දෙයක්. ඇය මුඩුක්කුවේ සන්ධ්‍යා තමයි. ඒත් හැම ගැහැණියකටම පොදු වුණ දේවල්, වගේම හැම ගැහැණියකටම තියෙන සිතුම් පැතුම් ඇයටත් තිබුණා. ඒත් මේ සමාජ විෂමතාවය ඇගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කළා.

ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ "ඇඩ‍්‍රස් නෑ" සිනමා නිර්මාණය පෙළ ගැහෙන්නේ ඒ අපූර්ව වූ සිදුවීම් දාමයක් කැටි කරමින්. මෙහි මුඩුක්කුවේ සන්ධ්‍යා චරිතය තුළින් ඔබ හමුවට සමීප වුණේ ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පිණී සබීතා පෙරේරා පසුගියදා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නට ඇයට හැකි වුණා. ඒ මුඩුක්කු සන්ධ්‍යාගේ චරිතය රඟපෑමේ සාර්ථකත්වය නිසාමයි. වසර පහළොවකට පසු ලැබුණ සම්මානයේ සතුටත් සමග ඇය සැඳැල්ල අප හා එක් වුණේ මෙලෙසින්.

 

මේ ජීවිතෙත් හරියට චිත‍්‍රපටයක් වගේ. චරිත මාරු වෙනවා. හැබැයි අධ්‍යක්ෂවරයා අපිමයි. ”ඇඩ‍්‍රස් නෑ” චිත‍්‍රපටය වසර ගණනකට පස්සෙ රංගන ජීවිතේට වටිනාකමක් ලබාදුන්නා.

 

2016-06-10-ent-141මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ ජීවිතේ කියන කලාගාරය ඇතුළේ හැංගිච්ච ගොඩක් දේවල් තියෙනවා. මුඩුක්කුවේ සන්ධ්‍යා වැනි චරිතයක් රඟපාන්න ලැබීම මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්. මට මතකයි එදා මේ චිත‍්‍රපටයේ තිර පිටපත අතට ලැබිලා කියවනකොට මට ලොකු බයක් දැනුණා. මොකද සන්ධ්‍යා කියන මුඩුක්කු ගැහැණිය කියන චරිතය ඇතුළේ ඇය නොකරන දෙයක් නැහැ. යකඩ ගැහැණියක් වගේ. අභියෝග ගොඩක් බිඳගෙන සන්ධ්‍යාට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරන්න උපරිම කැප වුණා. ජීවිතේ මාරු වෙන චරිත අතරේ සන්ද්‍යා කියන්නේ මගේ ජීවිතේ සුවිශේෂී චරිතයක්. ඒත් සැබෑ සන්ධ්‍යාට අධ්‍යක්ෂකවරයෙක් නැහැ.

 

ඒ කැප කිරීමේ ප‍්‍රතිඵලය පසුගියදා ඔබට ලැබුණා?

වසර පහළොවකට පසුව ලැබුණ මේ සම්මානනීය වටිනාකම ගැන ගොඩක් සතුටුයි. සන්ධ්‍යා කියන චරිතයේ සමහර දර්ශන ගොඩක් අභියෝගාත්මක වුණා. එක අවස්ථාවක් තිබුණා කසිප්පු බීලා සිහි මද ගතියෙන් ඉන්න අවස්ථාවක් නිරූපණය කරන්න. ඇය නිතරම ජීවිතේ හැංගිච්ච දේවල් පවා ප‍්‍රකාශ කළේ මත්පැන් පානය කළාට පස්සේ. මට චරිතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වුණා. ඒ කාලය පුරාවටම මම ජීවත් වුණේ සන්ධ්‍යා කියන චරිතය ඇතුළේ. උපරිම උත්සාහ කළා චරිතයට සාධාරණයක් කරන්න. ඒ උත්සාහයේ ප‍්‍රතිඵලය තමයි මේ සම්මානය. මට මාව අමතක වුණාද කියනවා නම් ෆිල්ම් එක බලද්දි මට මං ගැනම පුදුම හිතුනා.

 

රංගන ජීවිතේ ආ ගමන් මග දෙස බලද්දි මොකද හිතෙන්නේ.?

මම ක්ෂේත‍්‍රයට ආවේ හරිම සරල චිත‍්‍රපටි වලින්. එතකොට මං අවුරුදු දහතුනක පාසල් ශිෂ්‍යාවක්. මගේ පරම්පරාවේ ගොඩ දෙනෙක් එදා මාත් එක්ක බොහෝ දුර ආවා. හැබැයි සිනමාව තුළ රැුඳුනේ නැහැ. මේ ක්ෂේත‍්‍රයේ රැුඳීම ඉතාම දුෂ්කර කාර්යයක්. මගේ මොකද්දෝ පිනකට මේ ක්ෂේත‍්‍රය ගැන හදාරමින් මේ තාක් දුර එන්න වාසනාව ලැබුණා. ආපස්සට හැරිල බලද්දි ජිවිතේ ගැන මට සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතේ මට හැම සම්මානයක්ම ලැබිලා තියෙනවා.

 

ජීවිතේ ලැබුණ හොඳම සම්මානය මොකක්ද?

රංගන ජීවිතේ ලැබිය යුතු සියලූම සම්මාන මට ලැබිලා තියෙනවා. ගැහැනියක් විදිහට ජීවිතේ ලැබුණු හොඳම සම්මානය තමයි මගේ විවාහය සහ මගේ පුතා.

 

රංගන ජීවිතේ අන්තිමට ලැබුණු සම්මානය මතකද?

ඒත් ලැබුණේ හොඳම සහය නිළිය සම්මානය. පිටගංකාරයෝ ටෙලි නාට්‍යයට තමයි අන්තිමට මට සම්මානයක් ලැබුණේ.

 

සබීතා පෙරේරා කියන්නෙත් සිනමාව තුළ එක් යුගයක පේ‍්‍රක්ෂකයා තුළ උන්මාදනීය වුණ චරිතයක්. කාලෙකදි ඔබ කලාවෙන් ඈතට යනවා. නැවත ඔබ කරලියට එන්නේ වසර ගාණකට පස්සෙ. ඒ අබා චිත‍්‍රපටය හරහා.?

ඔව්, විවාහයෙන් පස්සෙ කලාවෙන් මම ටිකක් ඈත් වුණා. ගොඩක් චිත‍්‍රපටි කරමින් හිටපු මම එක පාරටම නතර වෙන්න විවිධ වූ හේතු කාරණා තිබුණා. හරියට පුංචි විවේකයක් ගත්තා වගේ. මම ටික කාලෙකට ඈත්වෙලා නැවත වසර ගණනාවකට පස්සේ අබා චිත‍්‍රපටය හරහා නැවත සිනමාවට එන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව අජාසත්ත, ඇඩ‍්‍රස් නෑ නිර්මාණ වලට දායක වුණා. මම කෙටි කාලයකට මම ගොඩක් අඩුවෙන් වැඩ කරපු කෙනෙක් විදිහට මේ සම්මාන ලැබීම මගේ රංගන ජීවිතේට ශක්තියක් වුණා වගේ හැෙඟනවා. කලාව කියන දේ මගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්. ඒ නිසා කලා කටයුතු වලට නිතර දායක නොවුණත් මගේ ජීවිතේ කවදාවත් කලාවෙන් ඈත් වෙන්නෙ නැහැ.

 

අඩුවෙන් වැඩ කරන්න හේතුව?

මම නිර්මාණයකට දායක වෙද්දි චරිතය පිළිබඳ ගොඩක් හිතනවා. ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. මට ගැලපෙන හොඳ චරිතයක් ලැබුණොත් පමණයි භාරගන්නේ. වසර ගණනාවක් සිනමාව තුළ රංගන ශිල්පිණියක් විදිහට මේ තරම් දුරක් ආවේ සහ රංගන ජීවිතේ ගොඩ නගා ගත්තේ අපේ ප‍්‍රවීණයන් දිහා බලලා. ශ‍්‍රියානි අමරසේන, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි. ඒ අයගේ උසස් රංගනයන් බලලා තමයි අපේ රංගන ජීවිතේ ඉදිරියට ගෙනිච්චේ. ඒ ආදරය ඉදිරියටත් මට වටිනවා. ලැබෙන හැම නිර්මාණයක්ම බදාගෙන රංගන ජීවිතේ ගොඩ නගාගත්ත දේවල් වලට හානි කරගන්න මම කැමති නැහැ.

 

ඒ යුගයෙන් ඔබ ඉගෙන ගත්තා. අද ඉන්න පරපුර ප‍්‍රවීණයන් දිහා බලල ඉගෙන ගන්නවා කියලා හිතනවාද?

තරුණ පරම්පරාවේ දුර්වල තැන් ගොඩක් තියෙනවා. ඉස්සර රංගන ශිල්පිණියකට ලොකු වටිනාකමක් ගරු කිරීමක් තිබුණා. අද වෙනකොට කලාව ගැන මට තියෙන්නේ කලකිරීමක්. එදා අපි ඉගෙන ගත්තේ අපේ ප‍්‍රවීණයන්ගෙන්. මම සිනමාව ගැන තාමත් ඉගෙන ගන්නවා. රංගනය කියන දේ ඉගෙන ගෙන ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දොස්තරලට, ඉංජිනේරුවන්ට උපාධි ගන්න විශ්ව විද්‍යාල තියෙනවා. ඒත් ලංකාවේ කලාව ඉගෙන ගන්න ආයතන නැහැ. ඒ උපාධිය ගන්න හිතන තරම් ලේසි නැහැ. තරුණ පරම්පරාවට තියෙන්නෙ ඇඟට දැනිච්ච කලාරසයක් නෙවෙයි. මේක ගොඩක් ගැඹුරු දෙයක්. හරි දේ නොකළොත් ඉදිරියට කලාව කියලා දෙයක් අපට නැති වේවි.

 

එදා සිනමාව සහ අද සිනමාව ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම මේ ක්ෂේත‍්‍රයට ආවේ විජය මාලනී හිටපු ස්වර්ණමය යුගයක. ඒ කාලය සිනමාවේ පුදුම ලස්සන කාලයක්. හොඳ නිර්මාණ කෙරුණා. හොඳ අධ්‍යක්ෂවරු හිටියා. ඒත් අද හොඳ නිර්මාණ වෙන්නේ නැහැ. හොඳ අධ්‍යක්ෂවරු බිහි වෙනවා අඩුයි. හේතුව නිෂ්පාදකවරු සිනමාවට අත ගහන්න බයයි. තරුණ පරම්පරාව අතර අති දක්ෂයෝ ඉන්නවා. ඒ අය උනන්දුයි. ඒත් අවස්ථාවල් නැහැ. අනාගත සිනමා කර්මාන්තය ගැන තියෙන්නෙ ලොකු බයක්.

ලංකාවේ සම්මාන දීමේ ක‍්‍රමවේදය ගැන ඔබට මොකද හිතෙන්නේ. ලංකාවේ සිනමා සම්මාන උළෙලවල් අඩුයි. ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් වැඩියි. සමහර සම්මාන ලබා දීමේ ක‍්‍රමවේද ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. සමස්තයක් විදිහට ප‍්‍රශ්නයක් නැතිව ඉවර වෙන සම්මාන උළෙලවලූත් නැහැ. මෙවර පැවති දෙරණ සම්මාන උළෙලේ ජූරියේ සභාපති වශයෙන් කටයුතු කළේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන සාජේන් කරූන්. ඉතින් ඔහුගේ විනිශ්චය අනුව ලැබුණු සම්මාන ගැන ගොඩක් සතුටුයි. මම දැන් රඟපාන්නේ නැහැනේ. කෙනෙකුට විවිධ දේවල් කියන්න පුළුවන්. හිතන්න පුළුවන්. ඒත් සන්ධ්‍යා කියන චරිතයට සම්මානයක් ලැබේවි කියලා හිතුවෙ නැහැ.

අපේ රටේ කෙනෙක් ජූරියේ සභාපති වුණා නම් මමත් ජූරි සභාවේ සභිකයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. පොදුවේ ගත්තම හැම සම්මාන උළෙලක්ම සර්ව සාධාරණයි හොඳයි කියන්න බැහැ.

 

ඉදිරියේදී මොනවද අලූත් වැඩ?

විශේෂ කියලා අලූත් වැඩක් නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ හොඳ චරිත නිරූපණයකට දායක වෙන්න ආසයි.

 

නදීශා අතුකෝරළ