මේ දිනවල ටෙලිනාට්‍ය, සිනමාපටවලට වඩා "සංඝදාසගේ චූටි කලිසම", "මාරක ළිඳේ සවාරියක්", "මකරට", "දැන්ම ගොඩවෙන්න" වැනි වේදිකා නාට්‍ය හරහා වේදිකාවට වැඩි දායකත්වයක් ලබාදෙන රූපණ ශිල්පියෙකු ලෙස ජගත් චමිල හැඳින්විය හැකිය. එබැවින් වත්මන් කලාවේ දිශානතිය කෙබඳුද ? එය කෙසේ සංස්කරණය විය යුතුද වැනි වෙනස් කතාබහක නියැලීමට අපි ජගත්ව අද හා සම්බන්ධ කර ගතිමු.
“දැන් මේවා කොහේටද කියන්නේ, කාටද කියන්නේ, මොකක්ද කියන්නේ වගේ තැනක තමයි මම සිටින්නේ. ඒ වගේම දැන් හැම දෙයක්ම අපට තේරෙන්න පටන් ගත්තට පස්සෙ නිශ්ශබ්දව සිටිනවා හැරුණුකොට වෙන කුමක් කරම්දෝ කියලා හිතෙන කාල පරිච්ඡේදයක් තමයි අපි ගත කරන්නේ. වෙනත් විදිහකින් කියතොත් හැඟීම් දැනීම් නැති නිශේධනීය මොහොතක තමයි අපි කල් ගෙවන්නේ" යනුවෙන් ජගත් චමිල කතාව ඇරඹුවේය.
මෑතකදී ඔබ දූපත්වාසී රූපණ ශිල්පියෙකු ලෙස හීනයක් සැබෑ කර ගත් බවක් පැවසෙනවා?
ඔව්. අපට රූපණ ශිල්පීන් විදිහට අපේ හිතේ මැවුණු සිහින නාට්‍යකරුවෙක්ගේ ආකෘතියක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි ගයාන් කනිෂ්ක රාජපක්ෂ නම් නාට්‍යකරුවා සමග වැඩ කරන්න ඉඩ ලැබෙන්නේ මෙවැනි මොහොතකයි. ඔහු අපි සමග මෑතකදී රඟපෑවේ "දැන්ම ගොඩවෙන්න" නාට්‍යයේදියි. හැබැයි මම මීට පෙරත් "අතුරුපසට චැට් එකක්", "මිනීමරුවා නිරුවතින්" යන නාට්‍ය සමග ඔහු එක්ක වැඩ කරලා තියෙනවා.
ඒත් කවුද ඇත්තටම මේ හීනය ඇතුළෙ ඉන්නේ. ඒ ගැන පැහැදිලි කළොත්?
බොහොම අර්ථාන්විත නාට්‍යකරුවෙක් තමයි ඒ හීනයේ සිටින්නේ. ප්‍රකාශන මාධ්‍යයක් විදිහට නාට්‍ය කලාව තෝරාගන්නා ඔහු, නාට්‍ය කලාව තුළම පෝෂණය වෙනවා. ඒ තුළින් එම නාට්‍යකරුවාත් සමාජයක් පෝෂණය කිරීමට සිහිනයක් දකිනවා. එම සිහින නාට්‍යකරුවා නාට්‍ය කර්මාන්තය වෙනුවෙන් යම් මෙහෙවරක් ඉෂ්ට කරනවා. එයින් ඔහුත් සතුටක් භුක්ති විඳිනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා වෙනුවෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරන්න ලැබුණා කියල සියුම් සතුටක් භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම එම නාට්‍යකරුවාට හොඳ මිලක් ලැබෙනවා. ඒ අනුව එම මිල ඇතුළේ ඔහුට තමන්ගේ පවුල නඩත්තු කරන්න පුළුවන් වෙනවා. හොඳ මානසික සුවයක් වෙනවා. හොඳ ශරීර සුවතාවයක් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි අපි දකින සිහිනය. මාස එකහමාරක් පමණ "දැන්ම ගොඩවෙන්න" නාට්‍යයේ පමණක් යෙදෙමින් සුළු කාලයකට හෝ අපි ඇත්තක් කරගත්තේ අන්න ඒ සිහිනය තමයි.
කොහොම නමුත් රූපණ කලාව කියන්නේම එක්තරා ආකාරයක පරීක්ෂණාගාරයක් බවටත් මතයක් තියෙනවා?
අපි මේ සඳහා වේදිකාව උදාහරණයකට ගෙන බැලුවොත් ඔබ නිවැරදියි. විවිධ තේමා ඒ පරීක්ෂණාගාරයට එනවා. ඒත් සමහර පරීක්ෂණවල නිරීක්ෂණ, නිගමනවලට අපට අවතීර්ණ වීමට හැකිවෙන්නේ කාලාන්තරයක් තිස්සේ එහි නියැලෙන අභ්‍යාස තුළින්. මොකද රසායනික සංඝටක දෙකක් පරීක්ෂණ නළ දෙකකට යොදා, එසැනින් නිරීක්ෂණ දැක නිගමනවලට එළඹීමට හැකි වුණත් නාට්‍යකරණය එවැනි මට්ටමකට පත්කර ගැනීම අසාධාරණයි. අනික රසායනික විද්‍යාවේ වුණත් කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ කිරීමෙන්ම නිගමනවලට එළඹීමට සිදුවන පරීක්ෂණ තියෙනවා. ඒ නිසා ජීවිතය නමැති පරීක්ෂණාගාරයේ රූපණ ශිල්පියා අත්දකින සහ අත්විඳින අත්දැකීම්, කොතරම් දුරට පරීක්ෂණයට අනුකූලව හසුරවනු ලබනවාද යන්න මතයි රූපණය සාර්ථක වෙන්නේ.
රසිකත්වය යන්න අද උගැන්විය යුතු අධ්‍යාපන සාධකයක් වෙලා?
අනිවාර්යයෙන්ම. මේක දීර්ඝකාලීන ක්‍රියාවලියක්. නාට්‍යයක් අවසානයේදී පැවැත්වෙන කෙටි සාකච්ඡාවකින් මෙය විසඳන්න බැහැ. අනික රස පිළිබඳ අධ්‍යාපනය ප්‍රාථමික අවධියේ පටන් පැමිණිය යුත්තක්. හරය යන්නත් ළමයා විඳින රසයක් කියල කියන්නේ මේ නිසයි. මොකද නෙල්ලි ගෙඩියේ පවතින රස සියල්ල විඳින්න පුළුවන් තත්ත්වයක් සකසාගන්න ඔහුට/ඇයට පුළුවන් නම් එයයි සිදුවිය යුත්තේ. එම පුහුණුව ජීවිතය මැද භාගයේදී ලබාදෙන්න නොහැකියි. ආගම,සංස්කෘතිය තුළින් තමයි ඊට අදාළ සංයමය ගොඩනැගිය යුතු වන්නේ.
සටහන හා ඡායාරූප - මාලන් විදානපතිරණ