ජනක් පේ‍්‍රමලාල්ගෙන් උඩරට නැටුම් පන්තියක්


2016-08-19-ent-22

කුඳ කුඳ කුඳ තකට තකට

කුඳ කුඳ කුඳ තකට තකට

මේ විදිහට බෙර ගහන්නේ සුබේ ගුරුන්නාන්සේ

 

පරම්පරාවෙන් තමන්ට උරුම වූ උඩරට නැටුම් ශිල්පය ඊළඟ පරම්පරාවටත් දායාද කිරීමේ අරමුණෙන්, සත පහක්වත් ගන්නේ නැතුව මේ විදියට පන්ති පවත්වන සුබේ ගුරුන්නාන්සේගෙ මුහුණ දැකලා පුරුදුයි පුරුදුයි වගේ නේද?

2016-08-19-ent-17මේ දවස්වල ඉරිදට ඉරිදට හැන්දෑ වෙලාවෙ ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ දිගහැරෙණ සඳ දිය මංකඩෙන් පැනපු ගමන්ම මේ සුබේ ගුරුන්නාන්සේව දකින්න ලැබනවා. පොඞ්ඩක් ඕනෙකමින් බලන්නකො මේ ගුරුන්නාන්සේගේ මූණ කොයි වගේද කියලා.

 

ජනක් පේ‍්‍රමලාල්ගෙ මූණ වගේ නේද?

ඔන්න ඉතින් මං ජනක්ට කතා කරලා ඇහුවා උඩරට නැටුම් කලාව එහෙම උගන්නන්න පටන් ගත්තද කියලා.

”පහුගිය දවස්වල එහෙම වැඩක් කෙරුවා. හැබැයි ඒ සඳ දිය මංකඩ කියන ටෙලිනාට්‍යයෙ රංගනයක් විදිහට.

ජනක් එහෙම කියලා ටිකක් සද්දෙට හිනාවුණා. ඔන්න ඉතින් ඊට පස්සෙ මං ටිකක් දිගට කතා කරන්න පටන් ගත්තා.

 

මේ බෙර පදයක් ගහපු පළමුවෙනි වතාවද ජනක්

‘‘අපොයි නෑ... මීට කලිනුත් අවස්ථා දෙකකදී විතර බෙර ගහලා තියෙනවා.’’

 

මතකද මොකටද කියලා

ටිකිරි රත්නායකගෙ අරුන්දති ටෙලිනාට්‍යයෙත් මම ගුරුන්නාන්සේගේ චරිතය රඟදැක්වූවානේ. ඒ වෙලාවෙදියි මුලින්ම බෙර පදයක් ගැහුවෙ. හැබැයි ඒ චරිතය නම් දේවාලෙක කපු වැඩ එහෙම කරන ගුරුන්නාන්සේ කෙනෙක්. මේ සුබේ ගුරුන්නාසේ වගේ බෙර ගහන නටන චරිතයක් නෙමෙයි.

 

එච්චරද?

නෑ, විජිත මංජුල සිංහපෘථිවිගෙ සල්මල් ලන්ද කියන නාට්‍යයෙත් මට ගුරුන්නාන්සෙගෙ චරිතය හම්බ වුණා. හැබැයි මෙයා කට්ටඩියෙක් යන්තර මන්තර ගුරුකම් එහෙම කරන කෙනෙක්. මං ඒ කාලෙ බෙර ගගහ තොවිල් එහෙම කරලා තියෙනවා.

 

ඒ කියන්නෙ සඳ දිය මංකඬේ සුබේ ගුරුන්නාන්සෙ මේවාට වැඩියෙ වෙනස්?

මෙයා නුවර පෙරහර චාරිත‍්‍රවලට සහභාගිවෙන නැට්ටුක්කාරයෙක්. මේ පරම්පරාව දළදා මාළිගාවෙ පෙරහරේ නටන එක බෙර ගහන එක දේවකාරියක් විදිහට සලකන පරම්පරාවක්. මේ කටයුත්ත පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන එකක්. ඒ නිසා සුබේ ගුරුන්නාන්සේ ගමේ ළමයින්ට නැටුම් ශිල්පය උගන්වනවා.

 

කලින් නටලා එහෙම නැහැ නේද? ඉස්කෝලෙත් ඉගැන්නුවෙ වාණිජ විෂයයන්නේ.

ඔව්, මං රඟපාන්න කලින් නැටුම් වගේම බෙර පදත් ඉගෙන ගත්තා. මොකද මම ගුරුන්නාන්සේ විදිහට මගේ නැටුම්වත් බෙරපදවත් වරදින්න විදිහක් නැහැනේ. ඒ හින්ද මම හොඳටම මේවා පුරුදු වෙලා තමයි රඟපෑවේ.

 

කව්ද ඔබේ ගුරුන්නාන්සෙ වුණේ?

මේ නාට්‍යයෙ රූගත කිරීම් කළේ මහනුවර ප‍්‍රදේශයේ සුගත් මාලගම්මනලගෙ ගෙදර. මේ මාලගම්මන පරපුර සිංහල රජකාලෙ ඉඳලම දළදා මැදුරෙ තේවාවට සම්බන්ධ පරම්පරාවක්. ඉතින් මට බෙර ගහන්න වගේම නටන්නත් කියාදුන්නෙ මේ මාලගම්මන ගුරුන්නාන්සේ.

 

බලාගෙන යනකොට රඟපාන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නේද?

නළුවා කියන්නෙ රඟපාන්න විතරක් පුළුවන් කෙනෙක් කියලා කල්පනා කරන්නෙ අද කාලෙයි. ඒත් ඔය සරච්චන්ද්‍ර මහත්තයාගෙ ශෛලීගත නාට්‍යවල එහෙම රඟපාන නළුවන්ට නටන්නත් පුළුවන් වෙන්න ඕනෙ. ගයන්නත් පුළුවන් වෙන්න ඕනෙ. දැන් බලන්න සිංහබාහු නාට්‍යයෙ සිංහයා. එයා වේදිකාවට එන්නෙ නටාගෙන. ඒ වගේම ගයාගෙන. සිංහබාහුත් ඒ වගේ, මනමේත් ඒ වගේ. රඟපාන්න වගේම නටන්නත් ගයන්නත් පුළුවන් වීම නළුවෙක් වීමට අවශ්‍යයම දෙයක්.

මමත් වේදිකා නළුවෙක් විදිහට ඒ ඔක්කොම පුළුවන් කෙනෙක්. නටන්න ගයන්න රඟන්න පුළුවන් වේදිකා නළුවන්ට විතරයි. ටෙලිනාට්‍යවල නළු නිළියන්ට මේ හපන්කම කරන්න අමාරුයි. නටන්න පුළුවන් වුණත් ගයන්න අමාරුයි. සමහරුන්ට ගයන්න පුළුවන් වුණාට නටන්න බැහැ. ඒත් මම වේදිකාවෙන් ලද පරිචය නිසා නටන්න පුළුවන්. ගයන්නත් පුළුවන්. ඒ නිසා මේ චරිතය මට පහසුවෙන්ම කරගන්න පුළුවන් වුණා.

 

ජනක් එහෙම කියලා හොඳ අඩව්වක් අල්ලන්න ඇති කියලා ඔබට හිතෙන්න ඇති.

මම නම් දන්නෙ නෑ. හැබැයි මම කතා කරන කොට ජනක් හිටියෙ මහව පැත්තෙ. වෙන ටෙලි නාට්‍යයක රඟපානගමන්. මං හිතන්නෙ දැන් අඩව් අල්ලල බෙරගහල ඉවරයි.

 

ශකුවි

 

2016-08-19-ent-21
2016-08-19-ent-20
2016-08-19-ent-19
2016-08-19-ent-18