ජනරජ පෙරහර වීථි සංචාරය කරයි


(ෂේන් සෙනෙවිරත්න සහ අංජුල මහීකවීරරත්න)

ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහෙර් ජනරජ ලාංඡනය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා වැඩම කළහ.

දෑල හස්තීන් වශයෙන් දළදා කණ්ඩුල සහ අත්තනගල්ලේ රජමහා විහාරයේ ගැමුණු හස්තියා ගමන් කළේය.

මෙම ජනරජ පෙරහර පැවැත්වෙන්නේ වසර තිස් හතරකට පසුවයි.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සංවිධානය කෙරුණු පෙරහරේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරු සහභාගි වූහ .

අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් විය.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් පෙරහර සංවිධානය කෙරුණු අතර එය නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ .

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කරයි.

කන්ද උඩරට රජකම් කළ පුරාණ රජවරුන් විශේෂ ආගමික අවස්ථාවන් මුල් කරගනිමින් මෙවැනි පෙරහරවල් පවත්වා ඇති අතර අපගේ රජවරුන්ගේ පාලනය ගිලිහී ගොස් 1815 දී බ්‍රිතාන්‍ය කිරීටයට මෙරට යටත් වීමෙන් පසු පළමු වරට රජ පෙරහැර පෙරහැරක් පැවැත්වූවා යැයි වාර්තා වන්නේ වේල්සයේ කුමරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ වික්ටෝරියා රැජනගේ පුත් වේල්සයේ ආදිපාද වරයා කන්ද උඩරට සංචාරයක යෙදුණු 1875 වසරේදීය . එම ආදිපාදවරයා ඓතිහාසික පත්තිරිප්පුවේ සිට එම පෙරහැර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව රජ පෙරහැරක් පවත්වා ඇත්තේ 1854 වසරේ අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක නිරත වූ දෙවැනි එළිසබත් මහ රැජින වෙනුවෙනි . ඇය වත්මන් මැද්දුම බණ්ඩාර උයනේ ඩී එස් සේනානායක පිළිරුව පිහිටුවා ඇති ස්ථානයේ පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිට එම පෙරහර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව 1978 වසරේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙන් විශේෂ පෙරහැරක් සංවිධානය කොට ඇති අතර එයද ජේ ආර් ජයවර්ධන මහතා විසින් ඩී එස් සේනානායක පිළිරුව අසල ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට නරඹා තිබේ .

ඉන් අනතුරුව 1981 වසරේ දී වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එයද ඇය නරඹා ඇත්තේ ඩී එස් සේනානායක පිළිරුව අසල පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිටය .

1987 වසරේදී දළදා සමිඳුන් වෙනුවෙන් ඉදි කොට පූජා කරන ලද රන් වියන විවෘත කිරීමේ උත්සවය සිහිකරනුවස් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා එම පෙරහැර රැජිණ හෝටලයේ පළමු මහලේ ඉදිරිපස ඇති පීඨිකාවේසිට නරඹා තිබේ .

පෙරහැර පෙලගැස්ම

මෙවැනි පෙරහැර වල පෙළගැස්ම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන අතර එහි පෙළ ගැස්ම දළදා පෙරහැර පෙළගැස්මට වඩා වෙනස් ස්වරූපයක් ගනී . දළදා පෙරහැරේ ගමන් කරන සිව් මහා සිව් මහා දේවාලයන්හි පෙරහැර මෙහි ගමන් නොකරන අතර රන්දෝලි මහ පෙරහැර ට සමාන අලි ඇතුන් යොදවා එම පෙරහර ගමන් කරන දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, වීදිය ඩී එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කොට පෙරහර නිමා කිරීමට නියමිත අතර පෙරහැර ගෙවදීමක් සිදු නොවේ .

පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමත් සිදු නොවන අතර ඒ වෙනුවට ජනරජ ලාංජනය පෙරහැරේ ගෙන යනු ලැබේ .

දළඳා මාලිගාවේ මාළිගාවේ දියවඩන නිළමේවරයා පෙරහරේ පළමුවෙන් ගමන් කරන අතර ඊට පසුපසින් සිව්මහා දේවාලයන්හි නිලමේවරුන් ගමන් කිරීම සිදු කෙරේ . ඊට පිටුපසින් පිටිසර දේවාලයන්හි නිළමේවරුන් ගමන් කරන අතර ඒ අනුව නිළමේවරුන් 14 දෙනකු පෙරහැරේ ගමන් කරයි .

මෙම ලිපියට අවශ්‍ය අතීත තොරතුරු ලබාදුන් හිටපු දියවඩන නිලමේ නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව විජයරත්න මහතාට විශේෂ ස්තුතිය .