මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යානී සාම ශ්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක හිමියන් වෙත කෘතියේ මුල් පිටපත කතුවරයා විසින් පිළිගන්වනු ලැබූ අතර කෘතියේ දෙවැනි පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්විණි.
කොටි ත්‍රස්තවාදයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් සිව්වැනි ඊළාම් සටනත් පිළිබඳ කමල් ගුණරත්න මහතා සිය ත්‍රාසජනක අත්දැකීම් ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති බව එහිදි කියැවිණි. මෙම කෘතියේ ඉංග්‍රිසි අනුවාදය ද එහිදි එළිදැක්විණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර, මහාචාර්ය රොහාන් ගුණරත්න හා ජනාධිපති නීතිඥ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කොදාගොඩ යන මහත්වරු එහිදි දෙසුම් පැවැත්වූහ.
එදා තම දරුවන්
yර්ෂණ තුෂාර සිල්වා
“අවසන් හුස්ම පොද නොබියව හෙළෙන්නට , සිව් රියනේ හිත සතුටින් නිදන්නට, මිනිසකු විලස ඉපැදුණ පල දකින්නට , පුළුවනි මරණ මංචකයේ වුවද මට“ යනුවෙන් අබේවර්ධන බාලසූරිය ශූරීන්ගයන වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ, ආචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ ගී පද කියමින් මට සුවසේ සිටින්නට හැකියි බව ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්‘ කෘතිය එළිදක්වමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය.
රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කෘතිය තමා සිප් සතර හැදැරූ ආනන්ද විද්‍යාලයේ, කුලරත්න ශාලාවේදී එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඒ බව කීවේය.
තිස් වසරක බිහිසුණු යුද්ධයේ සිය අත්දැකීම් අළල ඔහු මෙම කෘතිය රචනා කර ඇත.
ගුණරත්න මහතාගේ ඡන්ම දිනය යෙදී තිබූ සැප්තැම්බර් 6 වැනිදා කෘතිය එළිදැක්වීම ද විශේෂත්වයක් විය.
තිස්පස් වසරක යුද හමුදා ජීවිතයේ අත්දැකීම් හා දශක තුනක යුද්ධයේ අත්දැකීම් ඇසුරින් ලියන ලද රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ ද කීවේය.
“වසර 1981 අගෝස්තු 31 වැනිදා යුද හමුදාවට බැඳුණු මා වසර 35කුත් දින 5ක කාලයක් යුද හමුදාවේ සේවයක් ඉටු කර ඊයේ (5) සවස 6.15ට මා අවසන් දින ඇඳි නිල ඇඳුම ඉවත් කර නිල නිවෙස්නයේ මා හට වෙන් කර තිබු කාමරයේ එල්ලා තබා විශ‍්‍රාම ගැනීම සඳහා මම ගෙදර ගියා.
වසර තිස් පහක කාලයක් ඇඳි නිල ඇඳුම ගලවා තැබීම කනගාටුවට කරුණක් බව දැනුණද කොළ එළිය දැල්වෙන බව දැන සිටියා. 2016 වසරේ අගෝස්තු 31 වැනිදා කොළ එළිය දැල්වෙන සිටි බව දැන සිටි මම අහස උසට බලාපොරොත්තු තබා ගත්තේ නෑ. මගේ දෙපයින් නැගී සිට, මගේ දෙපා වාරු ඇතිතෙක් නිසි වයස පැමිණි විට පරාජිත සොල්දාදුවකු සේ ගෙදර නොගොස් ජයග‍්‍රාහී සොල්දාදුවකු සේ ගෙදර යෑමට මට වුවමනා වුණා.
රටට ණය නැති, එහෙත් මුළු රටම ණය ගැති යුද හමුදාවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වීමට ලැබීම දෙවියන් වහන්සේ විසින් මට දුන් විශාල වරමක්. මා මේ යුද්ධය යන දිනවලද අප කරන දේ ටික දවසකින් වැළලී යා නොදී අපේ අනාගත පරම්පරාවට ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ දේ පිළිබඳ යම් කිසි සටහනක් තැබිය යුතු යැයි යුද්ධය සමයේදී මම කල්පනා කළා.
ඒ කෘතහස්ත නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් පැවැසූ පරිදි අපට සති දෙක තුනක් යද්දී සියල්ල අමතකයි. එහෙත් මට ලැබුණු ප‍්‍රතිචාර අනන්තයි අප‍්‍රමාණයි. මා විශ‍්‍රාම යෑමට සූදානම් වී මේ පොත එළිදැක්වීමට යන විට ප‍්‍රභාකරන්ගේ තර්කය පුස්සක් බව මා තේරුම්ගත්තා. මේ පොත අවසන් කිරීමට මට වසර හතරක් ගතවුණා.
මේ පොත භාෂා දෙකකින් ලියුවේ ඇයි දැයි යමෙකු විමසුවොත් උත්තරය මෙයයි. මේ යුද්ධය අවසන් කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතුවූයේ විවිධ මට්ටමේ පිරිස්, හමුදාවේ කැපවීම් හා ධෛර්යට අමතරව වෙනත් ප‍්‍රධාන කරුණක් වෙයි. ඕනෑම යුද්ධයකදී ජයග‍්‍රාහකයා වනුයේ ඒ යුද්ධය දිගටම කරගෙන යෑමට පිරිස් බලය, අවි ආයුධ, ශක්තිය ඇති තැනැත්තායි. පරාජිතයා වන්නේ අතරමගදී එය නැතිවන තැනැත්තායි. ප‍්‍රභාකරන්ට අවසන් යුද්ධයේදී එය නැති වූ අතර අවසන් යුද්ධය අවසන් කරගෙන යෑමට ශක්තිය තිබුණා. ඈත එපිට දුප්පත් ගම්මානවල අහිංසක මාපියන් සිය දරුවන් හමුදාවලට එවීම අපට අවසාන සටනේදී යෝධ බල යෝධ ශක්තියක් වුණා.
යුද්ධයේදී මියයන සෙබළුන්ගේ මළ සිරුරු එක දෙක තුන ගම්මානවලට පැමිණෙද්දීත්, රට වෙනුවෙන් තම ජීවිතය කැප කරපන් පුතේ, රටට ජාතිය වෙනුවෙන් කරන්න තියෙන දේ කරපන් කියා තම දරුවන් යුද හමුදාවට දුන් දුප්පත් මාපියන්ට මුළු ජාතියේම ගෞරවය හිමිවිය යුතුයි. දරුවන් බිහි කර, අධ්‍යාපනය ලබා දී කරදඬු උස්මහත් කර, තම දරුවන් යුද හමුදාව වෙනුවෙන් කැපකළ මාපියන්ට යුද්ධයේදී වූයේ කුමක් ද තම දරුවන් කළේ කුමක්දැයි දැනගැනීමට අයිතියක් තිබෙනවා.
හමුදාවලට තම දරුවන් දන්දුන් අයට තෑග්ග විදියට තම පුතාගේ මළ සිරුර හෝ ඇඳක් මත ජීවත්වන පුතෙක් ලද මාපියන් ඒ යුද්ධයේදී දරුවන් යුද්ධයට ගිහින් මොනවාද කළේ කියා දැනගැනීමට එම මාපියන්ට අයිතියක් තිබෙනවා. මේ යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ අරුමය ඔවුන් දැන ගත යුතුයි. මා සිංහල පොත ලිව්වේ ඔවුන් වෙනුවෙනුයි.
කැළේ පිපුණු මලක් කැළේටම පරවී ගියාට එහි සුවඳ කිසිවකුත් දන්නේ නැහැ. එහි අගය පිට අය දන්නේ නැහැ. මම පොතක් ලියලා සිංහල විතරක් දන්න අයට එය සීමා කළොත් අද මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන, ඒවාට උපදෙස් දෙන වන්දිභට්ටයන්ට මොනතරම් මානුෂීය හදවතකින් අපේ දරුවන් යුද වැදුණාද, අප කළේ කුමක් ද කියා මේ මහජන සත්කාරය ගැන ඔවුන් දන්නේ නැහැ. එම කරුණු ඇතුළත් පොත ඉංගි‍්‍රසි භාෂාවට පරිවර්තනයට කිරීමට මා ගත් තීරණයේ ප‍්‍රතිඵලයයි රෝඩ් ටු නන්දිකඩාල්“.
විදුහල්පතිවරයකු වූ මගේ පියාට පිංසිඳු වන්නට සිංහල භාෂාව චතුරව හැසිරවීම හා ලිවීමට මට හැකි වුණා. එපමණක් නොව මට ඉංග‍්‍රිසි බසින් ලියන්නටද කියන්නට ද පුළුවන්. ඒත් එය පොතක් ලිවීමට තරම් ප‍්‍රමාණවත් නෑ. එම නිසා එම කාර්ය සියයට සියයක් සාර්ථක කරගැනීමට හිතවත් කිහිපදෙනකුගේ උපකාර පැතුවා. ප‍්‍රමිලා විජේසිහ, කැමිලියා නැතැලියස්, රංජිත් පෙරේරා සහ මේජර් චමරි සේනානායක යන මහත්ම මහත්මීන් ගෞරවයෙන් සිහිපත් කරනවා.
අද මට මගේ ජීවිතයේ සතුටුදායක දවසක්. මෙය මගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක්. එම නිසා මෙම අවස්ථාවට ආරාධනා කළ යුතු සුවිශේෂී පුද්ගලයන් කිහිපදෙනකු සිටියා. මගේ ගෞරවය දිනාගත් කිහිපදෙනකුට ආරාධනා කළා. ඔබලා යුද්ධය කරන්න ඉතිරිය මම බලාගන්නම් යැයි කී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වන්නැයි මා ආරධනා කළා.
මම දෙවැනි ලූතිනන් කෙනෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පීඨයෙන් ඉවත් ව, රජරට රයිෆල් කණ්ඩායමට ඇතුළත් වුණාම මගේ සමීප නිලධාරියා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. යුද හමුදා නිලධාරියකු ලෙස හැසිරිය යුතු ආකාරය කියා දුන් මගේ සමීපතම නිලධාරියා වූයේ ඔහුයි.
යුද හමුදාවේ සේවය කළ තිස්පස් වසරක කාලයේදී මම කිසිදු දේශපාලන කටයුත්තක නිරත වුණේ නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂව කටයුතු කළේ නැහැ. උත්තරීතර යුද හමුදා නිල ඇඳුම පැළැඳ කිසිදු දිනෙක මා දේශපාලනයේ යෙදී නැහැ. මා අද ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළේ ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසා නොව ඔහු මගේ හමුදා ජීවිතය ආරම්භයේ පළමු සමීපතම නිලධාරියා වූ නිසයි.
ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මියටත්, මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ වන මානෙල් විමලරත්න මහත්මියටත් මා මේ උත්සවයට ආරාධනා කළා. විජය විමලරත්ත අපේ රෙජිමේන්තුවේ පියා. ඔහු අපේ පියා වගෙයි.
දිවංගත ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවත්, දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නත් නොවන්නට මේජර් ජනරාල් කමල් ගුණරත්න හෝ රණමඟ ඔස්සේ නන්දිකඩාල් කෘතිය අද මෙතැන නැහැ. තිස්පස් වසරක යුද හමුදා දිවියේ මා දුටු සුවිශේෂීම හා අපූර්ව නිලධාරීන් දෙදෙනා ඔවුන් දෙදෙනායි. එහි අතිශයෝක්තියක් නැහැ. අද මා ජීවත්වන්නේ ඔවුන්ගේ යෝධ කාර්යයේ එක් පියවරක් ලෙසයි.
අද මට සතුටු වගේම කණගාටු දවසක්. වසර තිස්පහක හමුදා සේවයේදී මා සමඟ උරෙනුර සටන්වැදුණු, 1981 අගෝස්තු 31 වැනිදා දියතලාවේ යුද හමුදා විද්‍යා පීඨයට ගිය මා සමඟ බස් රථයෙන් ගිය අද ජනරාල්වරුන් වශයෙන් තවදුරටත් සේවය කරන මගේ සහෝදර නිලධාරීන්ගෙන් එක් අයෙක් හැරෙන්නට වෙන කිසිවෙක් මෙහි නැහැ. යුද හමුදාවෙන් මෙම උත්සවයට මා ඉල්ලූ සහයෝගය මොනයම් හේතුවක් නිසා හෝ ලැබුණේ නැහැ. ආනන්දයේ ඉගෙන ගත් මා, යුද හමුදා පීඨයේ ඉගෙන ගත් මා කිසිදා සැලීමකට ලක්වුණේ නැහැ.
“හදවතින් ඔබ යුද බිමේ අප තනි කළේ නැත කිසිදිනේ“ යන්න සිහි කරමින් ආනන්දයේ සහෝදරවරුන්, ආනන්දයේ මගේ සමකාලීන මිතුරන්, වැඩිමල් බාල සහෝදවරුන් මේ උත්සවයේ සියලූ බර කරටගෙන එය සාර්ථකව කරගෙන යනු ලැබුවා.
“මාර සෙනඟ වට කරගෙන මර යුද්දේ - ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ“ යන හැඟීම් මට අද තිබුණත් ආනන්දයේ සොහොයුරන් මා තනිකළේ නැහැ.
යුද හමුදාවේ කවුරුවත් සමඟ මගේ අමනාපයක් නැහැ. මා නොදන්නා හේතුවක් නිසා ඔවුන් පැමිණියේ නැහැ. ඒ ගැන මට ඇත්තේ දුකක් පමණයි.
මා ඉගෙන ගත් ඉස්කොලේට ග‍්‍රන්ථ කිහිපයක් දීමට අවශ්‍ය වුවත් අද විදුහල්පතිවරයා මෙතැන නැහැ. විදුහල්පති කවුරු වුවත් ඔහු ආනන්දයේ විදුහල්පති. ඔහු අපේ විදුහල්පති. ඒත් අද ඔහුට හදිසියේම අමාත්‍යාංශයට යෑමට සිදුවුණා. එම නිසා ගුරුවරයකු හෝ කවුරුන් හෝ ආදි ශිෂ්‍ය සංගමයේ හෝ එම පිටපත් පිළිගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
එවැනි දුකක් හිතේ තිබුණත් ඔබේත් ජනතාවගේත් ප‍්‍රතිචාරය දුටුවාම මට සන්තෝෂයි, ආඩම්බරයි. අනුරාධපුරයේ දුර බැහැර සිට මෙහි වැඩම කළ ස්වාමීන් වහන්සේලා, මා නිසා සිංගප්පූරුවේ සිට මෙහි පැමිණි මගේ පාසල් වියේ මිතුරා මහාචාර්ය රොහාන් ගුණරත්න, යසන්ත කෝදාගොඩ මගේ මල්ලි හා එක පන්තියේ එකට හිටපු මගේ පාසල් මිතුරා, මා සමඟ ධවලගිරියෙන් තෝසේ කෑ මහාචාර්ය හිරාන් අමරසේකර ඇතුළු මෙම උත්සවයට පැමිණ එය අලංකාර කළ ඔබ සියලූ දෙනාට ස්තූතියි. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එසේ කියමින් සිය කතාව අවසන් කළේය.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම සංඝ සභාවේ මහානා හිමියන්ට කෘතියේ මුල් පිටපත කතුවරයා විසින් පිළිගන්වනු ලැබූ අතර කෘතියේ දෙවැනි පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
දිවංගත ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මියට සහ මේජර් ජනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ වන මානෙල් විමලරත්න මහත්මියට කෘතිය පිළිගන්වන විට ඩෙන්සිල් කොබ්බෑකඩුව හා මේජර් ජෙනරාල් විජය විමලරත්න වෙනුවෙන් උපහාර කවි ගායනා කෙරුණු අතර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ බිරිඳ වන චිත‍්‍රානි විමලරත්න මහත්මියට කෘතිය පිළිගන්වන විටද ඇය වෙනුවෙන් උපහාර කවියක් ගායනා කෙරිණි.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පාසල් මිතුරා වූ එක පන්තියේ ඉගෙන ගත් ක-ුළු පග සගයා වන මහාචාර්ය හිරාන් අමරසේකර ආරම්භක දෙසුම පවත්වමින් මෙසේ ප‍්‍රකාශ කළේය.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියූ රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කෘතියෙන් 1983 කළු ජූලියේ සිට 2009 වසරේ මැයි 19 දක්වා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී ඝාතනය කිරීම දක්වා යුද්ධයේ බිහිසුණු බව මේ කෘතියෙන් විස්තර කෙරෙනවා.
කමල් ආනන්දයට ආවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. ආනන්දයට පැමිණි කමල් 1980 දී ජීවි විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. කමල් යුද හමුදාවට බැඳෙන්න කලින් ඒ සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගන්න ගියේ මාත් සමඟ. මම අධ්‍යාපනයෙන් ඉහළ යද්දි කමල් වෙනත් ක්ෂේත‍්‍රවලින් ඉදිරියට ගියා. කමල් ජනාධිපති බාල දක්ෂයෙක් වුණා වගේම, ශිෂ්‍ය විධායකයෙක් විදියටත් කටයුතු කළා. ඔහු ඒ කාලේ ඉඳන්ම පැරැණි රසාංගවලට ප‍්‍රිය කළා. ඔහු ඒ කාලේ ඩෙස්වලට ගසා විනෝද වුණා. ඒ නිසා ගුරුවරුන්ගෙන් ගුටි කන්නත් සිදුවුණා.
මම පාසල් වියේදී මෙහෙමත් කැසට් කියා නාට්‍යයක් කළා. එහි රස්තියාදුකාරයාගේ චරිතය කළේ කමල්. එම චරිතය ඔහුට හොඳට ගැලපුණා. ඔහු එය මනාවට නිරූපණය කළා. මොකද ඔහුට ඊට සරිලන සිරුරක් ද තිබුණා. ඔහුගේ හැසිරීම ද ඊට ගැලපුණා.
මා වැඩි ලකුණු ගත් නිසා අමතර පන්ති යද්දී මට නිදහස් කාඞ්පතක් හිමිවුණා. ඒකෙන් මටත් වඩා අමතර පන්ති ගියේ කමල් හා මිතුරන් පිරිසක්. ඒ නිසාම කමල්ට පන්තියේ ටික්කා වැඬේ කරන්නත් අවස්ථාව හිමිවුණා. ඒ නිසාම කමල්ට රුපියල් 25ක් ඉතිරි වුණා.
යුද්ධයෙන් පසු අපි ආන්නද නාලන්ද මහ තරගයක් බලන්න ගියා. එදා අපි යද්දි මානවකයෝ පිරිසක් ඉදිරියට ආවා. මම හිතුවා ඔවුන් එන්නේ මට වඳින්න කියලා. එහෙත් ඔවුන් වැන්ඳේ කමල්ට. මේ රටේ ජනතාව හා සිසුන් හමුදාවට හමුදා නිලධාරීන්ට කොතරම් ගරු කරනවාද යන්න මට එදා වැටහුණා.
කමල්, අප හා එකට ආනන්දයේ බංකුවල ඉඳගෙන ඉගෙන ගත්තු ලූතිනන් වාස් ගුණවර්ධන ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වුණා. 1983 කළු ජූලියට හේතු වුණේ ඔහු ඇතුළු හමුදා නිලධාරීන් 13 දෙනකුගේ ඝාතනයයි. අප සමඟ ආනන්දයේ සිටි බොහෝ පිරිසක් අද ජීවතුන් අතර නැති බව අප මතක් කළ යුතුයි.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අවස්ථා කිහිපයකදී ප‍්‍රහාරවලට ලක්වුණා. ඔහු මාරාන්තික ප‍්‍රහාර දෙකකට ලක්වුණා. වැලිඔය කි‍්‍රයාත්මක වූ හයේ පහර මෙහෙයුමේදී කමල්ගේ හදවතට ප‍්‍රහාරයක් එල්ල වුණා. එම ප‍්‍රහාරයේ මතක සටහනක් තවමත් ඔහුගේ හදවත ආසන්නයේ තිබෙනවා. එම නිසා ඔහුට අදටත් එම්.ආර්.අයි. පරීක්ෂණවලට පෙනි සිටින්න බැහැ.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පාසල් සගයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා එහිදි මෙසේ කීවේය.
කමල් කියන්නේ ඉතාමත් අවංක නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන දෙදෙනා ඇතුළු සියලූ පාර්ශවවලට යුද්ධය අවසන් කිරීමේ ගෞරවය දී තිබෙනවා. ඔහු කිසිදු දේශපාලන බැඳීමක් හෝ පක්ෂපාතිත්වයකින් තොරව සියලූ පාර්ශවවලට නිසි ගෞරවය දී තිබෙනවා.
යුද්ධයෙන් මිය ගිය පළමු නිලධාරියා ලූතිනන් වාස් ගුණවර්ධන බව අප සඳහන් කළ යුතු ප‍්‍රධාන කරුණක්. එයත් අපට යම් හැගීමක් ඇති කළා.
මේ කරුණ ද සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසන් කළත්, එහි නිවැරැදි ඡායාවක් ලොවට ගෙන ගියේ නැහැ. ලංකාවේ විදේශ අමාත්‍යාංශය සිය කාර්යභාරය නිසි ලෙස ඉටු කළේ නැහැ. ලොවට නිවැරැදි තොරතුරු ගියේ නැහැ.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යසන්ත මල්ලි යනුවෙන් ආමන්ත‍්‍රණය කරන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂඨ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කෘතිය පිළිබඳ විවරණයක් කරමින් මෙසේ කීය.
“මට දවසක් කමල් අයියව හම්බ වුණා. එදා අපි කතා කළා. මට රාජකාරී කටයුත්තකට ඔහුගෙන් තොරතුරු වගයක් අවශ්‍ය වුණා. ඔහු ඔහුගේ සීමාවලට යටත්ව මට සත්‍ය කියා සිටියා. කමල් අයියේ, මේ රටේ මිනිස්සු දැනගත යුතු, අනාගතය දැනගත කරුණු රැසක් ඔබ දන්නවා. එම නිසා අවසානයේදී පොතක් ලියන්නැයි මා ඔහුට කියා සිටියා. ඔව්, ඔය යෝජනාව මට කිහිපදෙනෙක් කිව්වා. අපි බලමු යැයි කීවා.
වරින් වර පොත ලියන බවත්, පොතේ ප‍්‍රගතිය මෙසේ බවත් ඔහු කියා සිටියා. මාස තුන හතරකට කලින් කමල් අයියා මට දුරකතන ඇමතුමක් දුන්නා. මල්ලි මම පොත ලියලා අවසන්. මල්ලි පොත එළිදක්වන දවසට පොත ගැන කතාවක් කරන්න කියා ඔහු මට කිව්වා. මල්ලි එදාට කතා කිහිපයක් තිබෙනවා, ඒ නිසා කතාව විනාඩි දහයකට කෙටි කරන්න කියලා ඔහු මට කීවා. අධිකරණයේ වැඩියෙන් කතා කරන නිසා විනාඩි දහයක් කතාවක් නිසා මම ගොඩක් සතුටු වුණා.
පසුව මට කෙටුම්පතක් ලැබුණා. එය පිටු 800ක්. පොත බලාගෙන යද්දි මම වැටුණු අමාරුව මම තේරුම් ගත්තා.“ යැයි ඔහු තවදුරටත් කීවේය.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත රණ මඟ ඔස්සේ නන්නදිකඩාල් උත්සවය එළිදැක්වීමේ උළෙලට ගෙනවිත් තිබූ පිටපත් සියල්ල අවසන් වී තිබීමද සුවිශේෂී සිද්ධියකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක, ආචාර්ය දයාන් ජයතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.