ජැක්සන්ගේ දුව වන මාධවීගේ කතා


2016-05-13-ent-14

2016-05-13-ent-11මාධවී කොහොමද ජීවිතේ?

ගොඩක්ම කාර්යබහුලයි. ඒත් තියෙන වැඩ කටයුතු ඉතා හොඳින් කරගෙන කාලය ගත කරනවා.

 

මේ දවස්වල මොකද කරන්නේ?

සුපුරුදු විදිහට හිරැ TV එකේ නිවේදන කටයුතු කරනවා. විදේශීය විශ්වවිද්‍යාලයක Tourism උගන්වනවා. ඊට අමතරව මගේම ව්‍යාපාර කටයුතුවලට මම ගොඩක් කාලය යොදවලා තියෙනවා. ඒ හරහා මම කරන්නේ සංවිධාන කටයුතු. ඒ නිසා ගොඩක්ම කාර්යබහුලවෙලා තියෙනවා. රැයක් දවාලක් නැතුව වැඩ.

 

ළමා කාලයට ගියොත් මාධවී කොහොමද මල්ලිලා දෙන්නා එක්ක ගත කරපු කාලය?

අපි තුන්දෙනා ගැන කියද්දි, අපේ අම්මා අප්පච්චි අපි පොඩි කාලේ ඉඳන්ම කාර්යබහුලයි. ඉතිං අපි තුන්දෙනාට අපි තුන්දෙනා තමයි හිටියේ. මොකද අම්මා රැකියාවක් කරන අතරතුර කලාවට සම්බන්ධවෙලා හිටියේ. ඉතින් උදෙන්ම වැඩට ගිහිල්ලා රෑ වෙලා ගෙදර එන්නෙ. අප්පච්චි නම් ඊටත් වඩා අඩු කාලයක් ගෙදර හිටියේ. ගොඩක් කාර්ය බහුලවෙලා හිටියෙ. අපිට එකට කතා කරන්නවත් කාලයක් තිබ්බෙ නැති තරම්.

ඒ නිසා අම්මලා අප්පච්චි නැතිකොට අපි තුන්දෙනා තමා නිතර එකටම හිටියේ. මගේ යාළුවන්ගෙන් මට චෝදනාවක් තිබ්බා මම හැසිරෙන්නේ පිරිමි ළමයෙක් වගේ. කිසිම අහිංසකකමක් නෑ. කිසිදෙයකට බය නෑ. දරදඬුයි. ඍජු තීරණ ගන්නවා කියලා. සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ මම හැදුනේ මගේ මල්ලිලා දෙන්නා එක්කනෙ. මම පොඩි කාලේ ඉඳන් දැක්කේ ඒ දෙන්නව.

මමත් බෝනික්කන්ට වඩා වාහනවලට ඇලුම් කළා. ඒවා කඩ කඩා හැදුවා. එහෙම සුන්දර මතකයක් තියෙන්නේ. සහෝදර බැඳීමටත් වඩා අපි අතර මිතුරු සබැඳියාවක් තියෙන්නේ. වයස් පරතරය වුණත් අවුරුද්දක් වගේ අපේ තියෙන්නේ. ඒවත් හේතු වෙන්න ඇති.

 

රණ්ඩු වෙන අවස්ථා නැද්ද?

අපෝ රණ්ඩු වෙනවා. මිතුරු කිව්වම හතුරු වෙන අවස්ථා වැඩිනේ. ඉතින් රණ්ඩු වුණ අවස්ථා ඕනෑතරම් තියෙනවා.

 

රණ්ඩුවෙලා දුරදිග ගිය අවස්ථා එහෙම නැද්ද?

තියෙනවා.. තියෙනවා. එහෙම අවස්ථාවන් මාස ගණන් කතා නොකර හිටපු අවස්ථා තියෙනවා. නැහැ කියලා කියන්න බැහැ. නමුත් නැවතත් අපේකම කියන එක මගේකම කියන එක හැමදේටම වඩා ඉදිරියෙන් මතුවෙලා එනවා. අවසානයේ දී කාත් කවුරුවත් නැති වුණාම ඉතිරි වුණේ ඒ අය විතරයි.

 

ගෙදර කට්ටියම එකතුවෙලා ගමන් බිමන් යන්න කාලයක් තියෙනවද?

පොඩි කාලෙ නම් එහෙම තිබුණා. අවුරුදු කාලෙදි වගේ. දැන්නම් තියෙන කාර්යබහුලකම නිසාම පස්දෙනාම එකතු වෙනවා කියන්නෙත් හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.

 

අපේ රටේ ඉන්න ඉතාමත් ජනප්‍රිය පවුලක වැඩිමල් දරුවා ඔබ. ඔබට මොකද හිතෙන්නේ ඒ ගැන.

බරක් දැනෙනවා. වගකීමක් දැනෙනවා. මම හිතන්නෙ මම ඉපදෙනකොට ඒ වගකීම අරන් ඇවිත් තියෙනවා. ඒ වගකීම රටට ලෝකෙට වැඩදායී වන විදියට ඵලදායී විදියට යෙදවිය යුතුයි කියලා මට දැනෙනවා. පුංචි කාලේ දැනුණටත් වඩා දැන් වයසින් මුහුකුරා යනවිට දැනෙනවා වැඩියි. මම මගෙන්ම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. කළයුතු දේ මොකක්ද? නොකළ යුතු දේ මොකක්ද? කියලා.

ඒ වගේම ගෞරවපූර්වයි. මම මගේ මව්පියන්ට ඒ අය ගැන තියෙන ගෞරවය සහ මාධවී කියලා කෙනෙක් ඉන්නේ අද ඒ අය නිසානෙ කියලා මට හිතෙනවා. කලා පවුලක ඉපදීම විශේෂයි. ඒ හරහා ලැබිච්ච අවස්ථාවන් බොහෝමයි.

 

අම්මා අප්පච්චි ගැන කිව්වොත්?

මට ලැබිච්ච ලොකුම භාග්‍ය මගේ අම්මා සහ අප්පච්චි. ඒ තරම් දක්ෂ, බුද්ධිමත් ඒ වගේම හොඳ මව්පියන්ගේ දුවෙක් වීම වාසානාවක් වාසමම හිතනවා මගේ අප්පච්චි සහ අම්මා මා එක්ක ඉඳීවි කියලා සංසාරේ පුරාවට. මගේ අප්පච්චි මාව තේරුම් ගත්ත විදිය පුදුමයි. මගේ යාළුවො මට කියනවා මම හරි වාසනාවන්තයි කියලා ඒ ගොල්ලන්ට දැනෙනව කියලා. ජැක්සන් ඇන්තනිගෙ දුව වීම නිසා නෙවෙයි.

එයා මාව තේරුම් ගන්නෙ මගේ වයසට ඇවිත්... කිසිම දෙයකට බල කරන්නේ නෑ. මඟ පෙන්වනවා අත දෙනවා විතරයි. ඒ ගැන මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ. මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙන දුවෙක්.

 

මාධවීට අනුව ජනප්‍රියත්වය කොහොමද දැනෙන්නේ?

ජනප්‍රියයි කියන්නේ ජනයා ප්‍රිය කිරීම. ඒ හරහා වාසියක් මිස අවාසියක් ජීවිතයට වෙන්නේ නෑ. නමුත් ජනප්‍රියවීම තුළ තියෙන අනෙක් පැත්ත ප්‍රසිද්ධ වීම. ප්‍රසිද්ධ හැමෝම ජනප්‍රිය නෑ. මම හිතනවා මම ජනප්‍රිය චරිතයක්. මම ඒක නිහතමානීව පිළිගන්නවා. ඒ හරහා පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම අසීරුවෙලා තියෙනවා. අප්පච්චි අපිට නිතර කියනව ජීවිතයේ ගොඩක් දේ කැප කරන්න වෙනවා කියලා.

ඒ වගේම ස්වයං විනය, ස්වයං විවේචනය, ස්වයං වාරණය කියන දේ අපි අපි තුළම ගොඩ නගාගන්න ඕන. ප්‍රසිද්ධිය ප්‍රශ්නයක් වුණ තැන නැහැයි කියන්නත් බෑ.

 

අනාගත බලාපොරොත්තු?

අනාගත බලාපොරොත්තු ගැන කියනවා නම් මම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ඉගෙන ගන්නවා. මේ අවුරුද්ද තුළ පශ්චාත් උපාධිය ඉවර කරනවා.

වෘත්තිය පැත්තෙන් ගත්තොත් මම මගේ නිර්මාණශීලී හැකියාවන් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. රංගන ශිල්පිනියක් කියන තැනින් ඔබ්බට යන්න මම ඉගෙන ගන්නවා. නිරන්තරයෙන් මම හැමදේම ඉගෙන ගන්නවා. බුද්ධිය දැනුම කියන දේට මම කෑදරයි. ඒක නිසා මම අප්පච්චි දිහා බලලා ඔහු තුළින් දකින රංගනය, නිවේදනය, රචකයෙක්, ගවේෂකවරෙයක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් කියන භූමිකා වලින් කැමතිම අධ්‍යක්ෂකවරයෙක් කියන දේට.

මම ප්‍රාර්ථනා කරනවා මටත් කවදා හරි හොඳට ඉගෙන ගෙන සාර්ථක අධ්‍යක්ෂකවරියක් වෙන්න ලැබෙයි කියලා. මම ඒ වෙනුවෙන් වැඩ කරනවා.

ඒ අතර මගේ උත්සව කටයුතු සංවිධාන කරන ව්‍යාපාරය සාර්ථකව කරගන්න කටයුතු කරනවා.

තව මගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනව කවදා හරි දවසක අප්පච්චිට වාහනයක් අරන් දෙන්න. මොකද පසුගිය කාලේ බොරු චෝදනා ලැබුවා වාහන ගැන. නමුත් එයා තාම පදින්නේ සීයා කෙනෙක් වගේ 1996 දි ගෙවන්න ගත්ත කැබ් රථය. ඉතින් මම හිතනවා මට පුළුවන් වෙයි කියලා කවදා හරි අප්පච්චිට වාහනයක් අරන් දෙන්න.

 

 අනූෂා / ඡායාරූප අනුග්‍රහය - මාධවීගේ ෆේස්බුක් ගිණුම 

 

DESHAYA

 

2016-05-13-ent-13
2016-05-13-ent-12