අපි මෙච්චර දවසක් නාට්‍ය රිහර්සල් හොයාගෙන ගිය ගමනේදී අපිට හමුවුණු බොහෝ වේදිකා නිර්මාණකරුවන් අපිට හමුවුනේ වේදිකාවකදී. එහෙම නැත්තන් කුමන හෝ නාට්‍ය පුහුණුවීම්වලටම වෙන් වුණු තැනකදී. අද අපේ ගමන වෙනස් වුණා. අද අපි ඔබව මුණගැහෙන්නේ නිවසක සාලයකදී. අද අපි හොයාගෙන ආපු නාට්‍ය 1963 අපේ‍්‍රල් මාසේ ලූම්බිණි රඟහලේ හා හා පුරා කියලා වේදිකාවට ගෙන ආපු දැවැන්ත වේදිකා නිර්මාණයක නව නිෂ්පාදනයක් නාට්‍ය තමයි බක්මහ අකුණු. එහි නිර්මාණකරුවා වුනේ ලාංකීය නාට්‍යකලාවේ බලකණුවක් ලෙස සලකන දයානන්ද ගුණවර්ධන. ඒ එදා කතාව. මෙදාත් බක්මහ අකුණු නව නිෂ්පාදය කරළියට ගේන්නේ ගුණවර්ධන කෙනෙක්. ඒ ගුණවර්ධන තමයි වසන්ත ගුණවර්ධන. වසන්ත කියන්නේ දයානන්ද ගුණවර්ධනගේ බාලපුතා. අද කාලේ වගේ ප‍්‍රහසන රැල්ලක් තිබුණු කාලයක තමයි දයානන්ද බක්මහ අකුණු වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළේ. එහෙත් ඒක රැල්ලේ නිෂ්පාදනයක් විදියට නෙවෙයි විනෝදයෙන් පිරි නාට්‍යයක් විදියට.
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපිලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක්මහ ළංවීලා
එකවරම සොඳුරු රුවැත්තියක් කවියකුත් තාලයට කියාගෙන අපි ඉඳපු නිවසේ සාලයට මතුවුණා. ඇය පසුපසින් තවත් තරුණයෙක් ඇවිත් දෙදෙනාම ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන් ආලවට්ටම් පානවා. හරියට අපි මුකුත් කියයි වගේ. සිංදුව කියාගෙන බොහොම ලයාන්විත බැල්මක් තරුණයා වෙත හෙලාගෙන ආවේ මනමේ කුමරියගේ චරිතයෙන් මේදිනවල අපට හමුවන තරංගා කුමාරි. තරංගා මේ නාට්‍යයේ පබලිනා විදියට තමයි අපිව හමුවන්නේ. පබලිනාගේ පස්සෙන් ආපු තරුණයා ඉන්දික ජයසිංහ ඊට අමතරව ජයනාත් බණ්ඩාර මුදලි විදියටත්, රත්නශීලා පෙරේරා කරුණාවතී විදියටත් කැලූම් ගම්ලත් ළමාතැනී විදියටත්, සුනිල් තිලකරත්න පෙරේරා විදියටත් වසන්ත ගුණවර්ධන බයිසප්පු විදියටත් රංගනයෙන් දායක වෙනවා.
පබලිනා පැද්දි පැද්දී ජාසොන්ට ආලකතන්දර පාන අතරේ හරි අබැද්දියකට තමයි මේ දෙන්නාට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජාසොනුයි පබලිනායි ඉන්නේ විවාහ වෙන්න බලාගෙන. ඒක දැනගත්තු මුදලි ජාසොන්ට වත්තක් බාර දීලා ජාසෝන්ව එහේ පිටත් කොරන්න තමයි සුදානම බපලිනාව මුදලිගේ වත්ත ගාවින්ම ඉඩමක්දීලා පදිංචි කර ගන්නත් මුදලි දැන්ම සැලසුම් හදලා ඉවරයි. පබලිනයි ජාසොනුයි දසඅතේ කල්පනා කරන්නේ මුදලිගෙන් බේරෙන්න දහන් ගැටයක් ගහන්නේ කොහොමද කියලා. ඔය අතරේ තමයි පබලිනා හොයාගෙන ලියන මහත්තයා පබලිනාගේ නිවසට එන්නේ. ඉන්පස්සේ ඉක්මණටම ජාසොන්ව තැනක හංගන පබලිනා මුකුත් නොවුණු ගාණට ලියන මහත්තයාව පිළිගන්නවා. ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉන්න අතරේ තමයි තවත් අලකංචියක් පාත්වෙන්නේ. ගමේ රාජකාරි කොරකොර යන අතරේ පබලිනාගේ මූණ පොඩිත්ත බලාගන්න ඔන්න බොලේ මුදලිත් පබලිනාගේ නිවසට ගොඩ වැදිලා. පබලිනාට කරන්න කිසිම දෙයක් නැහැ. පබලිනා ඉක්මණට තවත් මුල්ලක ලියන මහත්තයාවත් හැංගුවා.
මුදලි පබලිනා එක්ක කතා කර කර ඉන්න අතරේ මෙන්න බොලේ ලියන මහත්තයා වහලා ඉඳපු ලේන්සුව මුදලි එක පාරටම ඉස්සුවා. කට්ටියටම වැඬේ මාට්ටු. ඈ මෙන්න බොලේ ලියන මහත්තයා මෙහේ. මොකද්ද බොල තොට මෙහේ තියෙන රාජකාරිය. මුදලි අහන්නේ කෝපයෙන් ඇස් දිලිසෙන ගමන්. ඔව් ඉතින් හැමෝටම මෙහේ තමයි රාජකාරි පබලිනා කියන්නේ මුදලිට උපහාසේත් එක්ක.
එක් ජවනිකාවක් මහන්සි නොබලා කට්ටියම කරලා ඉවර කලා. නාට්‍ය පුහුණූවීමක් කියලා නොදැනුණු නිසාම අපිත් හිටියේ නාට්‍යයට සම වැදිලා. දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය නිර්මාණයක් නැවත වතාවක් පේ‍්‍රක්ෂකයාට නරඹන්නට අවස්ථාව ලැබෙනවා වගේම මේ නිර්මාණය තව හේතුවක් නිසා විශේෂයි. ඒ තමයි කැරකෙන වේදිකාවක තමයි බක්මහ අකුණු රඟදැක්වූවේ. මෙදාත් ඒක එහෙමයි. කැරකෙන වේදිකාවක රඟදක්වන නිසාම කට්ටියම ඉන්නේ ගොඩාක් බයෙන්. ජයනාත් කරන විහිළු නිසා ඒ බය තවත් වැඩිලූ. නාට්‍ය පුහුණුවීම්වල තියෙන රසවත් බව බක්මහ අකුණු නව නිෂ්පාදනයටත් උරුම බව නිර්මාණයට එකතුවෙලා ඉන්න කණ්ඩායම දිහා බැලූවාම පැහැදිලියි. සමහර දවස්වලට නාට්‍ය පුහුණූවීම්වලට කියලා එකතුවෙන කට්ටිය ? කෑමත් කඐලා පුහුණුවීම් නොකරම අපහු යනවලූ.
කට්ටිය පොඞ්ඩක් රංගනයෙන් විරාමයක් ලැබුවාට පස්සේ අතීතයේ මේ රටේ බිහිවුණු දැවැන්ත නිර්මාණයක් වේදිකාවට ගෙන එන්න බලපෑ හේතුව පිිළබඳව වසන්ත ගුණවර්ධනයන් විමසුවා. ඔහුට ඒ ගැන තිබෙන්නේ මේ විදියේ අදහසක්.
‘‘මේක අනුවාදයක් ආශ‍්‍රයෙන් කරපු නාට්‍යයක්. තාත්තා මේක තෝරාගන්නම ඇත්තේ රදල වාදයට පහර ගහපු නාට්‍යයක් නිසා වෙන්න ඇති කියලා හිතෙනවා. තාත්තා මේ පිටපත යුරෝපියානුබවින් මුදවාගෙන ලංකාවේ නිලධාරීවාදය ක‍්‍රියාත්මක වෙන විදියට ගැලපුවා ආදරය කියන්නේ මොකද්ද? පවුලක තිබෙන වටිනාකම මොකද්ද කියන එක එම නාට්‍ය පුරාම කතා කරනවා.’’
මුදලි කියන්නේ මේ නාට්‍යයේ කේන්ද්‍රීය චරිතය. ඒක ස්ත‍්‍රී ලොල් චරිතයක්. පබලිනා වසඟයට ගන්න මුදලි නාට්‍ය පුරා නොකරන දෙයක් නැහැ. චරිතයට ජීවය දෙන ජයනාත් බණ්ඩාරගෙන් චරිතය ඔහුට දැනෙන විදිය ගැන අදහසක් ගන්න මම උත්සාහ කළා.
‘‘මම විවිධ චරිත නිරූපණය කර තිබෙන නිසා අධි තාත්වික රංගනයකට මෙහිදී යන්න වෙන බව අවබෝධ කර ගත්තා. හැම වෙලාවෙම නාට්‍ය ශෛලියට හානියක් නොවන්න තමයි මේ චරිතය මම නිරූපණය කරන්නේ.
වසන්තට තාත්තා නාට්‍ය කලාව උරුම කරලා දුන්නා වගේම අද අම්මත් ශක්තියක් වෙලා. නව නිෂ්පාදනයේ රංගවස්ත‍්‍ර පසුතල නිර්මාණය සියල්ල කරන්නේ ගුණවර්ධන මහත්මිය. නාට්‍යයේ සංගීතය සෝමදාස ඇල්විටිගලගේ සංගීතය මෙහෙයවීම පුබුදු වල්පිටගේ.
දයානන්ද ගුණවර්ධන අනුස්මරණ දිනය නිමිති කරගෙන ජුනි 24 නරිබෑනා නාට්‍යයත්, 25 මධුර ජවනිකා නාට්‍යයත් 26, බක්මහ අකුණු නාට්‍යයත්, ලයනල් වෙන්ට් රඟහලේදී රාත‍්‍රී 7.00 ට රංගගත වීමට නියමිතයි. ‘‘බක්මහ අකුණු’’ නව නිෂ්පාදනය මොනතරම් කම්පනයක් අපේ සිත්වල ඇති කරනවාද කියන එක එදාට තමයි හරියටම බලාගන්න වෙන්නේ.
අම්ල චින්තක ගමගේ / ඡායාරූප - ඉෂංක සුනිමල්