තලතා පැත්ත මාරු කරයි ?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

දේශපාලනයේදී කොතෙක් ඉවසිය යුතුදැයි ජේ. ආර් .ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.

හොරුන්ගේ නැවෙන් පැන්න නයි මුගටි ඔක්කොම දැන් සමගි ජන බලවේගය නැමැති කොටය තදින් බදාගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

සමගි ජන බලවේගයේ මුල් සාමාජිකයන්ට දැන් එහි තැනක්  නැතැයිද අතුකෝරල  මහත්මිය කීවාය.

තලතා අතුකෝරල මහත්මිය:-

අද අපේ මව් රට බරපතල වශයෙන් ආර්ථික වශයෙන් කඩා වැටී අර්බුදයට ලක්ව තිබෙන්නේ. මේ අවස්ථාවේ අපට තීරණාත්මක ජනපතිවරණයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.මේ රටේ ජනතාව වඩා බුද්ධිමත් වී ඇති බව අප තේරුම් ගත යුතුයි. මහපොළොවේ ඇත්ත යථාර්ථය එයයි. තවදුරටත් ජනතාව රවටන පොරොන්දු ලබාදී  ඉදිරියට යන්න බැහැ.

සමහර දේශපාලකයන් තවමත් ඒ සඳහා උත්සාහ කරනවා.ජනපතිවරණයේදී ජනතාව ඔවුන්ට රැවටෙන්නේ නැහැ.මෙවැනි තීරණාත්මක අවස්ථාවක අපේ රට සහ ජාතිය ගැන අප සතු ඓතිහාසික  වගකීම හොඳින් අවබෝධ කරගත යුතුයි.

එසේ නොකළහොත් අපේ නම ඉතිහාසයේ කුණු බක්තියට වැටෙනවා.

මගේ සහෝදරයා වූ ගාමිණී අතුකෝරල කිසි දිනක පක්ෂය හැර ගියේ නැහැ.මගේ ඇඟේ දුවන්නෙත් ඒ ලේ.

මෙය මට ඉතා සංවේදී අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. 

අපේ මව් පක්ෂයේ නායකයන් දෙදෙනා දෙපැත්තට බෙදිලා. නායකයෙන් දෙදෙනා දෙපසකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී තීරණයක් බව අපේ හැඟීමයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් නිහඩව හිටියොත් මමත් මේ පාපයට දායක වූ කෙනෙක් බව කියවෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ වහා තීරණයක් ගත යුතුයි.

එමෙන්ම එය මගේ හෘද සාක්ෂියට එකඟ වන ජනවරමක් ලබාදුන් රත්නපුරයේ ජනතාවගේ අනාගතයට පටහැනි නොවන තීන්දුවක් විය යුතුයි. කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි.

ඒ දේශපාලන ගමන කිසිසේත් නතර කරන්නේ නැහැ. ඒ ගැන මේ අවස්ථාවේ ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.කාන්තාව වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා.මා විසින් මේ අවස්ථාවේ ගැනීමට නියමිත සංවේදී තීරණය පිළිබඳව රත්නපුරේ ජනතාවට මා දැනුම් දෙනවා. ඒ තීරණාත්මක මොහොතට මා අද මුහුණ දෙනවා.

එක්සත් ජාතික පක්ෂයට වසර හැත්ත අටයි. 

පක්ෂය දෙකඩ නොවී ඒ ගැටලුව විසඳා ගන්න නොහැකි වූයේ ඇයිද යන්න අපට නිරන්තරයෙන් සිහි වෙනවා. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් ලෙස මා ජයග්‍රහණය කළත්, අනාගතය දෙස නොබලා ගත් තීරණය හරිද කියා මා නිරන්තරයෙන් සිතනවා.ඒ සම්බන්ධයෙන් මා නිරන්තරයෙන් දුක්වුණා. රනිල් සහ සජිත් දෙදෙනා ගැනම මට හොඳ අවබෝධයක් තිබෙනවා.

මේ ජනපතිවරණයේදී අප ජය ජයගන්නට නම් එකතු වී මිස වෙන් වී තරඟ කිරීම ප්‍රායෝගික නොවේ. අප අද අලුත් තත්ත්වයකට මුහුණ දී තිබෙනවා .රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්නැයි දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාසට එය විරුද්ධ වූයේ ඇයි දැයි මා දන්නේ නැහැ.

දේශපාලනය කරද්දී ඉවසීම කොතෙක් දැයි අපේම නායකයන් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා තිබෙනවා.

මේ රටේ දේශපාලන නායකයන් ගෝඨාභය රාජපක්ෂගෙන්වත් පාඩමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. බලය ලබාගන්න තැත් කළත් එය රැක ගන්නා ආකාරය ගැන සිතිය  යුතුව තිබෙනවා.
අද මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගන්නා අවස්ථාවේ කිව යුතු දෙයක් තිබෙනවා. එකම කඳවුර දෙකට බෙදිලා එක කඳවුරේ දෙන්නෙක් තරඟ කිරීම ඔලමොට්ටල වැඩක්.

ස්වභාව ධර්මය වෙනුවෙන් සියලු බාධක ඉවත් කොට අපේ ජයග්‍රහණ බන්දේසියක තබා පිළිගන්වන මොහොතේ එය පිළිගන්නේ නැත්තේ ඇයි? 

රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝදනාව හොරු සමග වාසය යන්නයි.සමගි ජන බලවේගයටත් එය දැන් පාරාවලල්ලක් වෙලා. එදා හොරුන්ගේ නැවෙන් එළියට පනින පැන්න අය අද ඉවක් බවක් නැතිව සමගි ජන බලවේගයට ඇතුල් වෙලා. ඒ නිසා සජබ  මුල් සාමාජිකයින් පිරිසට දැඩි කලකිරීමට ලක්වන්නට සිදුවී තිබෙනවා. නයි මුගටි ඔක්කොම දැන් සමගි ජන බලවේගයට පැන එය තදින් බදාගෙන ඉන්නවා.ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ බලය වෙනුවෙන් ඉවසන්න යන පාඩම අපිට උගන්වා තිබෙනවා.