තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට  රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී  වික්‍රමරත්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා)  දැනුම් දුන්නේය.

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් කෝටි අටකට ආසන්න අලාභයක් සිදුව ඇති බවද  කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක්  ලියාපදිංචි කර ඇති  බවටද තොරතුරු හෙළිවූ බව  කෝපා කමිටුව පවසයි.   

දෙපාර්තමේන්තුව විගණන නිරීක්ෂණ 25 සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගත නොහැකි හෙයින්  ස්වාධීන කණ්ඩායමක් යොදවා නැවත විධිමත් පරීක්ෂණයක්   කරන  ලෙස  කෝපා කමිටුව නිර්දේශ කළේය.

භාවිතයට නොගත් හිස් අංක සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමෙන් රජයට  ලක්ෂ හැට දෙකක පමණ අලාභයක් සිදුව ඇති බවද එහිදී  හෙළි විය

මේ තොරතුරු හෙළිවූයේ  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (21) වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී දෙපාර්තමේන්තුව  අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ කර  ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන්ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව  දැනුම් දුන්නේය

ඒ අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග   ගැනීමට  ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් විමර්ශන පැවැත්වීමට පියවර ගන්නා ලෙසට  සභාපතිවරයා නිර්දේශ කළේය.

පුර්ව  වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ  චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහන වල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර  වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ සිද්ධියක්  පිළිබඳවද කෝපා කමිටුවේ  අවධානය යොමුවිය. එහිදී  රුපියල්  කෝටි 120ක  මුදලක් රජයට පාඩු වී තිබෙන බවට අනාවරණය විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දුෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්  මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් කිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කරන  ලදී. තවද, මෙහි  සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන්  සම්බන්ධයෙන්  නිතීය ක්‍රියාත්මක කිරීමටද  කාරක සභාව  නිර්දේශ  කර අැත

මෙම රැස්වීමට  කාරක සභා සාමාජික  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරැන් වන සුන්දරලිංගම් ප්‍රදීප්, නලින් හේවගේ, ජේ.සී. අලවතුවල, රෝහිත අබේගුණවර්ධන, හෙක්ටර් අප්පුහාමි, කවීන්දිරන් කෝඩීස්වරන්, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුසන්ත කුමාර නවරත්න, චන්දන සූරියආරච්චි, වෛද්‍ය  ජනක සේනාරත්න, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු  පිරිසක්ද  සහභාගීවූහ