පිනිබර මලක් වගේ ගමේ පිපුණු ළඳේ
ඔබ ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා
ඔබ එනතුරා මං මෙහෙ ඉන්නවා.......
ගී ලොව ස්වර්ණමය වූ හැත්තෑව දශකයේදී, ආචාර්ය වික්ටර් රත්නායකගේ මුවින් ගැයුණු මේ මනරම් ගීතය ලියැවුණේ කුලරත්න ආරියවංශගේ පෑන් තුඩිනි.
ඒ, ඔහුගේ මුල්ම ගීතය වූ,
ආදරයෙන් මා හද වට එතෙන ලතා
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා නම් වූ අබේවර්ධන බාලසූරියගේ මුවින් ගැයුණු ගීතයට ටික කාලයකට පසුවය.
එදා මෙදාතුර ගී දහසකට වඩා වැඩි ගණනක් රචනා කළ කුලරත්න ආරියවංශ, මේ පියමං කරන්නේ සිය ගී මගේ හතළිස් වැනි අවුරුද්දයි.
ඉතිං ඔහු පැමිණි මග දෙස ආපසු හැරී බැලීමට මේ සුදුසුම මොහොත නොවේද?
”මම කොළඹ ආනන්දෙ ඉගෙන ගන්න කාලෙමයි කවි ලියන්න පටන් ගත්තෙ. ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මමයි, රංජිත් කුමාරයි, මෛත‍්‍රී පනාගොඩයි ලියපු කවිත් අරගෙන පත්තර කන්තෝරු ගානෙ ගියා. ඊට පස්සෙ කාලෙක මමත් පත්තරවලට ලියන්න පටන් ගත්තා. අබේවර්ධන බාලසූරිය, ඔය කාලෙ ගායකයෙක් විදිහට මතුවුණා. මම අබේ ගැන ලියපු ලිපියකට පස්සෙ අබෙයි මමයි අතරෙ ඇතිවුණෙ අපූරු මිත‍්‍රත්වයක්. ඔන්න ඔය මිත‍්‍රත්වයෙ ප‍්‍රතිඵලයක් විදිහට තමයි අබේට මගේ අතින් පළමුවෙනි ගීතය ලියැවුණේ.
ඒ අතීතයේදී එසේ පටන්ගත් ගමනේදී ඔහුට මුණගැසුණු ගායක ගායිකා පිරිස නිමක් නැත. ඔහු ගීතයක් නොලියූ ගායකයෙක් හෝ ගායිකාවක් ද ඒ අතර සිටියේ නැත.
මේ කාලෙ කැසට් පටි ලංකාවට ආපු කාලෙ.
ආනන්ද ගනේගොඩ කලාකාරයො ගායකයො එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ඔහු 1980දී පටන් ගත්තා සිංග් ලංකා කියලා සමාගමක්. ගීත පටිගත කිරීමේ ශබ්දාගාරයකුත් සමග. මේ නිසා සිංග් ලංකා ශබ්දාගාරයට හැම වෙලාවෙම විවිධ ශිල්පීන් එන්න යන්න පටන් ගත්තා. ජීවිතේටම දැකල නැති සංගීතඥයො දැකගන්න ලැබුණෙ. මුත්තුසාමි, කේමදාස මාස්ටර්, රොක්සාමි, විජේරත්න රණතුංග වගේ අය. එතකොට පණ්ඩිත් අමරදේවලා වගේම ජෝතිපාලලා දක්වා ගායකයො ගායිකාවො මේ නිසාම සිංග් ලංකා එකේ ගතකරපු කාලෙ හරිම රසවත් වුණා.
සිංග් ලංකා සමාගම පටන් ගනිද්දිම කැසට් පටි විසිපහක් නිකුත් කළා. මේ කැසට්පටවලට ගීත ගැයුවෙ විවිධ ශිල්පීන්. සිසිර ඉන්ද්‍රානි එහෙමත් එයාලගෙ ගීත ටික ඔක්කොම අපිට දුන්නා කැසට් කරන්න කියලා.... එතකොට මිල්ටන් මල්ලවආරච්චිලා, ජෝතිපාලලා වගේම, පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, සංගීත් නිපුන් සනත් නන්දසිරි වගේ හැම ආරකම ගී ගයපු ගායක ගායිකාවො සිංග් ලංකා එක්ක එකතුවුණා.
මේ නිසාම සිංග් ලංකා සමාගමේ පටන් ගැනීමම සංගීත ලෝකයේ දැවැන්ත පිම්මක් බවට පත්වුණා.
1982 දී රෝහණ වීරසිංහත් සිංග් ලංකා සමාගමට එකතු වුණා. ඒක අපිට දැවැන්ත ශක්තියක් වුණා. ඒ වෙද්දි එයා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙ සංගීත ගුරුවරයෙක් විදිහටයි සේවය කළේ. ඒත් නිවාඩු ප‍්‍රශ්නයක් උඩ ඔහු රස්සාවෙන් අයින් වෙලා සිංග් ලංකාට එකතු වුණා. මේක මටත් ලොකු හයියක් වුණා. ඒ විතරක් නෙමේ, මගෙන් සිංදුවක් ලියාගන්න ගායකයෙකුට, රෝහණගෙන් මෙලඩියක් දාගන්නත් ඕන වුණා. මෙතන කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ සුසංයෝගයක් ඇතිවුණේ නොදැනුවත්වම. දැන් බලනකොට මං ලියපු සිංදුවලින් සියයට අසූවක්ම සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ රෝහණ.
ඔය විදිහට අපේ සිංග් ලංකා එක සද්ජන මිතුරු සමාජයක් බවට පත්වුණා. බන්දුල නානායක්කාරවසම්, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්. ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ වගේ ගීත රචකයො එහෙමත් නිතර ගොඩවෙන නවාතැන්පලක් බවට සිංග් ලංකා පත්වුණා.
විශාරද නන්දා මාලනී ගී තැටි විසිපහක් විතරම කළේ සිංග් ලංකා සමාගමෙන්. නන්දක්කගෙ තියෙන විශේෂත්වය තමයි විවිධ ගී නිර්මාණ කිරීම. වතාවක් ග‍්‍රැමෆෝන් ගීත ඇගේ හඬින් ගායනා කළා. මේ කටයුත්තේදී මමත් සුනිල් ආරියරත්න මහාචාර්යවරයාත් එක්ක ඔය පරණ ග‍්‍රැමෆෝන් යුගයේ ගායිකාවන්, ගායකයන් හොයාගෙන ගියා. ඒව හරි රසවත් මතක.
තව සැරයක් පැරැුණි චිත‍්‍රපට ගීත එකතුවක් කළාට පස්සෙ මම, නන්දක්කා එක්ක මීගමුවෙ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ලගෙ ගෙදර ගියා. එතකොට නන්දක්කා අලූත් ගීත රචකයන්ගෙ ගීත ගායනා කළා. අරලිය ලන්දට කියල සීඞී එකකට. ඊට පස්සෙ මලට රේණු කියලා තනු රචකයන්ගෙ ගීත එකතුවකුත් කළා. ඇත්තටම මේව අමුතුම අත්දැකීම්.
ඒ කාලෙ කැසට් පටිවලින් සීඞී තැටිවලින් මතුවුණු ගීත මහගොඩාක් තියෙනවා. ඒ ගීත රසිකයො වැළඳගත්තට පස්සෙ රේඩියෝවලිනුත් වාදනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම හැම ගායකයෙක්ම වගේ අවුරුද්දකට දෙකකට වතාවක් ගීත එකතුවක් නිර්මාණය කරන්න පෙළඹුණා. මේ වෙනුවෙන් හොඳම ගී පද රචනා හොයන්න හොඳම සංගීත රචනා හදන්න මේ අය වෙහෙසුණා. මේ අතරෙ කැසට් පට නිර්මාණය කරන ආයතනත් තරගෙට වගේ බිහිවුණා. හැබැයි මේ අතරින් සිංග් ලංකා ලේබලය ගුණාත්මක භාවයෙන් ඉහළ සුභාවිත ගීත නිර්මාණය කිරීමට හැමවිටම වෙහෙසගත්තා.
කුලරත්න ආරියවංශ අතින් ලියැවුණේම යොවුන් තරුණ තරුණියන්ගේ හදවත් ප‍්‍රකම්පනයට පත් කළ අතිශයින්ම ආදරණීය පේ‍්‍රම ගීතය. පේ‍්‍රම ගීත රචනයට ඔහු තරම් සමතෙක් සමකාලීනයන් අතර සිටියාදැයි සිතෙන තරමටම ඔහුගේ පේ‍්‍රම ගීත මනරම් විය. ඔහු මුණගැහෙන හැම විටෙකම ඔහුගේ බොහෝ පේ‍්‍රම ගීතවල පසුබිම් කතාව ගැන අහන්නට මම වෙහෙස වෙමි.
‘‘ඒ කාලෙ තරුණ කාලෙනෙ මමත් ආදරය කරන කාලෙ. ඉතින් මගේ අත්දැකීම්ම තමයි ඔය ගීතවල ලියැවුණේ.’’
ඊට වඩා ඒ ගැන කියන්නට අද ඔහුට සිත් නොදෙයි. හේතුව ඔහුගේ ගී ලොවටම දශක හතරක් පිරී තිබෙන නිසාය. එනම් අද ඔහු පරිණතව සිටීමය. එහෙත් පේ‍්‍රමය සේම කුලරත්න ආරියවංශ ද අදටත් තරුණයෙකි.
කෙසේ හෝ වේවා කුලරත්න ආරියවංශ අතින් චිත‍්‍රපට ගීත ද මහගොඩක් බිහිවිය. හැබැයි ඒ ගීත චිත‍්‍රපටය ගැලවී ගිය පසුත් යුගයෙන් යුගයට රස කලතන අග‍්‍රගන්‍ය නිර්මාණයන් වී තිබේ.
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ.... කවුරුදෝ මා
තනිකළේ පාසැල් බිමේ......
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල් වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ
ඔහුගේ චිත‍්‍රපට ගීවලට තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැත.
මේ වනවිට සීඞී ලෝකය බිඳ වැටී තිබේ. අද සිටින ගායකයන් අලූතින් සීඞී පට නොකරන තරම්ය. හේතුව බොහෝ තැන්වල කියැවෙන විදිහට අද ගීත රසිකයන් යූටියුබ් හරහා නොමිලේ ගීත රසවිඳීමට පෙළඹී සිටීමය. එනිසා සීඞී තැටියක් බිහිවෙතොත් ඒ ඉතාමත්ම කලාතුරකිනි. ඒද විකිණීමට නොව සුව නොවන සංගීත උණ නිසාය.
එහෙත්.......
මම මීට අවුරුදු දහයකට කලින් පිනිබර මලක් තිස්වසරක ගී කියලා සීඞී තුනක් නිකුත් කළා. මේ සීඞී තුනම එකම පැක්එකකට දාලයි නිකුත් කළේ. මේක බොහොම දෙනෙක් ආදරයෙන් වැළඳගත්තා. යුගයක් තුළ රසිකයන් ආදරයෙන් වැළඳගත්තු ජනප‍්‍රියම ගීත හැටහතරක් මේ පැක් එකේ අන්තර්ගත වුණා. නමුත් දැන් ඒ පැක් එකඉවරයි. මේ නිසයි මම හිතුවෙ තවත් ගී විසි දෙකක් එක්ක සී.ඞී. හතරක පැක් එකක් නිකුත් කරන්න. ඒ එක්කම ගීත සියයක පදමාලා ඇතුලත් කෘතියකුත් නිකුත් කරනවා. මොකද හුඟාක් කාලෙක ඉඳලා හුඟක් දෙනෙක් කරන ඉල්ලීමක් තමයි ගී පදමාලා කෘතියක් කරන්න කියන එක. ඔන්න මම ඒ ඉල්ලීමටත් සවන් දුන්නා. මම ඒ ගී පදමාලා පොතත් නම් කළේ පිනිබර මලක් යනුවෙන්. මම මේ පොතට එකතු කළේ මම බොහෝ සේ ආදරය කරන ගී පදමාලා.
එයින් සමහර ගීතයන් ජනප‍්‍රිය වුණෙත් නැහැ. ඒත් පදමාලා විදිහට මේ ගීත ඉතාමත්ම සාර්ථකයි. මම මේ සියල්ල තිලිණ කරන්නේ මෙවර ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී සිංග් ලංකා අලෙවි කුටිය මෙවර තියෙන්නේ ඊ ශාලාවෙ අංක 201 කුටියේ.
ඉතින් මෙම 16දා හිමිදිරියේම පිනිබර මලක් පිපෙනු ඇත. 25 වැනිදා රාත‍්‍රියේ පොත් ප‍්‍රදර්ශනය අවසන් වූ පසුත් එහි පිනිබිඳු නොවියැලී පරනොවී පවතිනු ඇත.
මේ පිනිබර මලේ ආශ්චර්ය එයයි.
ශාන්ත කුමාර විතාන