නිකිණි පොහොය අදයි


(ආරියරත්න රණබාහු)

නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ.

ඒවා අතර පසු වස් එළඹීම, ආනන්ද තෙරුන් වහන්සේ රහත්වීම. සහ ප්‍රථම ධර්ම සංගායනාව ,ආරම්භ කිරීම ආදිය වේ.

පෙර වස පසු වස වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ වැඩ සිටිය යුතු දින දෙකක් ගැන සඳහන් වේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම එක් ක්‍රමයකි.

එසේ කිරීමට යම්කිසි අපහසුවක් ඇති වූ කල්හි නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි අව පෑල වියද පසුවස් එළඹිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

මෙහි දැක් වූ ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් හෝ අනුගමනය නොකරන භික්ෂූන්ට ඇවැත් (වරදක්) සිදුවෙන බව විනය නියමයකි.මේ අනුව පසුවස් එළඹෙන දිනය වශයෙන් නිකිණි පෝය ශාසන ඉතිහාසයේ වැදගත්ි තැනක් ගනී . කෙසේ වුවද බෞද්ධ භික්ෂූන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද වස් කාලය තුළ දාන ශීල භාවනාආදී පිළිවෙත් හි වඩාත් යෙදීම කුසලයට හේතු වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ධර්මය පිරිසිදුව ආරක්ෂා කර ගැනීමට ප්‍රථම වරට ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක් නමක් හැර පන්සීයක් මහ රහතන් වහන්සේලා තෝරා ගත්හ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු ධර්මය අසා දැන , දරා සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් එහි ඉතිරි නම වශයෙන් තෝරා ගත යුතු වුවත් ඒ වන විටත් උන්වහන්සේ රහත් භාවයට පත්ව නොසිටීම ගැටලුවක් විය.

මේ පිළිබඳව වටහාගත් ආනන්ද හිමියෝ එදින මැනවින් සිත මෙහෙයවා විදසුන් වඩා අවසානයේ රහත් භාවයට පත්වූහ. ඒ වැදගත් සිදුවීමවූයේ නිකිණි පුන් පොහෝ දිනයක අලුයම් කාලයේ බව වංශ කතාවේ සඳහන් වේ.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පෝදා රජගහ නුවරට වැඩමවා එහි වස් සමාදන් වූහ. එක් මසක් මුළුල්ලේ සුදුසු පරිදි විහාරාම පිළිසකර කරවා සංගායනාවට අවශ්‍ය කටයුතු සංවිධානය කළහ විශේෂයෙන් ම රජගහනුවර වේහාර පර්වත පාර්ශවයෙහි සප්තපර්ණී ගුහා දොරටුවෙහිදී ඉදිකළ ා මණ්ඩපයෙහි ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළහ . සම්බුද්ධ පරිනිර්වාණයෙන් ම සිව්වන මස දෙවන දිනය වූ නිකිණි මස අව දියවතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඉපදෙනත්වයෙන් ආරම්භ කළ ඒ සංගායනාවට පන්සියයක් රහතන් වහන්සේලා සහභාගිව මේ බුද්ධ ධර්මයේ මනා සංවිධානය හා ආරක්ෂාව සඳහා මෙම මාසයේ ආරම්භ වූ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සේ සැලකේ. (ධර්ම කරුණු ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන් වහන්සේට ගෞරව පූර්ව ස්තූතිය පළ කරමු)