නෙතින් නෙත බලාලා ගීතය ඇසූ වෛද්‍යවරියකගෙන් පෙම් පතක්


2016-06-24-ent-138

2016-06-24-ent-137නෙතින් නෙත බලාලා

සිතේ දුක නිවා

අදින් පසු මියේවී

අපේ ඒ කතා

 

රකින්නට සෙනේහේ

අඬන්නට එපා

නිමාවක් නොවේ මේ

ඇරඹුමක් නිසා..........

 

 

මේ ගීතයේ පද කියවන විට ගීතය තාලයට ගැයෙන්නා සේ ඇසෙන්නේය. ඒ තරමටම ගීතයේ පද සවනට හුරුය.... තාලය....... ලයාන්විතය.............. කටහඬ මිහිරිය. මේ වර්ණනා ඔබට අනවශ්‍යය. ගායකයා කවුරුදැයි ඔබ හඳුනාගෙනය. මටත් පෙර ඒ නම ඔබ කියනු ඇති.

ඔහු රෝහණ බෝගොඩ නම් ජනප‍්‍රිය ගායන ශිල්පියායි. ”සඳැල්ල” මතක පොතට මෙවර ආරාධනා ලබන්නේ ඔහුය. චිත‍්‍රපට අටකට පමණ ගායනයෙන් සම්මාදන්වී ඇති රෝහණ බෝගොඩ ශිල්පියා මෙතෙක් ගායනා කර තිබෙන ගීත සංඛ්‍යාව 150 කට ආසන්නය. දක්ෂ තබ්ලා වාද්‍ය ශිල්පියෙකුද වන රෝහණ බෝගොඩට සංගීත ක්ෂේත‍්‍රය තුළ මිහිරි මතකයන් රැුසක් තිබෙන්නට පුළුවන. එයින් කිහිපයක් හෝ සඳැල්ලට ගෙන එන්නටයි මේ ආරාධනා.

”නෙතින් නෙත බලාලා... සිතේ දුක නිවා...” අතිශයින් ජනප‍්‍රිය වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙන්න මේ කාලේ මගේ ආදරණීය රසික, රසිකාවියන්ගෙන් දිනපතා ලිපි රාශියක් ලැබෙන්නට පටන් ගත්තා. මේ ලිපි අතර තිබුණා මගේ ආදරය ඉල්ලා ලිපියක්. නෙතින් නෙත බලාලා ගීතයට කොයිතරම් ආදරේද.... ඒ තරමටම ඒ ගීතය ගයන ගායකයාටත් ආදරෙයි කියලා ඒ ලිපියේ ලියලා තිබුණා. ඇය වෛද්‍යවරියක්. විවාහක තරුණ කාන්තාවක්.

මේ පෙම් හසුන මගේ ළඟම හිත මිත‍්‍රයෙකුට පෙන්නුවා. අපි දෙන්නා කතා කර ගත්තා මේ තරුණ වෛද්‍යවරිය මුණ ගැහෙන්න. අපි මුණ ගැසුණු වේලාවේ ඇය ගොඩාක් සතුටට පත් වූ බව මට පෙනුණා. සතුටු සාමීචියෙන් පස්සේ මම මෙන්න මේ විදියට ඇයට බණ ටිකක් කියන්න පටන් ගත්තා.

මම තබ්ලා වාද්‍ය ශිල්පියෙක්.. ගායකයෙක්.... කලාකරුවෙක්.... ඔබ වෛද්‍යවරියක්. මේ උසස් වැදගත් වෘත්තීන් අපට දායාද කරලා තිබෙන්නේ දෙවියන් වහන්සේලා විසින්. හැබැයි මේ වෘත්තීන් කිළිටි කර ගත්තොත් දෙවියන් වහන්සේලා අප සමඟ අමනාප වේවි. ඊට පස්සේ අපට අඬන්න සිද්ධ වේවි.

මම මේ බණ ටික කිව්වායින් පසුව ඇය හැඬුවේ නැහැ. යාන්තමට වාගේ හිනා වුණා. බොහෝම ස්තූතියි කිව්වා. ඊට පස්සේ අපි දෙන්නට තේ ගෙනැත් දුන්නා.

තේ බීලා මමත් ස්තූතියි කියලා පිටවෙලා ආවා. හැබැයි ඊට පස්සේ ඇය හැඬුවාද වැළපුනාද කියලා නම් මට දැනගන්නට ලැබුණේ නැහැ. තෙතින් නෙත බලාලා.. ගීතය නිසා සිදු වූ තවත් සිද්ධියක් තියෙනවා එකත් කියන්නම්.

කොළඹ නගරයෙන් ඈත පළාතක තිබුණු සංගීත ප‍්‍රසංගයක මම ගීත ගායනය කළා. අන්තිමට ගායනා කළේ නෙතින් නෙත බලාලා ගීතය. මම වේදිකාවෙන් බැහැලා එනකොට එක්තරා පුද්ගලයෙක් ඇවිත් අහිංසක ළමයෙක් ඔබව හම්බ වෙන්න ඕනැයි කියන පණිවුඩය මට දුන්නා. මම ඒ අහිංසක ළමයා ළඟට ගියා. ඔහු රෝද පුටුවක වාඩිවෙලා උන්නා. ඔහුගේ ඇස් දෙකේ කඳුළු.

මහත්තයෝ මට ඇක්සිඩන්ට් එකක් වුණා. මගේ කකුල් දෙකම ආබාධ වුණා. දැන් මට ඇවිදගන්න බැහැ. මේ නිසා මගේ කෙල්ල මාව දාලා ගියා. මෙහෙම කියලා මේ තරුණයා ඉකි ගගහා හඬන්න පටන් ගත්තා. අවට පිරිස් අපි දිහා බලාගෙන ඉන්නවා. අනේ මහත්තයෝ නෙතින් නෙත බලාලා සිංදුව තව එක පාරක් මගේ කණට කරලා කියන්න පිං සිද්ධ වේවි. මේ අහිංසකයා මගෙන් මේ ඉල්ලීම ඉල්ලූවම මම එයා ළඟින් දණගහ ගත්තා. එයාගේ කරට අත දමාගෙන කණට කරලා සිංදුව කිව්වා. සිංදුව කියලා අවසන් වුණා විතරයි. මිනිහා වැලහින්නියක් වගේ වැළපෙන්න පටන් ගත්තා. ඒ ආදර කතාවේ සුන්දර මතක සටහන් කියන්න පටන් ගත්තම මගේ ඇස් දෙකටත් කඳුළු ආවා. මේ සිද්ධිය නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

එච්.ආර්. ජෝතිපාලගේ ”ජෝති රාත‍්‍රියට” මම සම්බන්ධ වුණේ තබ්ලා වාදකයෙක් හැටියට. එදා ජෝති රාත‍්‍රිය ප‍්‍රසංගයේදී ජෝතිපාල ගීතයක් ගායනය කරලා දෙවැනි ගීතය ගායනා කරනකොට මුලින් ගැයූ ගීතයත් ඒ එක්කම ඇහෙන්න පටන් ගන්නවා. තුන්වැනි ගීතය ගායනය කරනකොට දෙවැනියාට ගැයූ ගීතයක් ඇහෙන්න පටන් ගන්නවා. දැන් ජෝතිට මාර අප්සෙට්. ජෝති ගීතය ගායනය කරන ගමන් සවුන්ඞ් ඔපරේටර්ට ඔරවන්න පටන් ගත්තා. ඔහු දන්න සෙල්ලම් දාලා මේ වැරැුද්ද සොයන්න පටන් ගත්තා. ඒත් වැරැුද්ද අල්ල ගන්න ලැබුණේ නැහැ.

ඉන්ටවල් එකේදි අපි මේ ගැන පොලිසියට පැමිණිලි කළා. පොලිසිය කිව්වා ශාලාවේ ලයිට් දමාගෙන ප‍්‍රසංගය පවත්වන්න කියලා. අන්න ඒ වෙලාවේ පොලිසිය ඉතා සූක්ෂමව පරීක්ෂාවෙන් ඉඳලා වැඩකාරයා අල්ලා ගත්තා. ශාලාවේ සිටි තරුණයෙක් කුඩා පටිගත කරන යන්ත‍්‍රයකින් ජෝති ගයන ගීතයක් පටිගත කිරීමකින් පස්සේ කොහොම හරි වේදිකාවට රිංගලා මයික්‍රොෆෝනයකට ඒ ගීතය ඇහෙන්න සැලැස්වීම තමයි කරලා තියෙන්නේ. දන්නවනේ අපේ ජෝතිපාල මහත්මයාගේ හැටි. පාරක්වත් ගහන්න එපා. මිහිහව ශාලාවෙන් එළියට දමන්න කිව්වා. පොලිසියට. හොරණ ශාලාවක තිබුණු ”ජෝති රාත‍්‍රිය” ප‍්‍රසංගයකදී මෙන්න මෙහෙම දෙයකුත් සිද්ධ වුණා. සංගීතය මෙහෙයවූයේ සරත් වික‍්‍රම.

ප‍්‍රසංගය පටන් ගන්න වෙලාව හරියට හරි. රසිකයෝ ශාලාව දෙක කරන්න කෑ ගහනවා. ඒත් සංගීත කණ්ඩායමේ ශිල්පීන් ඇවිත් නැහැ. නියමිත වෙලාවට ඇවිත් හිටියේ සරත් වික‍්‍රමයි. මමයි කී බෝඞ් වාදකයි විසිලින් නිහාල් විතරයි. අනිත් සංගීත ශිල්පීන් ඇවිත් නැහැ. මොනවා කරන්නද ජෝති අයියා කිව්වා පටන් ගනිමු කියලා. අපිත් වැඬේ ඇරියේ නැහැ. උපරිම ශක්තියෙන් ජෝති අයියට සපෝට් එකක් දුන්නා. රසිකයින් සංගීතයේ අඩුවක් දැක්කෙත් නැහැ.

ඉන්ටවල් වෙනකම් අපි වැඬේ ඇදගෙන ආවම තමයි අපේ අනික් ශිල්පීන් පිරිසක් ආවේ. ඒ අය දැක්ක ගමන් ජෝති අයියා වෙව්ලන්න පටන් ගත්තා. එදා තමයි අපි ජෝති අයියා කේන්තියෙන් වෙව්ලනවා දැක්කේ.

අසූව දශකයේ මුල් භාගයේදී කොළඹ පුද්ගලික චිත‍්‍රාගාරවල ගීත පටිගත කරන්න ගිහින් විඳපු දුක් කන්දරාව ගැනත් තියෙන්නේ හොඳ මතකයක්. මේ කියන කාලේ ඒ චිත‍්‍රාගාරවල ඒ/සී යන්ත‍්‍ර තිබුණේ නැහැ. විදුලි පංකා විතරයි සවි කරලා තිබුණේ. ඒත් විදුලි පංකා වහලා තමයි ගීත පටිගත කරන්නේ. මොකද ඒ ශබ්දයත් ගීතයට එන නිසා. මේවා ගැන දන්න නිසාම චිත‍්‍රාගාරයට එනකොට ගෙදරින් සරමක් අරගෙන තමයි එන්නේ. මෙන්න මේ කාලේ තමයි ජෝතිගේ ”සීත සුනිල් දිය දහරා” කැසට් එකට ගීත පටිගත කළේ. ඔන්න ඉතින් ඔක්කොමලා සරොම් ඇදගෙන දවල් කාලේ ගීත කිහිපයක් පටිගත කරනවා.

ඒ කාලේ රාත‍්‍රියට පැය තුනක් ලයිට් කැපුවා. ඒ වෙලාවට ඔක්කොමලා කට්ටිය ගෝල්ෆේස් යනවා. ලයිට් ආවාම ආයෙත් ඇවිත් තවත් ගීත කිහිපයක් පටිගත කරනවා. එක ගීතයක් පටිගත කරලා දහඩිය උහුලගන්න බැරුව සරොන් උස්සාගෙන චිත‍්‍රාගාරයෙන් එළියට එන්නේ. හරියටම බජාර් එකේ චණ්ඩි වගෙයි.

අවසානයට මේ කාරණයක් කියන්න අවශ්‍යයි. මම ගුවන් විදුලියේ සංගීත කණ්ඩායමේ සේවය කරන කාලේ ඒ සංගීත කණ්ඩායමේ ප‍්‍රධානියා විදිහට ආවා. ආර්. මුත්තුසාමි මාස්ටර් ටී.එෆ්. ලතින් මාස්ටර් ඒ වන විටත් හිටියා.

තබ්ලා වාද්‍ය ශිල්පියෙකුට එය වාදනය කරන්නට සංගීත ප‍්‍රස්තාර අවශ්‍ය නැති වුණත් ඒ පිළිබඳව දැනුම ලබා දුන්නේ ටී.එෆ්. ලතීෆ් සහ මුත්තුසාමි මාස්ටර්ස්ලා බව මම කෘතවේදීව කිව යුතුයි. සංගීත අධ්‍යක්ෂණය කිරීමටත් මේ දැනුම මට ප‍්‍රයෝජනවත්. ඒ මාස්ටර්ලාට ගොඩාක් පින්.

 

අමරදාස සිල්වා

 

sandalla

 

2016-06-24-ent-139