‘අජානේය ස්කූටර තුරගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුබේ කිරුළ බිම වැටෙයි ද සිතුනා
සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
මා ගත ඩා බිදු හදුනා හදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගැ ලේන්සු පට සිඹිනා
සදාකල්ම පෙම් වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයැයි කියෙනා
රැ තුන්යම සුවද උලා උදැසනින් මැකෙනා
කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා‘
රත්න ශ්‍රී විජේසිංහ නම් අපූරු ගීත රචකයා නාගරික වචන මාලාවක් සමග හැඟීම් දනවන ගීත සංකල්පනාවක් ඉදිරිපත් කිරීමට අජානේය ස්කූටර ගීතයෙන් සමත්කම් දක්වා ඇත. කය වෙහෙසවා වැඩකරන දුප්පත් පැරණි පෙම්වතෙක්, ඔහුගේ පැරණි පෙම්වතිය හා ඇගේ නව පෙම්වතා වටා ගෙතුණු අපූරු ගීත සංකල්පනාවක් ලෙස එය සැලකිය හැකිය.
සිය පෙම්වතිය හැර යාමේ දුකට වඩා ඇයගේ නව කල්ක්‍රියාව හේතුවෙන් හටගන්නා සංවේගය පෙම්වතා ඉදිරිපත් කරයි. අජානේය අශ්වයා යනු බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයකි. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්ත්වයන් සිවු දෙනකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6,7,8 සූත්‍රවල සඳහන්වේ. එනම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා ) යන සිව්දෙනාය. අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙකි. ගීත රචකයා එම අශ්වයාට සමාන කරන්නේ මෝටර් බයිසිකලයයි. වාතයේ වේගයෙන් යන එම බයිසිකලයේ පිටුපස අසුනට වී ඔහුගේ පැරණි පෙම්වතිය නගරයේ සිරි නරඹන්නීය. ඇය එසේ සිරි නරඹනුයේ තම අලුත් පෙම්වතාගේ උරහිස් දෙකට අත්තබා මදක් එසැවීගෙනය. ඉතින් ඒ යන විලාසයට ඇගේ කිරුළ බිම වැටේදැයි පැරැණි පෙම්වතාට සැක සිතී ඇත. කිරුළ යන වචනය තුළ ගැබ්වන අර්ථය ඉතාමත් ගැඹුරුවක් පෙන්නුම් කරයි. කාන්තාවකගේ කිරුළ පතිවෘත්තාවයි. ඉතින් මේ යන ගමනට සිය පැරණි පෙම්වතියගේ කිරුළ අහිමිවේදැයි ඔහු කල්පනා කරයි.
‘සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා‘ යන වැකියෙන් ඔහු තමා ඉගෙනගත් ශිල්පය හා ලද රැකියාව විග්‍රහ කරයි. ශිල්ප හැට හතරක් ඉගෙනගෙන පරතෙරට ගිය බව ඔහු කියයි. තමා පාරේ වැඩකරන කම්කරුවෙක් බව ඔහු නොසඟවයි. උදැල්ල ලැබී ඇත්තේ ඒ සඳහාය. තමා උගෙන ගත් ශිල්පයන්ට අනුව කම්කරු රැකියාවද හොඳින් කළ හැකි බව ඔහු පෙන්නුම් කරයි. ඔහු සිය පැරණි පෙම්වතිය නව පෙම්වතා සමග මෝටර් බයිසිකලයෙන් යන මාර්ගයේ වැඩකරමින් හිඳී. තමාගේ තුරුළට වී එකල පෙම් සුව විඳි සිය පැරණි පෙම්වතියට දැන් තමාගෙන් පිටවන දහදිය දුගඳක් වී ඇත. ඔහු එය කියන්නේ ව්‍යංගයෙනි. තම ගතින් වැටෙන දා බිඳුවලින් පිටවන දුගඳ නිසා මෝටර් සයිකලයෙන් යන පෙම්වතියට ඉවසිය නොහැකි තැන සිය ලේන්සුව ගෙන ඇය නහය වසා ගන්නීය. එයද විලවුන් සුවඳ තැවරූ ලේන්සුවකි. රසික හද කම්පනය කරවන සුලු වාක්‍ය ඛණ්ඩ යොදා ගනිමින් රචකයා පෙම්වතියගේ පිටුපෑම විග්‍රහ කරයි.
ඊළඟ පද පෙළෙහි ඔහු උපමාවක් භාවිතා කරයි. ඒ උදුම්බරා මලයි. උදුම්බරා මල පිපෙන්නේ රාත්‍රී කාලයටයි. එය රෑ පුරා සුවඳ විහිදුවා යළි උදෑසන මිලිනව යයි. එබැවින් රචකයා පෙම්වතුන්ගේ සදාකාලික සිහින උදුම්බරා මලට උපමා කරයි. එවැනි උදුම්බරා මලක් සෑම පෙම්වතකුගේම සිතෙහි පිපෙන බව කියන රචකයා තමාට අහිමි වුණු පෙම්වතිය ගැන දොස් නොකියයි. ‘කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා‘ යනුවෙන් ඔහු සිය හැඟීම් ප්‍රකාශ කරන්නේ සිත හදා ගැනීමට අවැසි සියලු සාධකයන් ගෙනහැර දක්වමිනි.
ප්‍රේමයේ එක් පැතිකඩක් මනාව විවරණය කරන රත්න ශ්‍රී විජේසිංහයන් අපූරු සංකල්ප රූපයක් මෙම ගීතය හරහා විද්‍යාමාන කරයි. ප්‍රේමයේ විරහවට වඩා වැඩි යමක් මේ ඔස්සේ රසික සිත්හි ජනනය කරවීමට ඔහු සමත්කම් දක්වයි. කරුණාරත්න දිවුල්ගනේගේ මධුර හඬ ස්වරය ගීතයට ආදරණීය හා ශෝකාකූල විඳීමකට අවැසි ඉඩ හසර මනාව ලබා දෙයි.