සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යතුරු පැදියෙන් පැමිණ පානදුර පල්ලියමුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයකට වෙඩි තබා පුද්ගලයකු මරා දැමීමේ පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. මෙම වෙඩි තැබීම සිදු වූයේ සිය දහස් ගණනින් ජනයා සැරිසරණ පල්ලියමුල්ල මංසන්ධියේදී මහ දවාලේදී බවත් අප පුවත්පත වාර්තා කළේය. යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් වෙඩික්කරු වෙඩි තබමින් සිටියදී ගිනි අවිය අක්‍රීය වීමෙන් පසු යතුරු පැදිකරු අමතා ‘නමය දියං - නමය දියං’ යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහුට කුඩා ගිනි අවියක් දී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. වෙඩි තැබීමෙන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියට නැගී පලාගිය බවද වාර්තාවේ.
මහ දවාලේ ගිනි අවි රැගෙන විත් මහ මගදී වෙඩි තබා මිනිසුන් මරා දමන්නේ නම් එම තත්ත්වය ඉතා භයානක බව වසන් කළ නොහැකිය. ඝාතනයට ලක්වූ පුද්ගලයාට පෙර වැරැදි නොමැති බව පොලීසිය සඳහන් කරන අතර එයින් පැවැසෙන්නේ අපරාධකරුවන්ගේ ඉලක්කය වැරැදී ඇති බවයි. පාතාලයන්ගේ අත්වැරදීම් නිසා කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි ගැහැනු පිරිමි දෙපක්ෂයම අකාලයේ මියගිය පුවත් ඉකුත් සමයේ වාර්තා විය. එවන් පසුබිමක් සහිත රටක් පතිරූප දේශයක් ලෙස වැරදීමකින් හෝ නම් කළ නොහැකිය.
සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ මෙහෙයුම් ඉකුත් සමයේ තදින් ක්‍රියාත්මක විය. පාතාලය මැඩලීමේ අවශ්‍යතා ජනාධිපතිවරයාද වරින්වර තදින් අවධාරණය කළේය. මහජන ආරක්ෂක ඇමැති රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද වරින් වර පාතාලය මැඩලීමේ අවශ්‍යතාවත්, එය ක්‍රියාත්මක කරන ආකාරයත් දැඩිව අවධාරණය කළේය. එහෙත් ඉකුත් සඳුදා මහ දවාලේ පල්ලියමුල්ල මංසන්ධියෙන් වාර්තා වූයේ බයක් සැකක් නොමැතිව මිනීමරා අපරාධකරුවන් පලාගිය බවය.
“අපරාධ කල්ලි අතර ගැටුමක් - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක්” ආදී වශයෙන් පොලීසිය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. එහෙත් ජනතාවට එබඳු ප්‍රකාශ වැදගත් නොවේ. මිනීමැරුමක් වූ විට එය මෙසේ සිදුවන්නට ඇතැයි ප්‍රකාශ නිකුත් කිරීමට පොලීසියක් අවශ්‍ය වන්නේද නැත. මියගියේ කවුද අපරාධකරුවන් කවුද යන ප්‍රශ්නය ජනතාවට අදාළම නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ අනු අංකයක් නැති මුනිස්සම් ඉදිරිපිට අභය දානය ඉල්ලා වැඳ නොවැටෙන සමාජයකි. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි පරිසරයකි. එසේ නොමැතිව පාතාලයන් මහ පාරේ මහ දවාලේ මිනීමරාගන්නා රටක් නොවේ.
‘විශේෂිතය සමස්තය නොවේ’ යන්න කියමනකි. එමෙන්ම එය අවිවාදාත්මක සත්‍යයකි. පල්ලියමුල්ල ඝාතනය හරහා මුළු රටම පාතාලයේ අණසකට යටත්වී ඇතැයි යන මිථ්‍යාවට එළැඹිය යුතු නැත. එහෙත් මෙම ඝාතනය හරහා පාතාල ක්‍රියාකාරකම්හි ස්වරූපය ඉතා පහසුවෙන් හඳුනා ගත හැකිය.
පාතාලය යනු ලෙයට ලෙස ඉල්ලන මරණයට මරණය ඉල්ලන ලේ කුහරයකි. පාතාලයන් පසුවන්නේ රුධිර පිපාසයෙනි. එම පිපාසය සංසිඳුවා ගැනීම පාතාලයන්ගේ ඒකාන්ත අරමුණය. එහෙත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ තමන් හඹා එන බවට ඉව වැටුණු විට පාතාලයෝ පසුබා යති. සැඟවෙති. නිහඬ වෙති. අනතුර පහව යනතුරු ඉවසති. මෙම පරිසරය තුළ පොලීසිය සිතන්නේනම් පාතාලය අක්‍රීය වී ඇතැයි යනුවෙන් එය තරම් මුළාවක් තවත් නැත. පල්ලියමුල්ල ඝාතනයෙන් කියැවෙන්නේ එයය.
තමන්ට එරෙහිව ඇති මර්දනය තුරන්වී ඇතැයි සිතන පළමු දිනයේදීම පාතාලයෝ ක්‍රියාත්මක වෙති. අණක් ගුණක් නැති පාතාලයේ ස්වරූපය එයය. එහෙයින් පාතාලයන්ට එරෙහි ග්‍රහණය ලිහිල් කළ යුතු නැත. එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.
පාතාලය යනු නාඳුනන තුවක්කුකරුවන් සිටින තැනක් නොවේ. රටෙහි ක්‍රියාත්මක පාතාල කල්ලි මොනවාද? එහි සාමාජිකයන් කවුරුන්ද? ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙබඳුද? යන්න සම්බන්ධයෙන් විස්තර පොලීසිය සතුව තිබිය යුතුය. රටක බුද්ධි අංශයක් තිබෙන්නේද ඒ වෙනුවෙනි. එබඳු දියුණු යන්ත්‍රණයක් රටකට තිබිය යුතුය. පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට රටකට පොලිසියක් අවශ්‍ය වන්නේ නැත.
පල්ලියමුල්ල ඝාතනය පදනම් කරගනිමින් පාතාලයට එරෙහි වේගවත් මෙහෙයුමක් අලුතෙන් ආරම්භ කළ හැකිය. එය සියලු පාතාලයන් අල්ලා කූඩු කරන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. මන්ද යත් පාතාල ක්‍රියාකාරීත්වය යනු රටේ සෑම අංශයකටම බලපාන්නක් වන හෙයිනි. මහ මග මිනීමරා ගන්නා රටකට සංචාරකයෝ නොඑති. ආයෝජකයෝ නොඑති. මහජනතාවට පාරට බැසීම යනු දින නියමයක් නොමැති මරණ සහතිකය අතට ගැනීමක් බඳු රටක් යනු සැබැවින්ම රටක් නොවේ. මෙම සැහැසි ග්‍රහණයෙන් රට මුදා ගැනීම බලධාරීන්ගේ වගකීමය.
(***)