පුජිත් ජයසුන්දර වැඩි ඡන්දෙන් පොලිස්පති ?


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස ව්‍යස්ථා සභාවෙන් තෝරාගෙන ඇතැයි දැනගන්නට ඇත. ඔහුගේ නම ජනපතිට යැවීමට නියමිතය. ජයසුන්දර මහතා ව්‍යවස්ථා සභාවේ වැඩි ජන්දයෙන් තෝරාපත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කියයි.

ව්‍යවස්ථා සභාව අද (18) පස්වරු 3.15 පාර්ලිමේන්තු මන්දිරයේ දී රැස්වී  මිනිත්තු 45 කින් පමණ අවසන් වු බව දැනගන්නට ඇත. එහි සාමාජිකයන් දස දෙනාගෙන් හත් දෙනෙකු ද  පොලිස්පති අපේක්ෂයන් තිදෙනා ද පැමිණ සිටි බව වාර්තා වේ. සිබ්ලි අසීස් හා රාධිකා කුමාරස්වාමි නොපැමිණි බව ද වාර්තා වෙයි.

එම අපේක්ෂකයන් ව්‍යවස්ථා සභාව ඉදිරියේ පෙනී නොසිටි බවත් දැනගන්නට ඇත.  ප්‍රශ්නයක් මතු වුවහොත් ඒ ගැන විමසිමට ඔවුන් කැඳවු බව වාර්තා වෙයි. ඔවුන්ගෙන් වැඩිමලා වික්‍රමසිංහයි. ඔහුගේ වයස අවුරුදු 57  කි. පුජිත් ජයසුන්දරගේ වයස අවුරුදු 56+ කි. චන්දන වික්‍රමරත්නගේ වයස අවුරුදු 53 කි. ජයසුන්දරට පොලිස්පති පදවියේ වසර තුනහමාරක් පමණ සේවය කිරිමට ඉඩ කඩ  සැලසෙයි. චන්දන වික්‍රමරත්න පොලිස්පති පදවියට පත් වුයේ නම්  අවුරුදු හතකට ආසන්න කාලයක් සේවය කිරිමට ඉඩකඩ ලැබේ. එහෙත් ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයකු එපමණ කාලයක් සේවය කර නැත. දැනට පවතින තත්ත්වය අනුව ජයසුන්දර විශ්‍රාම යන්නට පෙර වික්‍රමසිංහ විශ්‍රාම යා යුතුය. සේවය දිර්ඝ නොකළහොත් පොලිස්පතිවරයකුගේ සේවා කාලය අවුරුදු 60 න් අවසන් වේ.