පොරක් වෙන්න උණක් නැහැ


20160325-ent-59

 

මොකක්ද මේ ෂෝ එක?

මේ "දුකා" කියන ෂෝ එක මගේ ජනප්‍රියතම ගීත නිර්මාණ එකතු කර ගනිමින් පැවැත්වෙන්නක්. අප්‍රේල් 02 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන එය සාහිත්‍යවාදී, සංගීතවාදී සන්ධ්‍යාව කියලා තමයි නම් කරලා තියෙන්නේ.

 

ඇයි මෙහෙම ෂෝ එකක් කරන්න හිතුවේ?

මම මේ වෙද්දි ගීත 275ක් විතර ලියලා තියෙනවා. නමුත් මේ ෂෝ එක සඳහා තෝරා ගත්තේ ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණු ගීත 25ක් වැනි ප්‍රමාණයක්. මගේ මාධ්‍ය ජීවිතයට මේ වෙද්දි වසර 25ක් සපිරෙනවා. ඒත් එක්කම මගේ නිර්මාණ එකතුත් කරලා ෂෝ එකක්වත් ඇල්බම් එකක්වත් මීට කලින් කරලා තිබුණෙ නැති නිසා මෙහෙම ෂෝ එකක් කළොත් හොඳයි කියලා හිතුවා. ඒ වගේම මම ලිව්ව මගේ ජීවිත කතාව පොතක් විදිහට එදාට එළිදැක්වෙනවා. ඒක තමයි ෂෝ එක පැවැත්වීමේ විශේෂම හේතු සාධකය. මේ හැම දෙයක්මත් එක්ක එදාට හොඳ ගීත රසවින්දනයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

කොහොමද ගීත රචනයට යොමු වෙන්නේ?

ඇත්තටම මම මුලින්ම ආවේ රංගනයට. ගීත රචනය මගේ ජීවිතේ අතුරු කෑල්ලක් විදිහටයි තිබුණේ. පාසැල් වේදිකාවෙත් රඟපෑවා. ඊටපස්සේ ඉංගම්මාරුව ඇතුළුව ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපෑවා. මේ අතරේ රඟපෑමෙන් ඉවත්වෙලා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වුණා. ඒ අතරෙදි බෝනස් එකක් වගේ තමයි ගීත රචනාවට පිවිසියේ.

"මම සිංහයාට බයයි නංගියේ" ගීතය ගොඩක් ජනප්‍රිය වුණ නිසා කට්ටිය මගෙන් සින්දු ඉල්ලන්න ගත්තා. භාතිය, සන්තුෂ් වෙනුවෙන් ලියපු රන් කුරහන් මල ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා. එතනදි තරුණ පරම්පරාව ගොඩක් මාත් එක්ක වැඩ කරන්න ආවා. ඔවුන් වෙනුවෙන් ලියපු ගීත වැඩි ප්‍රමාණයක් ජනප්‍රිය වුණා. ඇතැම් ගීත අවුරැදු 10ක් වගේ එක දිගටම හිට් වෙන්න පටන් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි ගීත රචකයෙක් වුණේ.

 

මෙච්චර කල් දුකා ලියපු සින්දුවලට, කරපු නිර්මාණවලට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මෙහෙම දෙයක් තියෙනවා. වැඩ කරන්න ගියාම හැමදාම දකින දේ, අහන දේ ලියන්න අපි ටිකක් අකමැතියි. ඒ නිසා සින්දු ලියන්න හරි, වැඩසටහනකට ආවොත් හරි මගේ ප්‍රවේශය බොහෝ විට වෙනස් එකක්. කමත වගේ වැඩසටහනක් කළාම මිනිස්සු ඒ දේ විශාල ලෙස පිළිගත්තා. මිනිස්සුන්ට එය අමුතුම අත්දැකීමක් වුණා. මගේ ගීතවලත් එවැනි වෙනස්කම් තිබුණ නිසා විවිධ ප්‍රතිචාර ලැබුණා.

 

බැණපු කට්ටියත් හිටියා නේද?

ඔව්. මොකද ඔය කියමනකුත් තියෙනවානෙ ඔබට සතුරන් සිටී නම් ඔබ යමක් කර තිබේ. ඔබේ කකුලේ කටු ඇනෙන්නේ ඔබ ඇවිදියි නම් වගේ. මගේ සමහර ගීතවල තිබුණු සන්දර්භයත් ඇතැම් පිරිසකට දරා ගන්න බැරි වුණා. විශේෂයෙන්ම අහංකාර නගරේ ගීතය අවුරැදු 10ක් විතරම එක දිගටම හිට් වෙච්ච ගීතයක්. ඒ නිසා ඒ ගැන වැඩිපුර අවධානය යොමු වුණා. ඔය ගීතයේ ඉඟත් බොහොම පොඩි ලැමත් බොහොම ඇති කියන එකට තමයි බැණ්ෙන්. මේ ගීතය හරියට ඇහුවා නම් බනින්න හේතුවක් නෑ. මොකද අපේ සන්දේශ කාව්‍යවලත් තියෙනවානේ ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක මෙනි පුළුළුකුල කියලා. එදා රාහුල හාමුදුරැවන්නේ එහෙම කිව්වේ. කොහොමත් මම ඒ ගැන ඒ තරම් හිතන්න යන්නේ නෑ.

 

සමහරැ කියනවා අමුතු අමුතු දේවල් කරනවා කියලා පෙන්නලා දුකා පොරක් වෙන්න හදනවා කියලත්. මොකක්ද ඒකට දෙන උත්තරය?

පොරක් කියන්නෙ සමාජය පිළිගත් මිනිහෙක්නෙ. ස්ත්‍රී දූෂකයෙක් පොරක් වෙන්නෙ නැහැනෙ. මේ රටේ වයස් භේදයකින් තොරව හැමෝම මට ආදරේ කරනවා. මගේ ගීත නිර්මාණ වගේම මගේ අනිත් වැඩසටහනුත් ඒකට හේතු වෙන්න ඇති. මම ගීතයක් ලියද්දි මේකට බණීද නැත්ද කියලා හිත හිත ඉන්නේ නෑ. කොහොම වුණත් මගෙ අදහස්, මම හිතන විදිහ වෙනස් නිසා ඒවා ගළපාගන්න බැරි වුණාම මට බණිනවා මිසක් පොරක් වෙන්න ගීත ලියවෙන්නෙ නම් නෑ මගේ අතින්.

 

අද හුඟක් අය කරන්නෙ කලාව විකුණන් කන එකලු. ඔබ කරන්නෙත් ඒකද?

කලාව විකුණනවාද නැද්ද කියන එකේ බවුන්ට්‍රිය කොතැනද තියෙන්නේ කියලා මම දන්නෙ නෑ. ඔබ ඔය මාධ්‍යවේදියෙක් විදිහට කරන්නෙත් වෘත්තියක්නෙ. මාධ්‍යය වෘත්තියක් වගේම කලාවත් වෘත්තියක්. ගීත රචකයෙක් සල්ලි ගත යුතුයි. කලාවට මිලක් තියෙන්න ඕනෙ. හැබැයි කලාව පාලනය කරන්න ඕනෙ අලෙවිකරැවන් විසින් නෙමෙයි කලාකරැවන් විසිනුයි. නිර්මාණයකයි නිෂ්පාදනයකයි අතර වෙනස හඳුනාගන්න ඕනෙ.

 

ඔබත් කලාවෙන් හුඟාක් හම්බකරලා තියෙනවාද?

ඔව් ඉතින් කලාවෙන් හම්බකරන්නේ නැත්නම් මම වෙන මොකක්ද කරන්නේ. මම මාධ්‍ය හා කලාකරැවෙක්. මගේ වෘත්තිය ලෙස නිවේදන කටයුතු කළාම මට මිලක් තියෙනවා. මම සින්දුවක් ලිව්වම මිලක් තියෙනවා. අධ්‍යක්ෂක කටයුත්තකදී මිලක් නියම වෙනවා. ඉතිං ඒක මට තියෙන්න ඕනනෙ. මේ රටේ හැමෝටම මිලක් තියෙද්දී කලාකරැවාට විතරක් මිලක් නොතිබෙන්න විදිහක් නෑ. කවුරැහරි හිතනවානම් කලාකරැවාට මිලක් නැහැ කියලා ඒක විහිලුවක්.

 

කුමී 

DESHAYA

20160325-ent-58
20160325-ent-57
20160325-ent-56