ලෝකයේ විනිශ්චයට භාජනය නොවුණු පුද්ගලයකු නැහැ. ඒ වගේම අන් අයව විනිශ්චය නොකරන පුද්ගලයකුත් නැහැ. ඕනෑම පුද්ගලයෙක් තමන් දැකපු දේ අනුව ඇසුරු කිරීමේ දී ලද අත්දැකීම් අනුව තවත් පුද්ගලයකු මැන බැලීමකට ලක් කරනවා. මේ පුද්ගලයා මෙබඳු කෙනෙක්, මේ පුද්ගලයා මෙබඳු කෙනෙක්‘ කියලා. සමහර විට ඒ අදහස් වචනවලින් ප්‍රකාශ නොකරන්න පුළුවන්. එහෙත් ඒවා සිතේ සැඟවී හෝ පවතිනවා. මේ විදිහට සලකා බැලුවහොත් මුළු ලෝකයම එක්තරා විදියක විනිශ්චය මණ්ඩලයක් වගේයි.
එදා මෙදා තුර ලෝකයේ නානාප්‍රකාඑ පුද්ගලයන් විසින් විනිශ්චයට ලක් කරන ලද පුද්ගලයෙක් තමයි බුදු රජාණන් වහන්සේ. ඇතැම් කෙනෙක් උන්වහන්සේ දෙස බැලුවේ රජ සැප හැරගොස් අනුන් දෙන දෙයකින් ජීවත්වන අවාසනාවන්ත පුද්ගලයකු ලෙසයි. තවත් කෙනෙක් දකින්නේ තම පවුල අතහැර ගිය අනුකම්පා රහිත පුද්ගලයකු ලෙසයි.
වෙනත් කෙනෙක්ට පෙනෙන්නේ ලෝකයේ සැපය වළක්වන පුද්ගලයකු ලෙසයි. බුදු සමයේ උන්වහන්සේගෙන් ධර්මය ඇසූ ඇතැමෙක් පැවිදිවුණා. ඇතැමෙක් දිවි තිබෙන තුරාවට බුදුන් සරණ ගොස් උපාසක බවට පත්වුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රජාලිකයකු බව සමහර අය හැඳින්වූවා. ක්‍රමයෙන් පිරිස පැවිදි වීම වැඩි වෙද්දී ඇතැමෙක් කියන්න පටන් ගත්තා පවුල් විනාශ කරන කෙනෙක් කියලා. ඒ වගේම බුදු රජාණන් වහන්සේගේ රූපයට වශීවී මංගල යෝජනා ඉදිරිපත් කළ අයත් හිටියා. වර්තමානයේ ඇතැම් පිරිස් විසින් බුදුරජාණන්වහන්සේ යනු මනෝ විද්‍යාඥයෙක්, සමාජවිද්‍යාඥයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් ආදී වශයෙන් තම තමන්ට සම්බන්ධ ඒ ඒ විෂය පදනම් කරගෙන හඳුන්වාදෙනු ලබනවා.
යම් කෙනෙක් පෞද්ගලිකව සිතන ආකාරය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව කවර ආකාරයේ අදහසකට පැමිණුනත් උන්වහන්සේ ‘බුද්ධ‘ කියන පුද්ගල ස්වභාවය පිළිබඳ මේ විදිහේ ධර්මයක් දේශනා කළා.
‘බුද්ධානං භික්ඛවේ බුද්ධ විසයො අචින්‍යො න චිනෙතතබෙබා - යං චිනෙතනතා උමමාදස්ස විඝාතස්ස භාගී අස්ස‘
(මහණෙනි බුදුවරුන්ගේ බුද්ධ විෂය පිළිබඳ සිතන්නට නොයා යුතුයි. නොසිතිය යුතුයි. යමෙක් සිතන්නේද උන්මාදයට පත් වෙනවාත දුකට පැමිණෙනවා) - අචින්තෙය්‍ය සූත්‍රය - අංගුත්තර නිකාර 02
එහෙත් බුදු රජාණන් වහන්සේ විසින්ම ඒ අචින්තෙය්‍ය වූ බුද්ධ විෂය පිළිබඳ යම් යම් කාරණා අවස්ථානුකූලව ධර්මය තුළින් මතු කළා. එබඳු කාරණාවකට අවධානය යොමු කරමු.
එක්තරා කාලයක භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර පිහිටි ඇට්ටේරියා වනයක වාසය කළා. වනය අසලින් ගොනුන් ගමන් කරන පාරක් වැටී තිබුණා. ඒ පාර අසල ගසක් යට කොළ ඇතිරිල්ලක් එළාගෙනයි වැඩ සිටියේ. දිනක් හත්ථක ආලවක නම් තරුණයෙක් ව්‍යායාම පිණිස ඇවිදිද්දී භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ වෙත ගොස් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. දැන් මෙහෙම අහනවා. ‘ස්වාමිනි , භාග්‍යවතුන් වහන්ස කෙසේද? සුව සේ සැතපුණා ද?
‘එසේය කුමරුනි. සුවසේ සැතපුණෙමි. යමෙක් ලෝකයේ සුව සේ සැතපෙනවා ද මම ඒ අතර කෙනෙක්.‘ ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරයි.
පිළිතුරෙන් කුමාරයා සෑහීමකට පත්වුණේ නෑ. නැවතත් අසනවා. මේ හේමන්ත කාලයේ රාත්‍රිය සීතලයි. දින අටක් තිස්සේ හිම වැටෙනවා. ගොන් කුරවලින් කැඩී ගිය බිමත් රළුයි. භාග්‍යවතුන් වහන්සේ ඉන්න කොළ ඇතිරියත් තුනීයි. ගහේ කොළත් අඩුයි. ඒ වගේම වේගයෙන් සීතිල සුළඟ හමනවා. සීතිලට සිවුරත් පෙඟිලා තියෙන්නේ. එහෙත් සුවසේ සැතපුණ බවත් යමෙක් ලෝකයේ සුවසේ සැතපෙනවාද මම ඒ අතර කෙනෙක් බවත් ප්‍රකාශ කරනවා.
කුමාරයාගේ විමසීම සාමාන්‍යයෙන් සාධාරණයි වගේ. මේ වගේ පරිසර තත්ත්වයකදී කාටද නින්ද යන්නේ.
ඊළඟට බුදු රජාණන් වහන්සේ නිදහස් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. කුමරුනි මේ පිළිබඳ ඔබෙන්ම විමසන්නම්. කැමති විදියකට පිළිතුරු දෙන්න. කුමරුනි එක්තරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ මන්දිරයක වාසය කරනවා. එය ඇතුළත පිටත හොඳින් පිරියම් කරලා දොර ජනෙල්වලට අගුල් යොදලා ආරක්ෂාකාරීව තියෙන්නේ. සුළඟින් කිසිම කරදරයක් නෑ. එහි කාලවර්ණ පලස් සුදු එළුලොමින් කළ පස් ඝන එළුලොමින් කළ පලස් කදලි මුව සමින් කළ කලාල අතුරා සකසන ලද උඩුවියන් බඳින ලද, දෙපසට රතු විල්ලුද කොට්ටා යෙදූ යහනක් තිබෙනවා මන්දිරයේ තෙල් පහනකුත් දැල්වෙනවා. ඒ වගේම සුන්දර ලළනාවන් හතර දෙනෙක් කැමති කැමති විදිහට උපස්ථාන කරනවා. කුමරුනි ඒ පුරුෂයා සුවසේ නිදාගනීවි ද ? නැද්ද? මේ කාරණය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
‘ස්වාමීනි, ඔහු සුව සේ නිදාගන්නවා. යමෙක් ලෝකයේ සුවසේ නිදාගන්නවාද, ඔහු ඒ අතර කෙනෙක්‘ කුමාරයාගේ පිළීතුරත් සාමාන්‍යයෙන් සාධාරණයි වගේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ලෝක ප්‍රජාව මග හරින කාරණාවකට විශේෂ අවධානය යොමු කරනවනවා.
‘කුමරුනි ඔබ මේ සම්බන්ධයෙන් කුමක්ද සිතන්නේ? රාගයෙන් හටගත කායික දැවිලිවලින් හෝ මානසික දැවිලිවලින් හෝ (රාගජා පරිළාහා කායිකා වා චෛතසිකාවා) දැවෙමින් දුකසේ නිදාගැනීමට සිදුවෙයිද ඒ පුරුෂයාට එබඳු රාගයෙන් හටගත් දැවිලි උපදිනවාද? ‘ස්වාමිනී භාග්‍යවවතුන් වහන්ස එසේයත ‘කුමරුනි ඒ පුරුෂයා රාගයෙන් හටගත් දැවිලිවලින් දැවෙමින් දුක සේ නිදා ගන්නවා ද , ඒ රාගය තථාගතයන් වහන්සේට ප්‍රහීණයි. (පහීණො) මුලින්ම උදුරලා තියෙන්නේ (උච්ඡින්නමූලො) අභාවයටම පත් කරලා තියෙන්නේ (අනභාවකතො) නැවත හට නොගන්නා ස්වභාවයෙන් යුක්තයි (ආයතිං අනුප්පාදධම්මො) ඒ නිසා මම සුවසේ සැතපුණා (තසාමාහං සුඛමසයිතථං)‘
රාගය පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ධර්මයේ එය ගින්නක් ලෙස හඳුන්වනවා. (රාගගහි) ඒ නිසයි කයේත් සිතෙත් දැවිලි හටගන්නේ. කොපමණ දැවිලි හටගත්තත් ලෝක සත්ත්වයා රාගයට ආසා කරනවා. හටගත්නේ නැත්නම් උපක්‍රමයෙන් හටගන්වනවා. සිතින් මව මවා වසඟයට යනවා. රාගය දුරුකරගන්න නොතේරෙන නිසා සාධාරණීකරණය කරනවා. රජවරු පවා රාගය ඉදිරියේ යටත් වෙනවා. ලෝකයේ තත්ත්වය එසේ තිබුණත් තථාගතයන් වහන්සේට රාගය ප්‍රහීණයි. ඒ නිසා රාගය හමුවේ යටත් වෙන්නේ නෑ. උන්වහන්සේ තමයි සැබෑම රජ්ජුරුවෝ. මෙය බුදුරජාණන් වහන්සේගේ පෞරුෂයේ එක්තරා පැතිකඩක්.
සාකච්ඡාව තවත් ඉදිරියට ඇදෙනවා. ‘කුමරුනි ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? ද්වේෂයෙන් හටගත් කායික දැවිලිවලින් හෝ මානසික දැවිලිවලින් හෝ (දොසජා පුරුෂයාට කායික හා චෛතසික වා) දැවෙමින් දුකසේ නිදාගැනීමට සිදුවනවාද ඒ පුරුෂයාට ද්වේෂයෙන් හටගත් එවැනනි දැවිලි උපදිනවාද? ‘එසේය ස්වාමීනි ‘ ‘කුමරුනි ඒ පුරුෂයා ද්වේෂයෙන් හටගත් දැවිලිවලින් දැවෙමින් දුකසේ නිදාගනියිද? අභාවයට පත් කරලා තියෙන්නේ. නැවත හට නොගන්නා ස්වාභාවයෙන් යුක්තයි. ඒ නිසයි මම සුවසේ සැතපුණේ‘
තමන් බලාපොරොත්තු වන සැපය නොලැබී යන විට හිතේ හටගන්නේ ද්වේෂයයි. ද්වේෂයත් ගින්නක්. දුරු කරගන්න නොතේරෙන නිසා බාහිරට චෝදනා කරනවා. පිළිගැනීමෙන් සතුටු වෙනවා. සැබෑවට පළිගන්න බැරි නම් සිතින් මව මවා පළිගන්නවා. ද්වේෂයෙන් හිත යටවූ විට තමාට ප්‍රිය මනාප දේවල් පවා ප්‍රතික්ෂේප කරනවා. ලෝකයේ තත්ත්වය එසේ තිබියදී තථාගතයන් වහන්සේ ද්වේෂය ප්‍රහාණය කළා. මෙය බුදුරජාණන් වහන්සේගේ පෞරුෂයේ තවත් පැතිකඩක්.
ඊළඟට බුදු රජාණන් වහන්සේ අහනවා, කුමරුනි ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද? මෝහයෙන් හටගත් කායික දැවිලිවලින් හෝ මානසික දැවිලිවලින් හෝ් දැවෙමින් දුකසේ නිදාගැනීමට සිදුවනවාද ඒ පුරුෂයාට මෝහයෙන් හටගත් එවැනි දැවිලි උපදිනවාද?‘ එසේය ස්වාමීනි, ‘කුමරුනි ඒ පුරුෂයා මෝහයෙන් හටගත් දැවිලිවලින් දැවෙමින් දුකසේ නිදාගනියිද ඒ මෝහය තථාගතයන් වහන්සේට ප්‍රහීණයි. මුලින් ම උදුරලා සම්පූර්ණයෙන්ම අභාවයට පත් කරලා තියෙන්නේත නැවත හට නොගන්නා ස්වභාවයෙන් යුක්තයි. මම සුවසේ සැතපුණේ ඒ නිසයි.‘
මෝහය යනු මුළාවයි. ඒ නිසා රාගයටත්, ද්වේෂයටත් වඩා තේරුම් ගැනීම අමාරුයි. එහෙත් සිහිය දියුණු කරන්නෙකුට මුළා නොවී ‘මුලාව‘ හඳුනාගත හැකියි. භය - තැතිගැනීම, උඬගුකම, අහංකාරකම, සැකය, මම - මගේ යන අදහස , මායාව, කපටිකම, දැඩි බව, මාන්නය, මදය ආදිය මෝහය නමැති ගින්නේ නොයෙක් ස්වභාවයන්. මෝහයේ සියලු ස්වභාවයන් තථාගතයන් වහන්සේ ප්‍රහීණ කළා. මෙයත් බුදුරජාණන් වහන්සේගේ පෞරුෂයේ පැතිකඩක්.
‘කිලිටි කරනවා, කෙලෙසනවා‘ යන අර්ථයෙන් රාගයත්, ද්වේෂයත්, මෝහයත් කෙලෙස් ලෙස හඳුන්වනවා. කිලිටි වූ මනස සිතීමේ හැකියාව සීමා කරනවා. සීමාවන් තුළ ඉඳගෙන සීමාවන් ඉක්මවා ගිය තථාගතයන් වහන්සේ පිළිබඳ විනිශ්චය කිරීමෙන් ප්‍රකට වන්නේ ඒ ඒ පුද්ගලයා රාමුවී සිටින, කොටුවී සිටින, රැඳී සිටින, හිරවී සිටින සීමාවමයි. එබඳු ලෝකයට තථාගතයන් වහන්සේ තේරුම්ගත හැකි ක්‍රමය පිළිබඳ උන්වහන්සේටම දේශනා කිරීමට සිදුවුණා.
‘යෝ ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සො ධම්මං පස්සති‘
‘වක්කලී යමෙක් මා විසින් වදාළ ධර්මය දකිනවාද ඔහු මා දකිනවා. යමෙක් මා දකිනවාද ඔහු මා විසින් වදාළ ධර්මය දකිනවා‘ ( වක්කලී සූත්‍රය - සංයුක්ත නිකාය 3)
නිකෙලෙස් මනසකින් උපන් ධර්මයත්, කෙලෙස්වලින් විපරීත වූ ලෝකයේ අදහසුත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තථාගත ධර්මය දකිනවාච, ඒ ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ තේරුම්ගත හැකිවනවා. තමන්ගේ අත්දැකීමක් තුළින් දැකිය හැකිවෙනවා. එවිට ඔහු ස්වාධීන පුද්ගලයෙක්. බාහිර මිනුම් ක්‍රම අවශ්‍ය වෙන්නේ නෑ. මේ ක්‍රමයට පමණයි බුදු රජාණන්වහන්සේ පිළිබඳ නිවැරදිම විනිශ්චය ලබාගත හැකි වන්නේ.
(ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේ නමක් විසිනි)