බහරේන ආර්ථිකයේ පවතින නිදහස් වෙළෙඳපොළ ස්වභාවය නිසා දැනට ගෘහස්ථ සේවකයන් වෙනුවෙන් අවම වැටුපක් නියම කිරීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙක් පවසයි.
“රටේ කම්කරු වෙළෙඳපොළ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඒ නිසා අවම වැටුපක් නියම කිරීම කම්කරු වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවේ” යනුවෙන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ කම්කරු කටයුතු සහාකාර උප ලේකම් ආචාර්ය මොහොමඞ් අල් අන්සාරි පවසයි.
ගෘහස්ථ සේවකයන්, ගෘහ සේවිකාවන්, පෞද්ගලික රියැදුරන්, දරුවන් බලා ගන්නන් සහ කෝකියන් ඇතුළු දහස් සේවකයන් දහස් ගණනක් සඳහා අවම වැටුපක් නියම කිරීමට කුවේටය ගත් තීරණය සම්බන්ධයෙන් ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ගෘහස්ථ සේවකයන්ගේ අවම මාසික වැටුප කුවේට් ඩිනාර් 60 ක් (බහරේන ඩිනාර් 74.85) විය යුතු බවට රැකියා නියෝජිතායතන සඳහා කුවේට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගියදා නීතියක් පැනවීය.
ගෘහස්ථ සේවකයන් සඳහා සතියකට එක් දිනක නිවාඩුවක්, දින 30 ක් සඳහා වාර්ෂික නිවාඩු ගෙවීම් සහ දිනක සේවා පැය ගණන පැය 12 ක් වැනි සේවා අයිතිවාසිකම් ලබාදෙන නීතියකට කුවේට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව ඉහත නීතිය හඳුන්වා දෙනු ලැබීය.
එසේම සේවකයකු වැඩ කරන අමතරව පැය ගණන වෙනුවෙන් අතිකාල දීමනාවක් ගෙවිය යුතු බවටද ඉහත නීතියෙන් නියම කර ඇත.
නීතිකරණයක් මිගන් ගෘහස්ථ සේවකයන්ගේ සේවා කොන්දෙසි නියාමනය කරන ජීසීසී කලාපයේ පළමු රට වන්නේද කුවේටයයි.
“ගෘහස්ථ සේවකයන් සඳහා අවම වැටුපක නියම කිරීමක් සළකා බැලිය හැකි තත්ත්වයක බහරේනය තවමත් පසුවන්නේ නැහැ” යැයි අල් අන්සාරි පවසයි.
“ඇත්තම කිව්වොත්, පෞද්ගලික අංශයේ සේවය කරන බහරේන ජාතිකයන්ටත් අවම වැටුපක් නැහැ”
“බහරේනයේ තියෙන්නේ නිදහස් සහ විවෘත වෙළෙඳපොළක්. එය ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඒ නිසා ඊට මැදිහත් වෙලා සෑම දෙයක්ම අවුල් කරන්න අපට වුවමනාවක් නැහැ”
රාජ්‍ය අංශයේ සේවයේ නියුතු බහරේන පුරවැසියන්ගේ අවම මාසික වැටුප බහරේන ඩිනාර් 300 ක් වන අතර පෞද්ගලික අංශයේ සේවයේ නියුතු බහරේන ජාතිකයන්ගේ සහ විදේශිකයන්ගේ වැටුප් ආකෘතිය කෙසේ විය යුතුදැයි යන්න ගැන තවමත් සාකච්ඡා කෙරෙමින් තිබේ.
බහරේනයේ සේවයේ නියුතු විදෙස් සේවකයන් සඳහා අවම වැටුපක් නියම කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන ඉල්ලීම් කරන්නේ වසර ගණනාවක සිටය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කම්කරු අමාත්‍යාංශ නිලධාරියා පවසන්නේ එසේ අවම වැටුපක් නියම කිරීම හරහා විදේශ ආයෝජනවලට සහ කලාපයේ පවතින තරගකාරීත්වයට හානි වීමෙන් බහරේන ආර්ථිකයට අහිතකර බලපෑම් සිදුවිය හැකි බවය.
“අපට තියෙන්නේ විවෘත වෙළෙඳපොළ ක්‍රමයක්. එය හොඳින් ක්‍රියාත්මක වෙනවා.
“2005 වසෙර්දී වෙළෙඳපොලේ වැටුප් මට්ටම තිබුණේ දැන් තියෙන තත්ත්වයට වඩා හරි අඩක් පහළින්. උදාහරණයක් විදිහට අති සුපිරි වෙළෙඳ සංකීර්ණවල වැටුප වුණේ බහරේන් ඩිනාර් 100 සහ බහරේන් ඩිනාර් 120 ත් අතර. ඒත් දැන් එය බහරේන ඩිනාර් 270-300 ක් පමණ වෙනවා”
“මේ වැටුප් වැඩිවීම අති විශාලයි. බහරේන ආර්ථිකයේ පවතින ඉල්ලුම් සහ සැපයුම් මොඩලය නිසා මෙහෙම වුණා කියලා තමයි මම විශ්වාස කරන්නේ” යැයි උප ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.