මෙයාට ෂොනාලි කියනවාට වඩා ආලියා කීම වඩා හොඳය. ටෙලි තිරය වෙත උකුස් ඇස් යොමා ගෙන ටෙලි නාට්‍ය නරඹන නරඹන්නන් අතරට මෙයා මේ වන විට පැමිණ සිටින්නේ ඒ නාමයෙනි. එලෙසින් ආලියා වූ ඇය ෂොනාලී වීරසිංහය. ඇගේ පරිසරයේ මිනිස්සු ඇය අමතන්නේ ”ෂෙනෝ” යන නාමයෙනි. මේ ෂෙනෝ හමුවන්නේ "සල්සපුනා" නාට්‍ය මාලාව වෙතිනි.
මම උපන්නේ කොළඹදීයි. ඒත් හැදී වැඩුණේ කුරුණෑගලදී. වයඹ රාජකීය සහ අමුණුගොඩ කුමාරදාස පාසල්වලට සහ පසුව කොළඹ රත්නාවලී බාලිකාවට ගියා. පවුලේ මම වැඩිමලා. තව මල්ලි කෙනෙක් ඉන්නවා. තාත්තා විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්.
මොනවා කරන්න හිතාගෙනද ඉගෙන ගත්තේ?
ගුවන් සේවිකාවක වීම තමයි ඉලක්කය සහ ආසාව වුණේ. ඒ හින්්දාම ඒ වෙනුවෙන් පාඨමාලාවක් පවා කළා. ඒ අදහස ඇත්තටම තවම අත්හැරලා නැහැ. ඒ හැරෙන්නට රඟපෑමට ආසා කළා. ඊටත් අමතරව නිරූපණ ශිල්පිණියක වීමටත්, රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක වීමටත් ආසා කළා. වාසනාව සහ හැකියාව නිසා ඒ සියල්ල ඉටු කරගත හැකි දේ වුණා.
රඟපෑම, නිරූපණය. ඇයි ඒ අංශවලට හිත ගියේ?
රඟපෑමම මුල් කරගෙන නොවෙයි ඉගෙන ගත්තේ. ඉගෙනීමට අදක්ෂ වුණේ නැහැ. කොහොම හරි හිත ගිය අංශවලට දායක වීමට අවස්ථාව ලැබුණා. ”සල්සපුනා” මගේ ප‍්‍රථම රඟපෑමයි.
එහි ”ආලියාට” වගේ ෂෙනෝටත් හින්දි පුළුවන් ද?
ඉන්දියානු සංස්කෘතික ආයතනයට කාලයක් මම ගියා. නමුත් රංගන කටයුතු නිසා තාවකාලිකව ඒ ගමන නතර කළා. හින්දි භාෂාව ගැන දැනීමක් ලබමින් සිටින්නේ.
දැන් මේ චරිතය නිසා ලැබුණු වෙනත් අවස්ථා එහෙමත් ඇති?
මේ චරිතය නිසා තවත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒත් මේ නාට්‍යයේ වැඩ නිසා වෙනත් ඒවා කරන්න බැරි වුණා. කොහොම වුණත් දැන් මගේ ආසාව තියෙන්නේ සිනමාවටයි.
ඇයි සිනමාවට කැමති?
යම් කිසි කාලවකවානුවක දී චරිතය තෝරාගෙන ඊට විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවනි. මෙගා ටෙලිවලට වගේම දීර්ඝ ටෙලි කතාවලට ආයෙත් මම එකතු වෙන එකක් නැහැ. මොකද මම හිතුවාට වඩා කාලයක් උපරිමයෙන් වැය කරන්න තියෙන ක්ෂේත‍්‍රයක් මේක. ඒ වෙනුවෙන් අවංකව අපට කාලය ලබා දෙන්න බැරි නම්, අතෘප්තියෙන් එය කළ යුතු නැහැ. ඒ නිසා සිනමාව සහ නිරූපණ අංශය මට මීට වඩා හොඳයි කියලයි හිතෙන්නේ.
රඟපෑමට ආ එක ගැන අද කලකිරීමක් ද තියෙන්නේ?
අපෝ නැහැ, ඒ නිසා කිසිදාක බලාපොරොත්තු නොවූ, කියන්න බැරි තරමට පේ‍්‍රක්ෂක ආදරයක් ලැබුණා. ඒක හරි සුන්දරයි.
මේ ආලියාට සැසඳුවොත් ඔබ කොහොම කෙනෙක්ද?
වෙලාවකට ඉක්මනට තරහ යනවා, ඒ වෙලාවට ටිකක් විතර නපුරුයි. හැබැයි ඒ සැණෙකින් දුක හිතෙනවා. මං හිතන්නේ මම ගොඩක්ම සංවේදීයි. ඒ නිසාම වෙන්න ඇති එහෙම වෙන්නේ.
කොහොම කෙනෙක් වෙන්නද ආස කළේ?
මගේ සිහින ලෝකය වුණේ ”බාබිඩෝල්” ලෝකයයි. බාබිඩෝල්ගෙ විලාසිතා විදියට තමයි විලාසිතා පවා තෝරා ගත්තෙත්. මගේ පසුගිය 20 වැනි උපන් දිනයට ලැබුණෙත් ලොකුම ලොකු බෝනික්කෙක්. කුඩා කාලයේ ඉඳලාම මට තෑගි ලෙස ලැබුණු බෝනික්කන් 35ක විතර එකතුවක් තියෙනවා. මම ලස්සනම ලස්සන විලාසිතා කරන්නත්, සතුටින් ඉන්නත් හරිම ආසයි.
අද මේ කරන කියන දේවලට අමතරව වෙන මොනවටද තව දක්ෂ?
නටන්න වගේම සිංදු කියන්නත් පුළුවනි. ඒ වගේම පොඩි පොඩි කලාත්මක නිර්මාණ කරන්නත් පුළුවනි. හොඳ රසට උයන්නත් පුළුවනි.
ගෙදර අය වැඩිපුරම ආසා කරන්නේ ඔබගෙ මොන ව්‍යාංජනයට ද?
”සෝයා මීට්” කරිය මට හොඳ රසට හදන්න පුළුවනි. මම ඒක හදපු දවසට ගෙදර ඔක්කොමලා හරි සතුටින් එය අනුභව කරන්නෙ.
”සල්සපුනා” කට්ටිය ගැන හිතන්නෙ කොහොමද?
මං වගේ ආධුනික කෙනකුට ඒ වගේ ප‍්‍රවීණ රටම දන්නා පිරිසක් එක්ක ගත කරන්න ලැබීම මගේ ලොකු පිනක් කියලයි හිතන්නේ. එහි එක්තරා අවස්ථාවක මම, මෙන්න මේ වගේ දෙබසක් කියනවා.
"අම්මගෙයි - තාත්තගෙයි ආදරය ලබන්න මට බැරි වුණා. ආදරය කියන්නෙ, ආරක්ෂාව. දාදි මට ඒ දෙකම දුන්නා.”
ඒ වගේ අවස්ථාවලදී මම ගොඩක් හැඟීම්බර වුණා.
හේතුව?
මට මගේ අම්මයිxතාත්තයි ගොඩක්ම ආදරෙයි. මගේ මේ ගමනට උදව් කළේ, මගේ අම්මයිxතාත්තයි. ආලියාට අම්මගෙයි, තාත්තාගෙයි ආදරය නොලැබුණාට මට සැබෑ ජීවිතයේ එහෙම වුණේ නැහැ. අද මම මෙතැන සිටින තැනට ගෙන එන්න මගේ අම්මා තාත්තා වගේම ප‍්‍රධාන වශයෙන් රොසෑන් ඩයස් ලියනගේ මහත්මියත් තවත් බොහෝ දෙනකුත් උදව් කළා.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
Location - Haylies Cafe Fixel