බෝගස්වැව සිසුවාගේ සිහිනය සැබෑවෙයි


වව්නියාව නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි  දුෂ්කර ගම්මානයක් වන බෝගස් වැව ගම්මානයට පහසුකම් සලසා ගැනීම සඳහා ජනමාධ්‍යයේ මෙන්ම දේශපාලකයන්ගේ ද අවධානය යොමු කිරීමට එම ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ගත් උත්සාහයක් පසුගිය දා සාර්ථක විය.

ඔහු නමින්  එස් ඩී දිලංජන් සඳුන් තිලකරත්නය. ඔහු වව්නියාව මඩුකන්ද ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාය. වව්නියාව දකුණ ප්‍රාදේශීය ළමා සමාජයේ සභාපති වන ඔහු වව්නියාව දිස්ත්‍රික් ළමා සභාවේ උප සභාපතිවරයාය.

උපන් ගම කුරුණෑගල වුවත් දිලංජන සිසුවා දැන් වසර කිහිපයක සිට ජීවත් වන්නේ වවුනියාව බෝගස්වැවය. ඔහුගේ පියා කුලී රැකියාවක් කරන අතර මව ආබාධිතය.

යුද්ධය අවසන් කිරීමෙන් පසු මායිම් ගම්මාන ඉවත් කිරීමේ අරමුණින් උතුරු වසන්තය වැඩසටහන යටතේ පිහිටැවුණු බෝගස්වැව ගම්මානය තවමත් අති දුෂ්කර ගම්මානයකි.

වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ.  මීට වසර  පහකට පමණ පෙර ගන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කර 2011 දී ජනාවාස ඉදි  කිරීම ඇරැඹිණි.

බෝගස්වැවට අමතරව නන්දිමිත්‍රගම, සැලලිහිනිගම, නාමල්ගම, බෝගස්වැව 2 යනුවෙන් තවත් ගම්මාන හතරක් එම ප්‍රදේශයේ වෙයි.

උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ  වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව්‍ ග්‍රාම සේවා වසමටය.  

එම මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වන අතර ඇතැම් දිනවල ධාවනය වන්නේ බස් රථ දෙකක් හෝ තුනක් පමණි. මාර්ගයේ ගමන් කරද්දී මුහුණ දෙන දුෂ්කරාතා නිසා බස් සේවකයෝ ද මෙම මාර්ගයේ බස් ධාවනය කිරීමට මැලි කමක් දක්වති.

බෝගස්වැවට යෑමට ඇති කිලෝමීටර 40 ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම වළවල් හැරී ඇති අතර පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා නැත.  

ප්‍රදේශයේ දුෂ්කරතාවය ගැන දිලංජන් දන්න දන්නා සියලු දෙනාට කීවේය. දන්නා හැම තැනටම ලිව්වේය. ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ද ගමේ දුෂ්කරතා ගැන හෙළි කළේය. මාධ්‍යවේදීන්ගේ දුරකතන අංක සොයාගෙන තම ගම ගැන පළ කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාදීපය ඇතුළු මාධ්‍ය කිහිපයකම ගම්මානයේ දුෂ්කර බව ගැන පළ විය.

මීට මාස කිහිපයකට පෙර පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වැඩසටහනක් අරලිය ගහ මැදුරේ දී පැවැත්විණි. දිලංජන සිසුවා ද ඊට සහභාගී විය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.  දිලංජන තම ගමේ දුෂ්කරතා ගැන තම අත්අකුරින් ලියූ ලියුමක් එහිදී ජනපතිගේ අතට ලබා දුන්නේය.

කාලයක් තිස්සේ දේශපාලකයන්ගේ අවධානයට ලක් නොවූ බෝගස්වැව ගමට මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 12 වැනි දා පැමිණියේය. ගමේ දුෂ්කරතා ගැන පාසල් සිසුවකු දුන් ලියුමක් ගැන ද ජනපති කීවේය.

පසුදින එනම් 13 වැනි දා පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේ දී ජාතික ළමා සභා නිලවරනයේ සමාප්ති උත්සවය පැවැතියේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙනි. ඊට ළමා හා කාන්තා කටයුතු ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද සහභාගී වූවාය. සිය කතාව පවත්වමින් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය දිලංජන ගැන කීවේය. දිලංජන තම ගමේ දුෂ්කරතා ගැන ජනපතිගේ අවධානය යොමු කර තිබුණු බවත්, ඒ අනුව ජනපති බෝගස්වැවට ගිය බවත් ඇමැතිවරිය කීවාය.

ඇගේ කතාවෙන් පසු උත්සවය යන අතරතුර චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය දිලංජනට තමා අසලට පැමිණෙන ලෙස අතින් සංඥාවක් කළාය. ඒ අනුව එතැනට ගිය දිලංජන සමග ජනපති සුහදව කතා කළේය.

‘ජනාධිපතිතුමා සුහදව කතා කළා. මම ඇහුවා එතුමගෙන් ගමේ දුෂ්කරතා ඔබතුමාම දැක බලා ගත්තා නේද කියලා. මං ඒ ඔක්කොම දැක්කා. හැකි ඉක්මණින් පාර හදනවා. ඉතිරි වැඩ කටයුතු ටිකත් කරනවා. කියා ජනපති කිව්වා. මගේ පාසලටත් ළඟදීම අනිවාර්යයෙන්ම එන බව ජනාධිපතිතුමා කිව්වා.‘ යැයි දිලංජන ලංකාදීපයට කීවේය.

පසුදිනම එනම් 14 වැනිදා ජනපති කාර්යාලයයෙන් දිලංජනගේ පාසල වන මඩුකන්ද ජාතික පාසලට දුරකතන ඇමතුමක් ලැබිණි. කැබිනට් රැස්වීමෙන් පසු එම ඇමතුම ලබාගෙන තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනපති විසිනි. නියෝජ්‍ය විදුහල්පති එම් කේ රංජිත් මහතා දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇත. පාසලේ ගුරු ගැටලුවට හැකි ඉක්මණින් විසඳුම් ලබා දෙන බවත්, ලබන සතියේ දිලංජන, දිලංජනගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කැටුව තමා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයයට එන ලෙසත් ජනපති දැනුම් දී ඇත.

කාලයක් තිස්සේ කාගෙත් ඇස් නොඇරී තිබුණු දුෂ්කර ගම්මානයක් ගැන රටේ මුල් පුරවැසියාගේ අවධානය යොමු කිරීමට තම පුතාට හැකිවීම ගැන දිලංජනගේ දෙමාපියෝ හදවතින්ම සතුටු වෙති.

දිලංජනගේ එකම ඉල්ලීම තම ගම්මානයට අවශ්‍ය පහසුකම් හැකි ඉක්මණින් ලබා දෙන ලෙසයි. ඔහු එදා ලංකාදීපයට කී දේ අදත් සිහිපත් කළේය.

‘‘උසස් පෙළ කිරීමට බෝගස්වැව පාසල් නැහැ. වව්නියාවේ නගරයේ උසස් පෙළට සිංහල මාධ්‍ය පාසල් දෙකක් තිබෙනවා. ඒ මඩුකන්ද පිරිවෙන සහ මඩුකන්ද ජාතික පාසල. මම ඉගෙන ගන්නේ මඩුකන්ද ජාතික පාසලේ.  බෝගස්වැව සිට වව්නියාවට බසයක් එන්නේ උදේ 6.30ට. එම බසයේ වව්නියාවට ඇවිත් පාසලට යද්දී උදෑසන අට විතර වෙනවා.  එවිට පළමු වැනි කාලච්ඡේදයෙන් කොටසක් ගිහින්. සතියකට දවසක් දෙකක්  බස් රථය නැති වෙනවා. එදාට පාසල් යන්න ලැබෙන්නේ නෑ.

සුදු ඇඳුම් ඇඳගෙන උදෙන්ම ලස්සට ලෑස්ති වෙලා ආවට වැඩක් නෑ . වව්නියාවට එද්දී ඇඳුම් ගුරු පාරයි. කොණ්ඩෙත් තඹ පාටයි. පාරේ දූවිලි නිසා ඇග කසන්න ගන්නවා. මෙහේ වැඩිපුර තියෙන්නේ කටු මැටි ගෙවල්. හරිම දුෂ්කර ජීවිත බොහෝ දෙනෙක් ගත කරන්නේ.‘‘  යයි ද දිලංජන සිසුවා කීවේය.

001 002 003 004 005 006