මම වඩා ප්‍රිය කරන්නේ වේදිකාවට


2016-06-09-ent-64


2013, 2014, 2015 පැවැති යොවුන් නාට්‍ය උලෙළේ (කෙටි නාට්‍ය අංශයේ) හොඳම නළුවා බවට පත්වන්නේ ඔහුය. 2014 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නළුවා වන ඔහු 2015 කෙටි නාට්‍ය අංශයේදී හොඳම නළුවා බවට පත්වෙයි. මේ දිනවල "සිල්ලර කාසි" හා "යකඩ කහවනු" ටෙලි නාට්‍යවලට දායක වන ඔහු සරත් කරුණාරත්නය.

 

මේ දිනවල සිදුවන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

මේ දිනවල "සිල්ලර කාසි", "යකඩ කහවනු" යන ටෙලි නාට්‍ය දෙකෙහි රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය නිර්මාණ වන "රජා මං වහලා", "මකරට", "දැන්ම ගොඩවෙන්න" යන නාට්‍යවලට සහභාගි වෙනවා.

 

ඔබ වැඩි ඇල්මක් දක්වන්නේ වේදිකාවටද?

ඔව්, හෝමාගම ජනාධිපති විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන කාලෙත්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උසස් පෙළ කරන කාලෙත් නාට්‍ය හා රංගකලාව හදාරන්න කැමැත්තක් ඇති වුණා. පසුව ජාතික තරුණ සේවා සභාවේ රංග ශිල්ප ශාලිකා රංග පාසලට 2002 ඇතුළත් වුණා. එය ඩිප්ලෝමා පාඨමාලාවයක්. එයට යොමු වුණේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න තිබුණ ආසාවටම තමයි. එදා සිට මේ වන තුරුත් ප්‍රා‘යෝගිකව වේදිකාව එක්ක වැඩ කරනවා.

 

වේදිකාවේ සිට රූපවාහිනියට යොමුවෙන්න අවකාශය ලැබෙන්නේ කොහොමද?

මුලින්ම මට රූපවාහිනි ටෙලි නාට්‍යයක් ලැබුණෙ නාලන් මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කළ "මම නෙමෙයි මම" ටෙලි නාට්‍යයට. එයට ආරාධනා ලැබෙන්නෙ "කෝච්චිය එනකම්" කෙටි වේදිකා නාට්‍යයේ මම රඟපානවා දැකලා. පසුව නාලන් මෙන්ඩිස් මහතාගේ ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. "රු කුමරි", "සෙනෙහසට ආදරෙයි" වැනි ටෙලි නාට්‍ය. එහෙත් වේදිකාවේ වැඩ නතර කළේ නැහැ. මම වැඩි කාලයක් වෙන්කළේ වේදිකාවට.

 

ටෙලි නාට්‍යවලට දායක වෙන්නේ වාණිජ පරමාර්ථයෙන්ද?

ඔව්. ටෙලි නාට්‍ය කිරීමේ මූලික අරමුණ තමයි වාණිජ පරමාර්ථය. ඉන් ලබන ආත්මතෘප්තියට වඩා මූල්‍ය පැත්ත තමයි බලන්නෙ. නමුත් මම අකමැතිම නිර්මාණවලට මම දායක වෙන්නෙ නැහැ. වේදිකාවේ මම බලාපොරොත්තු වන දර්ශනය, දේශපාලනය, මානුෂීය ගනුදෙනු එක්ක වේදිකා නාට්‍ය තෝර ගන්නවා. එහෙත් ටෙලි නාට්‍ය එහෙම ලඝු කරන්න බැහැ. කලාත්මක පැත්ත පමණක් නෙමෙයි, නිෂ්පාදන ක්‍රියාවලිය පවා ගැටලු සහගතයි. මීට පෙර පැවැති නිදහස කලාව සීමා වෙලා තියෙන්නෙ. සුළු මුදල් ප්‍රමාණයක් එක්ක කෙටි කාලයකින් ටෙලි නාට්‍ය කරන්න උත්සහ කරන්නේ ඒ නිසයි. කලාත්මක පැත්ත බිඳ වැටෙනවා.

 

එහි බලපෑම එන්නේ ප්‍රේක්ෂකාගරයට?

අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකාගරයට බලපානවා. වර්තමානය වනවිට එය සිදුවී අවසන්. වර්තමාන සමහර ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂකයාම තමයි එකල "කඩුල්ල" බැලුවෙ. "දුන්හිඳ අද්දර", "දඬුබස්නාමානය" බැලුවෙ. නමුත්, අද එවැනි නිර්මාණයක් ප්‍රේක්ෂකයා ප්‍රතික්‍ෂේප කරන තැනට ප්‍රේක්ෂකයාගේ රසිකත්වය මොට කරලා තියෙන්නෙ ටෙලි නාට්‍ය කලාවේ නියැළෙන පිරිසම තමයි. ඔවුන්ට ඒ අසාධාරණය සිදුකර අවසන්. රසඥතාවය මොටවී අවසන්. හොඳ නිර්මාණත් ප්‍රතික්ෂේප කරන තැනට ඇවිත්.

 

වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙස ඔබට කිහිප වරක්ම සම්මාන ලබාගන්න හැකිවුණා. වේදිකා නාට්‍යවලට ලබාදෙන සම්මාන ගැන තිබෙන අදහස?

මම රාජ්‍ය නාට්‍ය උලෙළ, යෞවන සම්මාන නාට්‍ය උලෙළේදී කිහිප වතාවක්ම හොඳම නළුවා හා හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍රව තිබෙනවා. සම්මාන උලෙළවල්වල විනිශ්චය සම්බන්ධයෙන් කවදත් සෑහීමකට පත්වෙන්න අමාරුයි. සමහර නිර්දේශ නාට්‍යකරුවන් ලෙස අපි එකඟ නොවන අවස්ථා බොහෝ තිබුණා. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ පවා එහෙම දකින්න තියෙනවා. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන විනිශ්චයත් තාම ලබාදුන්නෙ නැහැ. නමුත් එහි දෙවන වටය තුළ විනිශ්චයක් සිදුවුණ ආකාරය ගැන ප්‍රශ්න තිබෙනවා. උදාහරණයක් ලෙස දෙවන වටයෙන් අවසාන වටයට නාට්‍යයක් තෝරාගන්න නාට්‍ය විස්සක් තිබෙනවා නම්, එම නාට්‍ය විස්ස නැරඹිය යුත්තේ එකම විනිශ්චය මණ්ඩලයක්. එහෙත් මෙවර දෙවන වටයේදී සමහර නාට්‍ය එක් විනිශ්චයකරුවෙක් විතරයි බලලා තියෙන්නෙ. තවත් සමහර නාට්‍ය දෙනෙක් විතර. සමහර නාට්‍ය තුන් දෙනෙක්, සමහරු ඇතැම් නාට්‍ය බලලවත් නැහැ. එහෙම වුණාම කුමන දෙයකට සාපේක්ෂවද නාට්‍ය තෝරන්නේ කියන ප්‍රශ්න තිබෙනවා.

 

ඉදිරි කලා කටයුතු ගැන සඳහන් කළොත්?

වේදිකාව එක්ක මට විශාල බලාපොරොත්තුවක් තියෙනවා. වේදිකාවේ අලුත් නිර්මාණ කරන්න කැමැත්තෙන් ඉන්නවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර‘යේ නම් කලකිරීම් තිබෙනවා. වේදිකාව තරම් එය තෘප්තිමත් නැහැ. සමහර ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් පමණයි. වේදිකාව එක්ක වැඩ කරනවා වගේ ටෙලි නාට්‍යවල වැඩකරලා තෘප්තියක් ලබන්න බැහැ. මම වේදිකාවේ වැඩ කරන්නේ මම කැමති දේශපාලන දර්ශනයක් තියන අලුත් අපූර්වත්වයක් තියෙන පර්යේෂණයක් සිදුවන වේදිකා නාට්‍යවල. ඉන් ලැබෙන ආත්මතෘප්තිය ටෙලි නාට්‍යවලින් ලැබෙන්නෙ නැහැ. සම්පූර්ණයෙන් වෙනස් මාධ්‍යයන් දෙකක්. එහි මානුෂීය ගනුදෙනු පවා වෙනස්. මම වඩා ප්‍රිය කරන්නේ වේදිකාවට. වේදිකාවේ සජීව ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. බෝහෝ විට මාස ගණනක් පුහුණු වී පරීක්ෂණ කරමින් වේදිකාවට ගේන්නේ. අපි ඒ නිර්මාණය සමග කොන්දේසි විරහිතව වැඩකරනවා.

 

නිදුක් මදුෂික

 

2016-06-09-ent-65