මූන්ස්ටෝන්ස්ට ගමෙන් ‘හූ’ සංග‍්‍රහයක්


2016-07-30-ent-28

රත්නපුරේ ෆර්ගර්සන් බාලිකා විද්‍යාලයේ කාර්නිවල් එකේ සිංදු කියන්න මූන්ස්ටෝන්ස්ලටත් එන්න කිව්වා. හරි අපි එන්නම්. අපිට සල්ලිත් ඕනෙ නැහැ. මේක අපේ පළවෙනි ෂෝ එක නිසා, අපිට මේක ගොඩක් වටිනවා කියලා අපි කිව්වා. ඔන්න ඉතින් කානිවල් එක දවස ආවා. ඉස්සෙල්ලා සිංදු කිව්වෙ, මොරටුවේ පෙඞ්ලන්ඞ්ස් කියලා ගෲප් එකක්. එයලාගෙ තිබුණෙ ඉලෙක්ටි‍්‍රක් ගිටාර්ස් එහෙම. කොල්ලො අප්පොඩි ගහනවා. විසිල් ගහනවා. නටනවා, වැඩ කෝටියයි.

ඊළඟට අපි... මූන්ස්ටෝන්ස්... රත්නපුරෙන් බිහි වුණු මැණිකක් විදිහට තමයි අපිව හැඳින්නුවේ. ඔන්න ඉතින් මූන්ස්ටෝන්ස් වේදිකාවට නැග්ගා. අපිට තිබුණ පරණ වාද්‍ය භාණ්ඩ. එක භාණ්ඩයක් වුණෙ මුං ඇට පුරවපු ප්ලාස්ටික් භාජනයක්. මේක හොල්ලන කොට මතුවුණේ මියුරු සංගීතයක්. ඔන්න ඉතින් අපි සිංදුවක් කිව්වා. මාර ප‍්‍රතිචාරයක් ලැබුණෙ... එකම හූවක්, කොටින්ම අපිට තව සිංදුවක් කියන්න බැරි තරමට හූව... සමහරු ”ගෝ හෝම්” කියලත් කෑ ගැහුවා. ආයෙමත් කලින් ගෲප් එකට ඇවිල්ලා සිංදු කියන්න කියලත් සමහරු ඉල්ලූවා.

 

අපි වේදිකාවෙන් බැස්සා.

2016-07-30-ent-27මම ආයෙනම් සිංදු කියන්නෙ නෑ කියලා ක්ලැරා කිව්වෙ. ඇස් දෙකේ කඳුළුත් පුරෝගෙන

ඇනස්ලි මාලේවන මේ කියන්නේ මීට දශක පනහකට පෙර අතීතයේ කතාවකි. ඔහු හා හා පුරා කියා වේදිකාවක ප‍්‍රසංගයක් ඉදිරිපත් කළ දවසක සොඳුරු මතකයයි. ඒ කතාව කියා ඔහුත්, ඒ කතාව අසා මමත් අපේ ඇබාත් විනාඩි කිහිපයක්ම සිනාසුනෙමු.

‘‘එදා මට හූ කියපු එකෙක් මට ළඟදි ඕස්ටේ‍්‍රලියාවෙදි හම්බ වුණා.’’

ඇනස්ලි යළිත් සිනාව අලූත්කරගෙන පැවසුවේය.

 

ඕස්ටේ‍්‍රලියාවෙදි? ඒ කොහොමද? මගෙන් ප‍්‍රශ්නයකි.

 

‘‘මාස කීපෙකට කලින් මගෙ ෂෝ එකක් තිබ්බා මෙල්බර්න් නුවර. එදා මම අර අපිට හූ කියපු කතාව කිව්වා. ෂෝ එක ඉවරවුණු හැටියෙ මගේ ළඟට ආපු එක්කෙනෙක් මගෙන් සමාව ඉල්ලූවා. එදා හූ කිව්වට...”

මූන්ස්ටෝන්ට හූ සංග‍්‍රහය ලැබුණෙ නවසිය හැට ගණන්වලය. ඔය කියන කාලය වන විට කණ්ඩායම් සංගීතය ලංකාවේ ජනප‍්‍රිය අංගයක් බවට පත්ව තිබිණි. ඉතින් ඇනස්ලි මාලේවන ගැන අහන්නට කලින් මම හැටේ දශකයේ කණ්ඩායම් සංගීතය ගැන තොරතුරු ඇනස්ලිගෙන් විමසුවෙමි.

‘‘ඔය කාලෙ මම හරිම කැමැත්තෙන් අහපු සිංදු කිව්වෙ ලොස් කැබිලරෝස් කියලා කණ්ඩායමක්. ඔය කාලෙ හිටපු තවත් ජනප‍්‍රිය කට්ටිය තමයි, ලා සිලනියන්, ලොස් මුචාචොරස් එහෙම.... ධර්මරත්න සහෝදරයෝ ත‍්‍රී සිස්ටර්ස් එහෙම බිහි වුණේ අපිට පස්සෙ කාලෙක.’’

අසීමිත හූ සංග‍්‍රහයක් මැදින් වේදිකාවෙන් බැස ගිය මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ ඉරණම කෙබඳු වන්නට ඇද්ද යන කුතුහලය තවමත් ඔබේ හිතේ තිබෙන බව දනිමි. ඇත්තට මම ද, මේ මොහොතේ මූන්ස්ටෝන්ස්ට මොකද වුණේ යන කුතුහලයෙන් පෙළෙමි.

‘‘අර හූවට බයෙන් වේදිකාවෙන් බැහැපු අපිට, අපිට කලින් සිංදු කියපු සංගීත කණ්ඩායම මොරටුවේ සිංදු කියන්න ආරාධනයක් කළා. එතකොට අපේ කණ්ඩායම් ක්ලැරැුන්ස් විජේවර්ධන ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා. අපි ආයෙ කොහොමත් සිංදු කියන්නෙ නෑ කියලා ක්ලැරා කිව්වෙ බොහොම කනගාටුවෙන්.

ඔයාට පිස්සුද? ඔයාලා බොහොම ලස්සනට සිංදු කිව්වා මෙහෙ උන්ට රස විඳින්න බැරි වුණාට මොරටුවෙදි එහෙම වෙන්නෙ නෑ. බය නැතුව එන්න කියලා ඒ අය අපිව දිරි ගැන්නුවා.

පස්සෙදි අපි මොරටුවෙත් ගිහින් සිංදු කියලා බලමු කියලා තීරණය කළා. එහෙදිත් හූ කිව්වොත් මේ වැඬේ අත්හැරලා දාමු කියලා අපි මොරටු ගියා. එහෙදි අපිට ලැබුණෙ අත්පොලසන්. අපි බොහොම සතුටින් සිංදු කියලා ආවට පස්සෙ ක්ලැරා මොරටුව මොරටුව කියලා අලූතින් සිංදුවකුත් කියලා මොරටු ජනතාවට කෘතවේදීත්වය පළ කළා.’’

මූන්ස්ටෝන්ස් හතර දෙනකුගේ කණ්ඩායමකි. ක්ලැරැුන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන මොන්ටි වත්තලදෙනිය සහ දම්මික විජේසිරි යනුවෙනි. රත්නපුරය අපේ ගම තමයි, රෝස මලේ, මංගො නැන්දා වගේ සිංදු ගොඩක් අපිට තිබුණා.’’ මූන්ස්ටෝන්ස් කාලයක් යනතුරුම ලංකාවේ ජනප‍්‍රියම සංගීත කණ්ඩායමක් ලෙස කණ්ඩායම් ගීත ගායනා කළා. ඔය අතරේ ක්ලැරැුන්ස් මූන්ස්ටෝන්ස් එකෙන් අයින් වුණා. එයාට ගීත රචනා කරන්න සංගීත නිර්මාණ කරන්න කාලය ඕනෑ කියලා තමයි මූන්ස්ටෝන්ස් දාලා ගියෙ. ඒත් පස්සෙ කාලෙක ක්ලැරා ගෝල්ඩන් චයිම්ස් කියලා අලූත් සංගීත කණ්ඩායක් බිහි කළා. මූන්ස්ටෝන්ස් මම කරගෙන ගියා. දුන්හිඳ මනමාලි සිංදුව එහෙම කිව්වෙ මම මූන්ස්ටෝන්ස් කරගෙන යන කාලෙ.

හැබැයි ඔය කාලෙ හුඟක් අය කිව්වෙ ක්ලැරා නැති මූන්ස්ටෝන්ස් මනමාලයා නැති මඟුල් ගෙයක් වගේ කියලා. ඔය කතාව ක්ලැරාටත් කියලා තිබුණා. ඇනස්ලි නැති ගෝල්ඩන් චයිම්ස් මනමාලි නැති මඟුල් ගෙයක් වගේ කියලා. ඔන්න ඉතින් එක දවසක්, ගිටාර් ගහපු ඩික්සන් ගුණරත්න මාවයි ක්ලැරාවයි ගෙන්නලා ආපහු අපි කට්ටියම එක කණ්ඩායමක් බවට පත් කළා. සුපර් ගෝල්ඩන් චයිම්ස් හැදුණෙ ඒ විදිහට. ක්ලැරා, මම ඩික්සන්, කොන්රඞ් ගුණරත්න, ශ්‍රී කාන්ත දසනායක කියන අපි පස්දෙනාගෙන් සුපර් ගෝල්ඩන් චයිම්ස් හැදුණෙ 1972 දි විතර. ඒත් 1977 දී මම සුපර් ගෝල්ඩන් චයිම්ස් දාලා ගියා.

 

ඇයි ඒ?

මා ඇහුවේ ඇනස්ලිගෙ ඒ ක‍්‍රියාව සංගීත ලෝකයට කළ වරදක් සේ හැගුණු බැවිනි. කසාද බඳින්න.

ඇනස්ලි කීවේ මගේ ප‍්‍රශ්නයට කෙටි පිළිතුරක් ලෙසය. කසාදයක් බැඳීමට සංගීතය අතැර යන්නේ කුමකටද?

මගේ වයිෆ්ගෙ පැත්තෙන් මට බල කළා දුව දෙන්න නම් මට රස්සාවක් තියෙන්නම ඕනෙ කියලා. පස්සෙ මම මයුරා ගාමන්ට් එකේ රස්සාවක් හොයාගත්තා.’’

ඊට පස්සේ?

මා ඒ පැනය ඇසිය යුතුමය. ඇනස්ලි මාලේවන නමැති ගායකයාගේ ගායන පරිච්ෙඡ්දය එතෙකින් අවසන් වීද. ඇත්තටම මං රැුකියාව වෙනුවෙන් කැප වුණා. එකවුන්ට් ක්ලාර්ක් විදිහට රස්සාවට ගිය මම අන්තිමේ ජෙනරල් මැනේජර් වුණා.

එතකොට සංගීත ජීවිතේට මොකද වුණේ?

2016-07-30-ent-23මම අසමි.

‘‘ඒක ඉවරයි. රස්සාවයි පවුලයි විතරයි ජීවිතේම වුණේ. හැබැයි 1989 දි විතර දවසක් ක්ලැරැුන්ස් මට කතා කරලා කිව්වා කැසට් එකක් කරලා දෙන්න සිංදු කියන්න පුළුවන්ද කියලා. මම ඒකට නම් හා කිව්වා. ඔන්න ඔය විදිහට රෝස මලේ කියන කැසට් එක අවුට් වුණා. ඕකෙන් ක්ලැරා නෙමෙයි ශත පහක්වත් ගත්තෙ. කොහොම හරි මේ කැසට් එක පුදුම විදියට ජනප‍්‍රිය වුණා.’’

 

ඊට පස්සෙ?

ඇනස්ලි මාලේවන යළි සංගීත ජීවිතය පටන්ගත් ආකාරය ගැන කුතුහලය නිසාම මම ඇසුවෙමි.

‘‘මම 2004 දි සුපර් චයිම්ස් කියලා අලූතින් සංගීත කණ්ඩායමක් හැදුවා. චන්න අතලගේ, දිලීප ප‍්‍රනාන්දු, ආශා ප‍්‍රනාන්දු, යසන්ත පීරිස්, සජාන් පූගලආරච්චි කියන කට්ටියක් එක්ක මේ වතාවෙ, අගෝස්තු 6 වෙනිදා සවස කොළඹ බී.එම්.අයි.සී.එච්. ශාලාවෙ කියන ත්‍සඓහ ශැ්ර ඍැචකැජඑසඩැ කියන ප‍්‍රසංගය සංගීතවත් කරන්නෙත් මගේ මේ සුපර් චයිම්ස්. මේකෙදි කීර්ති පැස්කුවල්, කොරින් අල්මේදා, චිත‍්‍රාල් සෝමපාල ගීත ගායනයෙන් එකතු වෙනවා.

එදාටත් ගායනා කරන්නේ ඔබේ පරණ ගීත ටිකමද? මා ඇසුවේ ඇනස්ලිලාගේ අලූත් ගීතයක් ඇසූ කාලයක් මතක නැති නිසාමය.

‘‘නෑ එදාට නම් අලූත් ගීතයක් කියනවා. මට රජිව් සෙබස්තියන් අලූත් ගීතයක් හදලා දීලා තියෙනවා.

‘මතකයි හැත්තෑවෙ අපි බිහි කළ සංගීතේ

මුසු කොට බටහිර ආරේ

තත් අතරින් ගිටාරයේ

නිමා වූ ඒ රස තාලේ

අදටත් පවතී පෙර වාගේ’’

 

ශාන්ත කුමාර විතාන / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

2016-07-30-ent-26
2016-07-30-ent-25
2016-07-30-ent-24