මොකද්ද මේ භෞත චිකිත්සාව ?


මොකක්ද මේ භෞත චිකිත්සාව

භෞතචිකිත්සක ප‍්‍රතිකාර යනු වැඩි දියුණු වූ සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන අතර අපේ රටේ නම් බොහෝ අයට මේ පිළිබඳව එතරම් අවබෝධය, දැනුමක් නොතිබුණත් බටහිර රටවලත්, වෙනත් දියුණු රටවලත් ජනප‍්‍රිය ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට පත්වී හමාරය. කොළඹ හා ඒ අවට ප‍්‍රදේශවල සුළුතර පිරිසකට භෞතචිකිත්සක ප‍්‍රතිකාර පිළිබඳව දැනුමක් තිබුනත් පිටිසර පළාත්වල ජනතාවට මේ පිළිබඳව නිසි අවබෝධයක් ඇතිවී නොමැත. එමෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බොහෝ දෙනා තුළ මැලිකමක් හා බියක්ද පවතී. භෞතචිකිත්සාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමටත් භෞතචිකිත්සක ප‍්‍රතිකාර යෙදෙන අවස්ථා පිළිබඳව ඔබ දැනුවත් කිරීමටත් මෙම ලිපිය හරහා අපි බලාපොරොත්තු වෙමු.

 

මොකක්ද මේ භෞතචිකිත්සාව ?

බොහෝ දෙනා භෞතචිකිත්සාව හඳුනාගන්නේ අස්ථිබිදීමකින් හෝ එවැනි අනතුරකින් පසු ලබා දෙන ව්‍යායාම හෝ ව්‍යායාමික ප‍්‍රතිකාර ලෙසයි. ඇත්තෙන්ම මෙය මීට එහා ගිය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පුළුල් පරාසයක විහිදී යන සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් භෞතචිකිත්සාව නිර්වචනය කරනුයේ, තාපය, විද්‍යුතය, ශබ්දය, චුම්භකත්වය, ගුරුත්වාකර්ෂණය වැනි ශක්ති ප‍්‍රභේදත් ශාරීරික ශක්තිය හෙවත් ව්‍යායාමත්  භාවිත කරමින් රෝගියාගේ ශාරීරික, මානසික සහ සමාජීය සුව පැවැත්ම, ප‍්‍රවර්ධනය පවත්වාගෙන යාම සහ ප‍්‍රතිසාධනය සිදුකරනු ලබන වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙසිනි. භෞතචිකිත්සාව මූලික සෞඛ්‍ය වෘත්තීය සේවයක් වන අතර මිනිස් සිරුරේ චලන හා ක‍්‍රියාකාරකම් පිළිබඳව මූලිකවම අවධානය යොමු කරනවා. මෙහි භාවිතා වන ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් වේදනා, ආබාධ හා සංකූලතා ඇතිවීම වැළැක්වීමත් එසේ ඇත්නම් ඒවායින් මිදීමටත් මඟ පෙන්වනවා.

 

භෞතචිකිත්සාවේ ඉතිහාසය හා වර්ධනය

ලංකාවේ අපට භෞතචිකිත්සාව අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් වුවද එහි ඉතිහාසය ක‍්‍රි.පූ. 460 දක්වා අතීතයට දිවයයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක‍්‍රටීස් විසින් වේදනාව නැසීම සඳහා අතින් සිදුකරන ලද සම්භාහන ක‍්‍රම සඳහා මුලින්ම භෞතවිකිත්සාව යන අදහස ඉදිරිපත් කළ අතර පසුව ඔහු විකලාංග තත්ත්ව සඳහාත් භෞතචිකිත්සාවේ දැනට භාවිත වන මූලික ක‍්‍රමවේද භාවිත කළ බව සඳහන්වේ.

 

එතැන් සිට විවිධ සංකීර්ණ ප‍්‍රතිකාර ක‍්‍රමයන් එකතු වෙමින් වර්ධනය වන භෞතචිකිත්සාව වඩාත් ප‍්‍රචලිත වන්නේ 1917-1918 කාලය තුළ පළමු වැනි ලෝක යුද්ධය ආරම්භවීමත් සමඟය. එහිදී අනතුරට පත් සොල්දාදුවන් හා සිවිල් වැසියන් සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට ගෙන ඒම හෙවත් පුනරුත්තාපනය සඳහා භෞතචිකිත්සාව වඩාත් පුළුල් ලෙස යොදා ගැණුන අතර භෞතචිකිත්සාව වෙනම විෂයක් ලෙස වර්ධනය විය.

1920 වන විට පෝලියෝ වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ පෝලියෝ රෝගීන් පුනරුත්ථාපනය කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකාර මඟින් විශාල පිටුවහලක් ලැබුණු අතර භෞතචිකිත්සාව සමාජය තුළ ජනප‍්‍රියවෙමින් වර්ධනය විය. 1950 වන විට භෞතචිකිත්සාව වෙනත් වෘත්තීන්ගෙන් වෙන්ව වෙනම ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස වර්ධනය විය යුතු බව තීරණය වූ අතර 1951 දී ලෝක භෞතචිකිත්සක සංගමය බිහිවිය.

ඉන්පසු තාක්‍ෂණයේ සීඝ‍්‍ර දියුණුවත් සමඟ පුළුල් පරාසයක විශාල දියුණුවක් ලබා තිබේ. විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම, විවිධ තාක්‍ෂණික උපකරණ ආදිය එකතු වෙමින් අද වනවිට ඉතාමත් සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට භෞතචිකිත්සාව පත්ව තිබේ.

 

භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබා දෙන්නේ කුමන ආකාරයේ රෝගාබාධ සඳහාද ?

භෞත චිකිත්සාව යම් රෝගාබාධයකට හෝ එක් අංශයකට අයත් වූ රෝගාබාධවලට පමණක් සීමාවූ ප‍්‍රතිකාර ක‍්‍රමයක් නොවේ. එය බටහිර වෛද්‍ය විද්‍යාවත් සමඟ ඒකාබද්ධ වූ විවිධ අංශ රාශියකට ව්‍යාප්ත වූ ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

විකලාංග හා රක්තවාතවේද උදාහරණ ලෙස අස්ථි බිදීමෙන් පසු ඇතිවන සංකූලතා, සන්ධි ආශි‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රත රෝග, කොන්ද හා ගෙල ආශ‍්‍රිත වේදනා හා සංකූලතා, මස්පිඬු ආශ‍්‍රිත වේදනා හා සංකූලතා.

ස්නායු රෝග: අංශභාගය, සුසුම්නාව ආශි‍්‍රත ආබාධ, පාකිංසන් රෝගය.

ළමා රෝගාබාධ: මස්තිෂ්ක ආඝාතය, ඩවුන්ස් සහලක්ෂණය.

රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග: ධමනි හා ශිරා ආශි‍්‍රත සංකූලතා, වසා පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා, කාන්තාවන්ට විශේෂිතවූ රෝග.

ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ: ඇදුම රෝගය  නියුමෝනියාව සහ කී‍්‍රඩා ආබාධ.

එසේම දියවැඩියාව වැනි රෝග සඳහාත් පිළිස්සුම් හා කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතියෙන් පසු ඇති වන සංකූලතා සඳහාත් ස්ථූලතාවය සඳහාත් භෞත චිකිත්සාවේ විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කරනවා.

 

භෞතචිකිත්සාවේ භාවිතා කරන ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ඖෂධ භාවිතයක් සිදුකරන්නේ නැහැ. සියලූ ප‍්‍රතිකාර භෞතික ශක්තීන් හා ක‍්‍රමෝපාය යොදාගෙන සිදුකරනවා. එසේම මෙම යොදා ගන්නා ප‍්‍රතිකාර ක‍්‍රම එක් එක් රෝගාබාධ අනුවත් රෝගීයාගේ ශාරීරික යෝග්‍යතාව අනුවත් වෙනස්වෙනවා. ප‍්‍රතිකාරමය ව්‍යායාම, විද්‍යුත් චිකිත්සාව, ජල චිකිත්සාව, ප‍්‍රතිකාරමය සම්භාහන ක‍්‍රම, උරස් චිකිත්සාව, ඉරියව් ගත කිරීම්, ආධාරක ආශි‍්‍රත ප‍්‍රතිකාර  වැනි ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් භෞත චිකිත්සාවේදී බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබාදෙනවා.

 

භෞතචිකිත්සකවරයාගේ කාර්යභාර්ය කුමක්ද ?

භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා යොමුවන රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්‍ෂා කර රෝගය නිශ්චය කර ගැනීමෙන් පසු භෞත චිකිත්සකවරයා විසින් ප‍්‍රතිකාර සැලසුම් කෙරේ. පසුව රෝගියාට ප‍්‍රතිකාර නියම කිරීමත්, ප‍්‍රතිකාර කරවීමත්, මඟපෙන්වීමත් හා පසුවිපරමක් සිදුකරනු ලබයි. ප‍්‍රතිකාරවලදී රෝගියාගේ සිරුරේ චලනය, ශක්තිය, දරාගැනීමේ හැකියාව, සාමාන්‍ය කි‍්‍රයාකාරීත්වය හා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව භෞත චිකිත්සකවරයා විශේෂ සැලකිල්ලක් යොමුකරයි.

බොහෝ දෙනා භෞත චිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බියක් දක්වන්නේ මෙහිදී භාවිත වන විවිධ කිරණ වර්ග, විද්‍යුත් තරංග ආදිය සිරුරට අහිතකර යැයි සිතන නිසාය. ඇත්තෙන්ම භෞත චිකිත්සාවේ භාවිත වන ප‍්‍රතිකාරවලින් අතුරු ආබාධ ඇති නොවේ. එමෙන්ම භෞත චිකිත්සක ප‍්‍රතිකාර මඟින් බොහෝවිට රෝගියා සැත්කමකටයාමට ඇති අවකාශය මඟහරවා ගැනීම සඳහා භෞත චිකිත්සකවරයා විශේෂයෙන් සැලකිලිමත්වේ.

මහියංගන මූලික රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක රුවන් රත්නායක

Ruwan-Ratnayake