යාපනයටත් යන ආදරණීය කතාවක්


2016-06-03-ent-203

ලබන සතියේ සිට ප්‍රේක්‍ෂක ඔබට නැරඹිය හැකි ආදරණීය කතාවක් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ප්‍රියන්ත කොළඹගේ. ඔහු සමඟයි "හදසර" මේ ආදරණීය කතා බහ.

 

2016-06-03-ent-202කොහොමද? මොකද මේ දවස්වල කරන්නේ.

මේ දවස්වල වැඩකටයුතු දෙකක් කරනවා. එකක් ආදරණීය කතාවක් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට ලෑස්ති වෙනවා. ඒ එක්කම මගේ ඊළඟ චිත්‍රපටයවන දේදුණු අහසේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු කරනවා.

 

ආදරණීය කතාවක් තිරගත වෙන්නේ කවදා සිටද?

ජුනි 10 වනදා සිට සිනමා ශාලා 38ක ප්‍රදර්ශනය කෙරෙනවා. ඊට අමතරව යාපනේදීත් ප්‍රදර්ශනය කරන්න ලෑස්ති කරලා තියෙනවා.

 

ආදරණීය කතාවක් තුළ අන්තර්ගත වන්නේ කුමක්ද?

ආදරණීය කතාවක් කියද්දි ආදර කතාවක් කියලා දැනෙන්න පුළුවන්. ඒත් ඊට යටින් මම උත්සාහ කළේ මානව සබඳතා ගැන කතා කරන්න. මම මේ තේමාව තෝරා ගත්තේ පසුගිය කාලේ සමාජය තුළ දකින්නට ලැබුණු කඨෝර මානසික සිදුවීම්. තරුණ තරුණියන් ආදරයේදි ගන්නා ක්‍ෂණික තීරණ. ඒවා අවසානයේ මහා ඛේදවාචක සිදුවුණ අවස්ථා දැක්කා. ආදරය ඇතුළේ තිබිය යුතු පරිත්‍යාගයන් දකින්නට ලැබුණේ නැහැ. ඒ නිසා ආදරණිය පරිත්‍යාගයන් ඇතුළත්ව මම මේ චි.්‍රපටය කළා.

 

ඔබේ නිර්මාණයට හින්දි චිත්‍රපටයක ආභාෂය ලැබුණද?

මෙහෙමයි. මේ අර්ථය තියෙන විවිධ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ලාංකික ප්‍රේක්‍ෂකයින් සමීප හින්දි සහ දෙමළ චිත්‍රපටවලට. ඒක හේතුවක් මේ චිත්‍රපටය බලද්දි හින්දි චිත්‍රපට මතක් වීම. මගේ සිනමා ජීවිතයට වැඩියෙන්ම බලපාලා තියෙන්නේ බටහිර චිත්‍රපට හා යුරෝපීය චිත්‍රපට.

 

චරිත ගැන කතා කළොත් කොහොමද චරිතවලට තෝරා ගැනුණේ.

මට ලොකුම ප්‍රශ්නයක් තිබුණා කාවද මේ සඳහා ගන්නේ කියලා. යොවුන් ජීවිත හරහා ජීවිතය විවර කරන චිත්‍රපටයක් නිසා දක්‍ෂ යොවුන් නළු නිළියන් තෝරා ගන්න සිද්ධ වුණා මට හේමාල් හමුවුණා ප්‍රවේගය චිත්‍රපටය හරහා, ප්‍රවේගයේ හේමාල් කරපු චරිතයට වඩා වෙනස් චරිතයක් හැබැයි මට පුළුවන් වුණා ඔහු සමඟ කතා කරලා චරිතය ගොඩනගන්න. ඒ වගේම තමයි උදාරි සහ අරුණිව මම තෝරා ගත්තේ ඔඩිෂන් තියලා. ප්‍රධාන සහය චරිතයට මම බිමල් ජයකොඩි ගත්තම ඔහු අපට ඉන්න දක්‍ෂ රංගන ශිල්පියෙක්. මම හිතනවා ඒ ඒ චරිත වලට සුදුසුම අය සහභාගි කරගන්න පුළුවන් වුණා කියලා. ඒ ගැන සතුටුයි. ප්‍රේක්‍ෂකයින්ට ඔවුන් චරිත වලට සිදු කරලා තියෙන සාර්ථකත්වය දකින්න පුළුවන්.

 

සංගීතවත් කරන්නේ අලුත්ම කෙනෙක්. අභියෝගයක් වුණේ නැද්ද?

ඔව් මේක සංගීතමය චිත්‍රපටයක් නිසා ප්‍රධාන සාධකය සංගීතය. මට ඕන වුණා මේ චිත්‍රපටයේ සංගීතයටත් යොවුන් සංගීතඥයෙක් සම්බන්ධ කර ගන්න. ඒ හරහා තමයි උදාර සමරවීර මම යොදා ගත්තේ. ඔහු ඒ කාලේ මගෙත් එක්කම වැඩ කරපු කෙනෙක්. ඉතිං ඒකත් පහසු වුණා. මේ කටයුත්තෙදි සැරින් සැරේ අපි හදපු දේ අපිම වෙනස් කරලා උඩු යටිකුරැ කරලා අලුත්ම දෙයක් කළා. මම හිතනවා ඒක ගොඩක් සාර්ථක වුණා කියලා. ඒ වගේම ලංකාවට තරැණ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් බිහිවුණා මේ චිත්‍රපටය තුළින්.

 

ආදරණීය කතාවක් ඔබේ සිව්වන නිර්මාණය. පෙර නිර්මාණ ගැන මතක් කළොත්.

මුලින්ම දැහැන චිත්‍රපටය - ඒක කළු සුදු චිත්‍රපටයක් (විද්‍යාත්මක ඇස සහ සම්ප්‍රදායික ඇස එකතු කළ චිත්‍රපටයක් දැහැන) ඊට පස්සේ මම කළා විමුක්ති. එහි අන්තර්ගතය දේශපාලනය සමාජයට බලපාන විදිය. ගමයි නගරයි අතර දකින වෙනස්කම් දකින චිත්‍රපටයක් අරැමෝසම් වැහි. 2008 ලෝකයේ හොඳම ළමා චිත්‍රපටය හිමි සම්මානය ලැබුණා එයට. හතර වැන්න තමයි ආදරණීය කතාව. ඊළඟට දේදුනු ආකාසේ.

 

චිත්‍රපටයේ නිෂ්පාදනය ගැනත් මතක් කරමු.

අනිවාර්ෙයන්ම. මාත් සමඟ මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වුණා චමින්ද ගමගේ. ඔහු අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ පුතා. ඔහු මගේ කුඩා කාලේ සිට මිත්‍රයෙක්. ඔහු මේ චිත්‍රපටය හරහා සිනමා නිෂ්පාදකවරයෙක් විදියට එනවා.

 

චිත්‍රපටයට දායක වූ සෙසු පිරිස ගැනත් මතක් කළොත්.

මේ චිත්‍රපටය සාර්ථක වුණේ මා සමඟ හිටිය පිරිස නිසා. අපේ කණ්ඩායමේ තිබුණ එකමුතුකම තමා සාර්ථකත්වයේ රහස. විශේෂයෙන්ම ඩොනල්ඩ් ජයන්ත් ගැන කියන්න ඕන. ඔහු සහය අධ්‍යක්‍ෂවරයෙක් විදියට සිනමාවට ආවේ මගේ පළමු චිත්‍රපටය වන දැහැන හරහා. මේ චිත්‍රපටය කරන්න මාව උනන්දු කළේ ඔහු. මගේ චිත්‍රපටයේ වැඩ කරපු සියලු ශිල්පීන් නිසා තමයි මෙච්චර ලස්සන චිත්‍රපටයක් කරන්න පුළුවන් වුණේ.

 

අපි ඔබේ ඊළඟ චිත්‍රපටය ගැනත් පොඩ්ඩක් කතා කරමු.

ඔව්. දේදුනු ආකාසේ චිත්‍රපටය පොදුවේ ගත්තොත් දරැවෙක් සහ මව්පියන් අතර ඇති සබඳතාවය කතා කරන පවුලේ චිත්‍රපටයක්. ෙමයත් ලාංකික ප්‍රේක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

 

අවසාන වශයෙන් අද දවසේ සිනමාව හා ෙහට දවස ගැන කිව්වොත්.

අද දවස ගැන නිර්මාණ පැත්තෙන් සතුටු විය හැකියි. දක්‍ෂ තරුණ සිනමාවේදීන් බිහිවෙමින් සිටිනවා. නමුත් ලොකුම ගැටලුව ලංකාවේ සිනමා කර්මාන්තය ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වීමයි. ඒ හරහා සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ගැටලුවක් වෙලා. ඉතිං අලුතින් සියලු දෙනා එකතුවෙලා චිත්‍රපට පෙන්වීමේ ක්‍රමවේදයක් හදන්න ඕනෑ. මේකට අනිවා‍යෙන් රජය මැදිහත් විය යුතුයි. සිනමාශාලා ඩිජිටල්කරණය කිරීම කළ යුතුයි. මේ දේවල් නොකළොත් ඉතා ඉක්මණින්ම ලාංකික සිනමාව අපට නැති වේවි. නිසි පියවරක් තවමත් නොගැනීම ගැන නම් තියෙන්නෙ දුකක්.

 

අනූ 

DESHAYA

 

2016-06-03-ent-205
2016-06-03-ent-204