රජය බිලියන 10 ක් ආපදා රක්ෂණයක් අරන්


පසුගිය අයවැයෙන් රජය ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් දක්වා රක්ෂණය කළ බවත් ජාතික රක්ෂණබාර අරමුදල රජය වෙනුවෙන් එසේ කළ බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා කොළඹ විදේශ මාධ්‍යවේදී සංගමයේ දී ප්‍රකාශ කළේය. මෙම රක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 300 ක් ගෙවා ඇති බවත් ඇමැති කීවේය. ජාතික රක්ෂණබාර අරමුදල මෙවැනි රක්ෂණයක් කළ මුල් වතාව මෙය බවත් ඔහු කීවේය. මිලියන 300 ගෙවා මිලියන 10000 ක රක්ෂණ වන්දි ලබා ගත හැකි බවත් ඒවා වැඩිපුරම ශ්‍රී ලංකාවේ අඩු ආදායම් හිමියනට ලැබෙන බවත් ඇමැති කීවේය.

පසුගිය විපත් වලින් නිවාස 25000 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් නාවස 128000 කට විවිධ මට්ටමින් හානියට පත්වී ඇති බවත් ඔහු කියයි.

 මෙම රක්ෂණය නිසා ගංවතුර හා වෙනත් ආපදා වලින් හානියට පත් ගෙවල් පිළිසකර කර ගැනීමේ වාසිය නිවාස හිමියනට ලැබෙන බව ඔහු කීවේය. හානියට පත් නිවාස හිමියන් මුලින්ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම මෙම රක්ෂණය ලබා ගැනීමේ මුල් පියවර බවද ඔහු කීවේය.  නිවාස ඉදි කර ගැනීමට පමණක් මෙම රක්ෂණය ලැබෙන අතර හානියට පත් වාහන හා වෙනත් චංචල දේපළ වෙනුවෙන් මෙම රක්ෂණය වලංගු නොවන බවත් ඔහු කීවේය.

ඔවුන් යළිත් රක්ෂණයට යා යුතු නැත. රජය ඔවුන් වෙනුවෙන් රක්ෂණයක් ලබාගෙන ඇති හෙයිනි.

ආපදාවට පත් වූ නිවස ශ්‍රී ලංකාවේ කොතැනක තිබුනත් රජයේ මෙම රක්ෂණය නිසා ඔවුනට එහි රක්ෂණ වන්දි හිමි වනු ඇත.

හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි දැයි සමහරුන් අහනවා. එවැනි දෙයක් කිරීමෙන් සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑම් සිදු වෙනවා.හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් නොකර ස්වභාවික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අපට ජගත් ආධාර ලබා ගත හැකියි.

රටේ ස්වභාවික ආපදාවක් ඇතැයි ජනාධිපතිවරයා විසින් කැරෙන ප්‍රකාශයකින් එම ප්‍රතිඵලය ලැබෙනවා.එවැනි හදිසි ස්වභාවික විපත් වලදී වහාම ආධාර කළ හැකි බව ලෝක බැංකුව අපට කීවා. ඇමරිකා ඩොලර් මිලියන 102ක ආධාර වහාම සැපයිය හැකි බව ලෝක  බැංකුව අපට කියා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයට යෑමට පෙර ශ්‍රී ලංකාව ස්වභාවික ආපදා තත්වයකට මුහුණපා ඇති බවට ප්‍රකාශයක් කරනු ඇතැයි 99.99% කින් තමාට විශ්වාස බවත් දැනටම ලෝක බැංකුව හා ජපානය ආදී රටවල් ආපසු නොගන්නා ප්‍රදානයන් කිරීමට කැමැත්ත පළ  කර ඇති බවත් මුදල් ඇමැති කීවේය.  ඩොලර් බිලියන 3 ක පමණ විපත් ආධාර එතෙරින් ලැබීමට නියමිත බවත් ඔහු කීවේය.

13239983_807279279405886_3873298383814272181_n 13256266_807279292739218_2784217348357357746_n 13260066_807279289405885_6870148094904744607_n