රට නැංවීමට නිපුණයන් අවශ්‍ය ඇයි?


2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අතිශය සංකීර්ණ පසුබිමක පසුවන අවස්ථාවක පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ ප්‍රතිඵලය ඉතා තීරණාත්මකය. මෑත කාලය තුළ මහ මැතිවරණවලදී ජනතාව ආණ්ඩු ගණනාවක් අත්හදා බලා තිබේ. පක්ෂ මාරු කර ඒවායේ ප්‍රතිඵල අත්විඳ ඇත. දේශපාලන නායකයන් බලයට පැමිණීම සඳහා වරින් වර කියන ප්‍රකාශ ජනතාව විශ්වාස කර ඇති අතර එහි කේන්ද්‍රීය දෘෂ්ටිවාදයක් නැති බව ඔප්පු වී තිබේ. බොහෝවිට පටු අරමුණු පමණකි. දර්ශනයක් ඉදිරිපත් නොකෙරේ. බලය ලැබුණොත් වැඩ කරන හැටි අපි පෙන්නන්නම් යන ලේබලය අලවාගෙන සිටී. එය සාර්ථක එකක් නොවේ. මැතිවරණය එනවිට පරණ ලේබලය අලුතින් ඇලවෙන අතර අන්තිමේ දී ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන පරිවර්තනයක් සිදුවෙන්නේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තද පාක්ෂිකයන් හැර මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඈත්වෙමින් සිටී.  

පවතින ක්‍රමය අපට අනන්‍ය එකක් නොවේ. ලංකාව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීහු ව්‍යවස්ථාවක් හදා දේශපාලන ක්‍රමයක් ඇති කළහ. බලය බාරදුන්නේ එක්තරා පැලැන්තියකටය. බටහිර න්‍යාය අනුව සකස් වූ ව්‍යුහය බිඳ අලුත් රාමුවක් හදන වුවමනාව මුල් කාලයේ සිට නායකයන් තුළ නොතිබුණා නොවේ. ව්‍යවස්ථා සංශෝධන යනාදියෙන් බලය ලබා ගැනීමට මාවත නඩත්තු කරගැනීම හැර සමස්ත ව්‍යුහයේ නිර්මාණයක් කිරීමට අසමත් වී ඇත. එක හා සමාන කාලයේ නිදහස දිනා ගත් ඉන්දියාව පාලනය කරන්නේ ලෝක් සභාවයි. පාර්ලිමේන්තුව යන බ්‍රිතාන්‍ය ව්‍යවහාරය පවා පැත්තකට කර තිබේ. ප්‍රශ්න දෙස පුළුල්ව දැකිය හැකි සෙනෙට් මණ්ඩලයක් සිටින අතර රාජ්‍ය සභාව වශයෙන් හඳුන්වයි. පිටස්තර ආකෘතියෙන් ගැලවෙන්නට වෑයම් කරන ලද තරම ගැන උදාහරණයකි.

දේශපාලනය හා පැලැන්ති ප්‍රශ්නය

ලංකාවට නිදහස ලබාදෙන අධිරාජ්‍යවාදීහු එතැන් සිට ඉදිරියට රට ගෙන යන පැලැන්තියක් ද නිර්මාණය කළහ. බටහිර සංස්කෘතිය ඉහළින් තකන වැඩි දෙනකු එහි අධ්‍යාපනය ලැබූ සහ ආකල්ප අතින් එකී ක්‍රමය තවදුරටත් ආරක්ෂා කරන්නට එම පැලැන්තිය ක්‍රියා කළේය. නිදහස ලැබූ පරම්පරාවෙන් එන රදල පැලැන්තියේ නියෝජිතයෝ අදටත් එය එසේ කරති. ධනේෂ්වරයට අභියෝග කළ, වාමාංශික කඳවුර පවා බටහිර අධ්‍යාපනයෙන් පෝෂණය වී මෙරටට පැමිණියෝ වූහ. දුප්පත් ජනතාවගේ කුසට යමක් දී ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත්වීම සාමාන්‍ය භාවිතාව බවට පත්කරගෙන තිබුණි. අදටත් එය නොවෙනස්ය. දුප්පත්කම ගැන පෙන්වා ජනතාවට සහන පොරොන්දු දෙන දේශපාලනඥයෝ බලය ලබාගැනීමෙන් පසු රටක් හදන්නට විශේෂයෙන් වැර නොරදති.

මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. රටට ගැළපෙන, ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන දේශපාලන ක්‍රමවේදයක් රටට අවශ්‍යය. බලයට පත් ඇතැම් නායකයෝ සමහර අවස්ථාවල විකල්ප වැඩපිළිවෙළ ආරම්භ කර පැලැන්ති අභිබවන්නට මහත් වෑයමක් ගත් නමුත් අද වන තෙක් සම්පූර්ණ ජයග්‍රහණයක් අත් කරගෙන නැත. රට ගැන කැක්කුමක් ඇති නායකයෝ කිහිප දෙනෙක් රදල පැලැන්තියට අභිබවා බලයට පත් වී සිටිති. දේශපාලනයේ පවතින කටුක, අමිහිරි ස්වභාවය අවසානයේ දී බලවත් පරිවර්තනයක් කරන්නට අසමත් වූහ. අනාගතය නගා සිටුවන පුළුල් දර්ශනයක් ඉදිරිපත් කර ඉදිරියට ගෙන යන ගමනේ දී, පටු දේශපාලන උගුල්වලට හසු වූ අතර ප්‍රතිපත්ති දේශපාලනය වෙනුවට බලය රැකගැනීමේ ප්‍රවණතාවට නැඹුරු වූ බව දැක්විය යුතුය.

යථාර්ථය හුවා දක්වන ලෝක බලවතුන්ගේ අර්බුද

සම්ප්‍රදායට පිටින් බලය ගන්නට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්විය. දුප්පත් සුදු ජාතිකයන්ට අවස්ථා අහිමිවීම ගැන හුවා දක්වා කණ්ඩායම් අතර විශාල වෛරයක් ඇති කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ගමන අසාර්ථක බව දැන් ඔප්පු වී තිබේ. අසත්‍ය කරුණු ආවේගයෙන් කියා වෛරය ඇතිකරන, මතවාදී අරගලය වෙනුවට දුෂ්ට අදහස් ඡන්ද වේදිකාවේ දී පතුරවන හා රාක්ෂයන් මවා පෙන්වා මනාපය වැඩි කරගන්නට හදන මෙරට ඇතැම් දේශපාලනඥයන් ද ගිනි ඇවිලුවොත් නිවන්නට බැරිවන බව තේරුම් ගත යුතුය.

යුරෝපා හවුල ගැන අසත්‍ය පැතිරවීමෙන් බ්‍රිතාන්‍යයේ මෙම පීඩනය මතු විය. බ්‍රික්සිට් යෝජනාව සම්මත කරගැනීම දක්වා යන විශාල කැළඹීමක් එරට ඇති වූ අතර ආණ්ඩු කිහිපයක් එහා මෙහා වීමෙන් පසු අගමැති බොරිස් ජොන්සන් පවා අලුතින් ඇති වූ ව්‍යුහය පාලනය කරගන්නට අසමත් වී තිබේ. ජන මනස විකෘති කිරීමෙන් සිදුවී ඇති විනාශය ගැන හොඳ තක්සේරුවක් මේවායෙන් ලබාගත හැකිය.

රටක් වෙනස් කරන්නට කැළඹීමක් අවශ්‍යය. තිබෙන රාමුව බිඳ අලුත් යමක් නිර්මාණය කළ යුතුය. එහෙත් ජනතාව අතර වෛරය හා භීතිය ජනිත කිරීමෙන් නොවේ. ජනතාව තේරුම් ගෙන, ජනතාවට කරුණු වටහා දී ඔවුන්ගේ කැමැත්ත ඇතිවය. ප්‍රජාතන්ත්‍රවාදයේ උසස් ගුණාංග ඒවාය. ශ්‍රී ලංකාවේ ද විශාල පෙරැළි සිදුවිය. රට තුළ බලය හුවමාරු වූ පැලැන්ති අභිබවා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් විය. මහත් ධෛර්යයකින් ක්‍රියා කළ ආර්. ප්‍රේමදාස මහතා එතුමාට කලින් ජනාධිපති ධුරයට පත් වූ අතර එම අවස්ථාව ද, වරප්‍රසාද නොලත් පැලැන්තියේ නියෝජනයක් බව දැක්විය යුතුය. අභ්‍යන්තරයෙන් හා ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනයට ගොදුරු වූ හෙතෙම අරමුණු සාක්ෂාත් කරගත නොහැකි වූ අවසානයක් කරා ගියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන ක්‍රමය තුළ ආවේනික ශෛලියක් තිබුණි. බලවත්ව නැගී ආ ත්‍රස්තවාදය මැඩපැවැත්වීය. ජාත්‍යන්තර පීඩනය නොතකා තීරණ ගත් බව පෙන්වාදීම අවශ්‍යය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු මහත් ජනතා ප්‍රසාදයක් දිනාගත් නමුත් අලුත් ශ්‍රී ලංකාවක් හදන දර්ශනය ජනගත කරන්නට අසමත්විය. එයට හේතු වූයේ කුමක්ද? බලය ලබාගන්නා ප්‍රතිභාව පවතින නමුත් ජනතා අභිලාශය සාක්ෂාත් කරන පුළුල් ඉදිරි දැක්මක් නොතිබීමය. සියලු ජන කොටස් එකතු කර අනන්‍ය ශ්‍රී ලාංකේය අවකාශයක් හදන පියවර නොගැනීමය. කෙසේ නමුත් අසමාන දේශපාලන චරිතයක් වශයෙන් ඔහු මෙරට ඉතිහාසයේ ලියැවෙනු නිසැකය.

උගත් පාඩම් අමතක නොකිරීම වැදගත්ය

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රසාදය අනුව ඔහු පරාජය කිරීම පහසු නැති බව තේරුම් ගෙන සිටි වරප්‍රසාද ලත් පැලැන්තිය තමන්ට නැවත බලය ගැනීම සඳහා තෝරා ගත්තේ එම පැලැන්තියේම නියෝජනයක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. යුද වීරයකු වශයෙන් ඉහළින් සිටි සරත් ෆොන්සේකා අසමත්වීම පාඩමක් වශයෙන් උගත් ඔවුහු ජනතාව නැවත තමන්ගේ පැත්තට දිනා ගත්තෝය. එයින් නතර නොවූ අතර නැවත අභියෝගයක් වෙන්නට ඉඩ නොදෙන සේ ව්‍යවස්ථාව ද සංශෝධනය කළේය. ක්‍රමය ආපසු හරවන සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනය කළ නොහැකි වූ විට ඇතැම් කොටස් පමණක් වෙනස් කළ අතර බලතල අඩු, කාලසීමාව කපා හැරි පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති පදවිය එයින් ඇති වූ විකෘතියෙහි ප්‍රතිඵලයකි.

මෙම පසුබිම මැනැවින් තේරුම් ගත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කරන තීන්දුව ගත්තේය. මධ්‍යස්ථ ජනතාව ඔහු ගැන වැඩි බලාපොරොත්තු තැබීය. රාජපක්ෂ පවුල නියෝජනය කරන නමුත් පක්ෂ දේශපාලනයට බර නැති අධිෂ්ඨානශීලී චරිතයක් බව වටහාගෙන ඇත. රට තුළ විනයක් ඇති කරන නොඉවසිල්ලක් ඇත. ස්වදේශික මුහුණුවරක් සහිත තාක්ෂණික යුගයක් ඇති කිරීම වුවමනා වී තිබේ. සංවර්ධනය වේගවත් කරන අතර ජාත්‍යන්තරය සමග සබඳතා තරකරගනිමින් යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරන අධ්‍යාශයක නිරතය. එහෙත් මෙම සියල්ල පහසු නැත. ඔහු ක්‍රියාත්මක වෙන්නේ පවතින දේශපාලන සංස්කෘතිය තුළය. ජරාජීර්ණ වී තිබෙන එහි ඔහුට පය තබාගෙන ඉන්නට තැනක් නැත. ක්‍රමය වෙනස් කරන්නට සමත් ශක්තිමත් කණ්ඩායමක හිඟයක් ජනාධිපතිවරයාට තිබේ. එළැඹෙන ඡන්දයෙන් පසු බලයට පත්වන ආණ්ඩුව එයට ඉඩදෙන්නේ දැයි සැක සහිතය. ගෝඨාභයගේ බලයට පැමිණීම හා ඉතිහාසයේ සනිටුහන් වෙන අන්දම ගැන අවධානය ඇතිව රටට වැඩ කරන තීරණ ගැනීම ඔහුගේ වගකීමකි.

ජනාධිපතිවරයාගේ ධුර කාලයේ පළමු අවස්ථාවේදීම ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට සිදුවී තිබේ. ජන සමාජය හා ආර්ථිකය ඉතා ප්‍රබල කම්පනයකට පත්ව ඇත. වසංගතය පාලනය කිරීම සඳහා හෙතෙම වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ පළපුරුදු තාක්ෂණික භාවිතාව උපයෝගී කරගත්තේය. දේශපාලනඥයන් පැත්තකින් තැබීය. කොරෝනාවලින් පසු ආර්ථික ජයග්‍රහණ සඳහා ද විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යය. විශේෂඥයන්ගේ තීරණ අනුව ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තීරණ ගත යුතුව තිබේ. ආර්ථිකය ගැන තීරණය කිරීම එහි නිපුණ පිරිසට භාර දිය යුතුය. පපුව පෙන්නා අභියෝග කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් ලැබූ රටවල් ලෝකයේ නැත. බිය ඇති කර මිථ්‍යාව පතුරවා ආර්ථික තීරණ අඩාළ කළහොත් විනාශය ඉක්මන් වන අනතුරක් තිබේ.  

ජන වරම ඇති නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ තීරණ ගැනීම පහසු නැත. රට තුළ දැනට පවතින ආයෝජන ශක්තිය දුර්වලය. ජාති, ආගම් හා දේශපාලන බෙදීම්වලින් අස්ථාවර භාවයක් ඇති වී තිබේ. ස්ථිර, සාරවත් විකල්පයක් ඇතිකරන්නට අසමත් වුවහොත් ජන සමාජය නැවතත් ආපසු හැරෙන්නට බැරි නැත.

මැද පන්තියේ ආකල්ප හඳුනා ගැනීම වැදගත්ය

ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය තුනී වී තිබේ. මැද පන්තියක් හැදී ඇත. ප්‍රධාන නගර වටා අර්ධ නාගරික මැද පන්තියක් බිහි වී ඇති අතර තමන්ගේ දරුවන්ට ජීවත්වන්නට ඉඩ තිබෙන හොඳම රටක් හැදීම ඔවුන්ගේ අභිලාශයයි. මෙම වතාවේ අසමත්වුවහොත් නැවත අවස්ථාවක් නොලැබෙනු ඇති බව තේරුම් ගෙන තිබේ. බලයට පත් වූ ආණ්ඩු ඇතුළු සියලු දේශපාලන පක්ෂ එයට වගකිව යුතුය. හැකියාවක් ඇති සෑම පුරවැසියකුම තමන්ගේ දරුවන් වෙනත් රටකට යවා එහි පදිංචි කරවන උත්සාහයක සිටී. මැද පන්තියේ ප්‍රසාරණය හා එම ජන කොටසගේ අරමුණු සාක්ෂාත් කළ නොහැකි වුවහොත් එහි අවසානය බලවත් ඛේදවාචකයකි. ඉතිහාසය තුළ රට තුළ ඇති වූ කැරළි, සන්නද්ධ අරගල හා ත්‍රස්තවාදය අපට පෙන්වා දෙන කරුණු අධ්‍යයනය කළ යුතුය. අරගලය කළ පිරිසට පවතින ව්‍යුහය වෙනස් කරන්නට තද වුවමනාවක් තිබුණි. පරිවර්තනයක් අවශ්‍ය බව කියන තරුණ ජවය මර්දනය එකම උත්තරය වී ඇත. ක්‍රමය වෙනස් කර, උසස් රටක් හදන වෑයමක නිරත වූ මෙරට ජනකාමීන්ගේ රුධිරයෙන් මහ පොළව තෙත් වී තිබේ. කොතැන, කවර ආකාරයක නම් කරන ලද නමුත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ අහිමිවීමෙන් ඉතිරි වූ රටකි. නොවිසඳුනු, එසේම බලවත්ව කැකෑරෙන අභිලාශයක් සෑම හදවතක් අභ්‍යන්තරයේම පවතින බව තේරුම් ගත යුතුය.

ඊළඟ මහ මැතිවරණයේ ප්‍රතිඵල ජනාධිපතිවරයාගේ ගමන ශක්තිමත් කරනු ඇත. සාර්ථක ආරම්භයකට ද්වාරයක් විවර විය හැකිය. බලය එකම අරමුණ කරගත් පටු දේශපාලනඥයන් කණ්ඩායමක ග්‍රහණයට නතුවුවහොත් සම්ප්‍රදායික පැලැන්තියට නැවත, රට අත්පත් වන දිනය ඉක්මන් වනු නිසැකය. ජනතා තීරණය අනුව කඳවුර වෙනස් කරන ඉඩකඩ තිබේ. මොහොතින් මොහොත කාලය ගත වන බව බලයට පත්වන නායකයන් දැනගත යුතුය. දේශපාලනඥයන්ට පමණක් වගකීම පැවැරිය යුතු නැත. සමාජ නායකයන් අලුතින් හිතන්නට අවශ්‍යය. ආගමික නායකයන්ට බලවත් වගකීමක් තිබේ. පටු වාද බේදවලින් භින්න වූ සමාජය විශාල ආගාධයක් අභිමුවෙහිය. ජනමාධ්‍ය ප්‍රධානීන්, උගත් ක්‍රියාධරයන් සහ අලුතින් දෙයක් කරන්නට අභිලාශයක් ඇති සියලුම දෙනා අනාගතයේ ඇතිවිය හැකි අවදානම තුරන් කරන පියවරකට අවතීර්ණ විය යුතුව තිබේ. එහි ලා තද අධිෂ්ඨානයකින් සහ පෞද්ගලික ලාබ කැපකරමින් ඉදිරියට එන්නට අවශ්‍යය. තමන්ට ලැබෙන කොටස නොව ඉදිරි පරම්පරාවට ජාත්‍යන්තරයෙන් උදුරා ගත හැකි කොටස ගැන සිතීම අවශ්‍යය. ශ්‍රී ලංකාවට උරුමයක් තිබුණි. එහි උල්පත මෙරට ජාතික සංස්කෘතික ප්‍රවාහයේ ආත්ම ශක්තියයි. නැවත නොලැබෙන්නට ඉඩ ඇති අවස්ථාවක් අභිමුවෙහි වහා එකමුතුව කටයුතු කරන්නට අවශ්‍ය වී තිබේ.

වැරැදි අනුන්ට පවරන්නේ නැති සමාජයක්

බලය අතට ගත් පසු, අලුත් යුගයක් හදන වගකීම වහාම අමතක කර දමන සිරිතක් තිබේ. රදල පැලැන්තිය පරාජය කර, වරප්‍රසාද නොලත් පාර්ශ්ව බලයට පත් අවස්ථාවල පවා එය පොදු ගුණාංගයකි. ජනතාවගේ අරමුණ හොඳ ජීවන මට්ටමකි. තනතුරුවල සුඛවිහරණයෙහි යෙදෙන දේශපාලනඥයන් බලය ආරක්ෂා කරගැනීමට තැත් දරන අතර ව්‍යවස්ථාව වෙනස් කර තවදුරටත් බලය ගන්නා අරමුණ රහිතව වැඩ කළ කිසිම ආණ්ඩුවක් මෙරට නැත. ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් රටට ලබා දුන් යහපත් අවස්ථා නොමැති තරම් සීමිතය. ආණ්ඩු හැදීම, දිගටම බලය ආරක්ෂා කරගැනීම, විපක්ෂය කඩා කොටසක් තමන්ට ගැනීම හා සුළු පක්ෂ දියකර යනාදී වශයෙන් උපායෙහි හැසිරෙති. එය දේශපාලනඥයා හා රටවැසියා අතර දුරස්ථභාවයේ ප්‍රතිඵලයකි. ආණ්ඩු පත් කිරීමෙන් පසු තද පාක්ෂිකයන් හැර සාමාන්‍ය ජනතාව දේශපාලනඥයාගෙන් පැත්තකට වන අතර පසුවිපරම හෝ මහජන නියෝජිතයාට බල කරන ස්වභාවයෙන් වැළකෙයි. එය වරදකි. ඉතිහාසය තුළ සිදුවූ වැරදි අප සියලු දෙනාගේ අතපසුවීම්ය. වගකීම නායකයන්ට පවරා තමන්ගේ යුතුකම අමතක කර තිබේ. ආත්මාර්ථකාමී බහුතරයක් සිටින සමාජයක් හැදී ඇත.

බලයට පත් කරන නායකයන් වැඩ කරන්නටත් කලින් අප්‍රසාදයට පත්වන අතර අලුත් යෝජනාවක් ගෙන එන විට බරපතළ සේ විවේචන කරයි. අඩුම තරමින් විකල්පය කුමක් දැයි පෙන්වා දෙන්නේ නැත. පළාත් සභා ක්‍රමය ගැන රටට ප්‍රශ්න තිබේ. ජාතික ආදායම නංවාගැනීමට පියවර ගත යුතුය. මෙරට කෘෂි අංශයෙහි නිරත ශ්‍රම බළකාය සමස්තයෙන් සියයට විසිපහක් නමුත් දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය සියයට හතකි. සියයට පහළොවක් පමණ වන රජයේ සේවය නිසි උත්පාදනයක් නොකරයි. මෙම අංශවලින් සමාජය අකර්මණ්‍ය වී ඇත. මේවා වෙනස් නොකළහොත් පැවැත්මක් නැත. දේශපාලනය පටු අදහස්වලින් හිර වී සිටී. සමාජය ගතානුගතික ආකල්පවලින් යුක්තය. නිවහල් වන සූදානමක් නැත. සැකය හා අවිනිශ්චිතභාවය බහුලව තිබේ. මේවායෙන් දුරස්ථ වූ අවස්ථාවක අලුත් ශ්‍රී ලංකාවක් හදන්නට අවස්ථාව ලැබේ. ඉදිරි මහ මැතිවරණය මෙම පැති ගැන විමසා ජනහිතකාමී මහජන නියෝජනයක් පත් කරගැනීමට ඇති එක දොරටුවකි.  

ඔබගේ අදහස් හෝ යෝජනා [email protected] වෙත යොමු කරන්නට කාරුණික වන්නේ නම් මැනවි.

මිලින්ද මොරගොඩ විසිනි