රසිකත්වය වෙනස් : හැම වර්ගයකම ගී තියෙන්න ඕනෑ


2016-08-19-ent-15

ගීතයක් යනු ශබ්ද රසය සේම අර්ථ රසය ද පිරුණු මනරම් නිර්මාණයකි. එහෙත් අද වැඩිපුරම ඇසෙන්නේ සංගීතය මැදට කිසිම සාහිත්‍යමය ගුණයක් නොමැති වචන යෙදූ මෙලෝරහක් නොමැති ගීතය. සමහරු කියන්නේ වාක්‍ය රචනාවලට සංගීතය මුසුකර ගයන ගැයුම් කියාය.

කෙසේ හෝ වේවා මේ ගැන කතා කරන්නට අපි විශාරද එඞ්වඞ් ජයකොඩිට ඇරියුම් කළෙමු.

 

සුභාවිත ගීතය අද අභාවිත වෙලා කියන කාරණය ඔබ පිළිගන්නවාද?

2016-08-19-ent-14සුභාවිත ගීතය අභාවිත වුණේ අද විතරක් නෙමෙයි අතීතයේදීත් එයට බොහෝ විට පීඩා එල්ල වුණා. කාලෙන් කාලෙට මතුවන විවිධ රැුලිවලින් සුභාවිත ගීතය පීඩාවට පත්වුණා. හැබැයි ඒ බාධක කොච්චර තිබුණත් සුභාවිත ගීතයට ආදරය කරන රසිකයෝ ඉතුරු වුණා. ඔවුන් දිවි හිමියෙන් මේ සුභාවිත ගීතය රැක ගැනීමට වෙහෙස වුණා.

 

ඔබ සංගීත ලෝකයට එක්වුණේ හැත්තෑව දශකයේ දී. මේ කාලෙදිත් සුභාවිත ගීතයට එරෙහි වූ රැළි මතුවුණාද?

ඔය කියන කාලේ තිබුණෙ ගුවන් විදුලි සංස්ථාව විතරයි. ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වුණේ ඉන් අනුමත වූ ගී විතරයි. පද මාලාව වගේම සංගීත නිර්මාණයත් ගායන කුසලතාවත් කියන හැම දෙයක්ම ගුවන් විදුලියේදී පරීක්ෂාවට ලක්වුණා. විශිෂ්ට නිර්මාණයක් නොවේනම් ඒ ගීතය ගුවන්විදුලියෙන් ප‍්‍රචාරය වුණේ නෑ. ඒ නිසා ඒ කාලේ ගුවන්විදුලි සරල ගී විශිෂ්ටතම සුභාවිත ගී බවට පත්වුණා.

 

එහෙනම් ඔබ මොකද කිව්වෙ හැම යුගයකදීම සුභාවිත ගීතයට එරෙහිව රැලි මතුවුණා කියලා.?

පස්සෙ කාලෙක කැසට්පට නිර්මාණය වුණානෙ. මේ කැසට් පටවලට ආ ගීතවලින් සමහරක් සුභාවිත මට්ටමට ආවේ නැහැ. ඒ වගේම තමයි එළිමහන් ප‍්‍රසංග. මේවයේ ගැයුනෙත් සුභාවිත ගී නෙමේ. කොල්ලන්ට නටන්න පුළුවන් සිංදු. මේවා අවරගණයේ නිර්මාණ කිව්වට කමක් නැහැ. හැබැයි මම නම් කියන්නෙ මේ අවර ගණයේ ගීතත් තිබිය යුතුයි කියලයි.

 

සුභාවිත ගී ගයන ශිල්පියකු හැටියට ඔබට එසේ කීමට පුළුවන්ද?

ඇයි බැරි... මම වුණත් අදටත් බයිලා අහනවා වේග රිද්ම ගීත අහනවා. අනෙක් කාරණය තමා රසිකයන්ගේ රුචිකත්වය පරස්පරයි. මම නම් කියන්නෙ රසිකයා, මොකක් හෝ ගීතයක් ළඟ නතරවුණාට කමක් නැ කියලා. ඔහුගේ රසිකත්වය වැඩිවෙන කොට ඔහුත් මේ සුභාවිත ගීතයට ප‍්‍රියකරන්න පටන් ගනියි. ඒකට හොඳම උදාහරණය හම්බවෙන්නෙ පිටරටවලින්. අපි එතෙර ප‍්‍රසංගවලට ගියාම හමුවන රසිකයෝ සුභාවිත ගීතයට ඇලූම් කරනවා. නමුත් ඔවුන් ලංකාවේදී ඇලූම් කළේ අවරගණයේ නිර්මාණවලට බවයි ඔවුන් කියන්නෙ.

 

නමුත් අද ඇහෙන ගීත ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට සාහිත්‍යයෙන් ඈත්වෙලා. අද සිංදු කියන්නෙ වාක්‍ය රචනාවලට තනු දාලා ගායනා කරන නිර්මාණ විශේෂයක් බවට පත්වෙලා.

 ඒකෙ නම් වැරැද්ද වර්තමාන නාලිකාවල. ඔය කියන වර්ගයෙ සිංදු ඉවක් බවක් නැතුව වාදනය කරන්නෙ නාලිකාවලින්. ඔවුන් හදන්නෙ මොනවාහරි සිංදු වාදනය කරලා තමන්ගෙ නාලිකාව ජනප‍්‍රිය කරගන්නයි.

 

මේ විනාශය නතර කරන්න සුභාවිත ගී ගයන ශිල්පියකු විදිහට එඞ්වඞ් ජයකොඩි මොකද කරන්නේ?

මම සුභාවිත ගීත රැගත් මාරම්බරී ප‍්‍රසංගය කරනවා. මේ වන විට ඒ ප‍්‍රසංගය තියෙන්නේ ශතකය අබියස.

 

ශතකය පිරෙන්නෙ කවදටද?

මේ විසිහය වෙනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදීත් සැප්තැම්බරයෙදී ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රසංග හයක් කළාට පස්සෙ ශතකයට තිියන්නෙ තව ප‍්‍රසංග දෙක තුනක් විතරයි.

 

මාරම්බරී වගේ ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන්න ඔබට හිතුනේ ඇයි?

හැත්තෑව දශකයේදී මම වික්ටර් රත්නායක මහත්තයාගේ ‘ස ප‍්‍රසංගයෙ’ වගේම අමරදේව සර්ගෙ ශ‍්‍රවණ රමණි ප‍්‍රසංගයෙත් අත්වැල් ගායනා කළා. මේ නිසා මම දහස් වතාවක් විතර මේ ප‍්‍රසංග රසවිඳින්න ඇති. ඒ වගේම සනත් නන්දසිරි සර්ගේ ස්වර්ණ කුණ්ඩල, නන්දා මාලිනි මහත්මියගේ සත්‍යයේ ගීතය, පවන වගේ ප‍්‍රසංග දයාරත්න, අමරා රණතුංග යුවළගේ ඒක පුද්ගල ප‍්‍රසංග පිස්සුවෙන් වගේ බලලා තියෙනවා. ඔන්න ඔය අත්දැකීම් ඔස්සෙ තමයි මම මාරම්බරී ආරම්භ කළේ.

 

මාරම්බරී පවුලේ ප‍්‍රසංගයක්?

ඔව්. චරිතා ප‍්‍රියදර්ශනී වගේම ශාරන්‍යා ජයකොඩිත් යුග ගායනාවලට එකතුවෙනවා. සංගීතය සුසිල් අමරසිංහගෙ කථනය වසන්ත රෝහණගෙ.

 

මාරම්බරී අනිත් ඒක පුද්ගල ප‍්‍රසංගවලට වඩා වෙනස්, එහෙම නේද?

මේ ප‍්‍රසංගයෙ තියෙන සුවිශේෂම අංගය තමයි ළමා ගී ඇතුළත් කොටස. ඕනෑම ප‍්‍රසංගයක්, ළමයි සීයක්වත් බලනවා.

 

ඔබ ප‍්‍රසංගයට ගීත තෝරා ගැනීම කළේ මොන විදිහටද?

මාරම්බරී ගීත ප‍්‍රසංගය රටින් රටට ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙනවා. කොටින්ම කිව්වොත් මේ ප‍්‍රසංගයට ගීත තෝරා ගැනීම මට බරපතළ ප‍්‍රශ්නයක්.

 

මාරම්බරී කියන්නෙ පරණ ගීතවලින්ම යැපෙන ප‍්‍රසංගයක්. සුභාවිත ගීතය වෙනුවෙන් ඔබ අලූතින් ගීතයක් ගායනා කළ කාලයක්වත් මතක නෑ නේද?

මොකද නැත්තෙ? මම මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි අලූත් ගීත හයක් විතර ගායනා කළා. කුස පබා, මගේ යාළු මාළු, සරිගම චිත‍්‍රපටවල වගේම ටෙලිනාට්‍ය තේමා ගීත ගායනා කළා.

 

නමුත් ඔය කියන ගී එකක්වත් රේඩියෝ එකකවත් ඇහුනේ නැහැ.

යූ ටියුබ් එකෙන් බලන්න. අද රේඩියෝවල ප‍්‍රචාරය වෙන්නෙ නම් අපි ගයපු පැරැණි ගී විතරයි.

 

ශාන්ත කුමාර විතාන / ඡායාරූප සඳුන් ගමගේ 

 

2016-08-19-ent-16