සංගීතවේදී දර්ශන වික්‍රමතුංග
මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ ප්‍රශස්තතම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත) සඳහා "පුංචි පුටුව" ගීතය වෙනුවෙන් සම්මාන ලැබුවේ, දර්ශන වික්‍රමතුංගයන්ය. මෙහි දැක්වෙනුයේ සම්මාන උලෙළෙන් පසුව එහි ඉදිරි ගමන්මග පිළිබඳව ඔහුගේ අදහස් ගොන්නකි.
සම්මාන උලෙළෙන් පසු
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ මේ වනවිට පස් වතාවක්ම පැවැත්වුණානෙ. මේ පස්වතාව ඇතුළේ ප්‍රශස්තම නිර්මාණ වන ප්‍රශස්තම ගේයපද රචකයා ප්‍රශස්තතම ගායකයා, ප්‍රශස්තතම නැගී සිටින ගායකයා, ගායිකාව, ළමා ගායකයා, ළමා ගේයපද රචකයා, යන සියලු ඉසව්වලින් හොඳම පිරිස අපි හඳුනා ගන්නවා. පස්වතාවක් එහෙම තෝරගෙන තිබෙනවා. නමුත් යම් හේතුවකින් මේවා සමාජගත වෙලා නෑ. සම්මාන උලෙළ පවත්වන්න යම්කිසි අරමුණක් තිබෙනවනේ. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න වක්‍රව ක්‍රියාපටිපාටියට අමතරව කළයුතු කාරණා කිහිපයක් අපට යෝජනා කළ හැකියි. නිදසුනක් විදියට රාජ්‍ය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආදියට සහසම්බන්ධතාවක් ඇති කරලීම පෙන්වා දිය හැකියි. උදාහරණයක් විදියට මෙම ගීත ගැන ලියන්නට පුවත්පත් භාවිත කළ හැකියි. මුද්‍රිත මාධ්‍යයට කරන්න පුළුවන් නමුත් එක පුවත්පතකින්වත් මේ තොරතුරු හොයාගෙන ගිහින් නිර්මාණ මොනවාදැයි සොයන්න කිසිදු වැඩපිළිවෙළක් නෑ. සංස්කෘතික අමාත්‍යාංශයේ වරදක් නොවුනට මෙහි සහසම්බන්ධයක් ඇති කරන්න පුළුවන්. අනික තමයි ජාතික රූපවාහිනිය. සංස්කෘතියක දෙපාර්තමේන්තුව සෙසු රාජ්‍ය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා අත්වැල් බැඳගෙන මේ ප්‍රශස්ත නිර්මාණ සමාජගත කරන්න කටයුතු කරන්නේ නම් සම්මාන උලෙළහි මූලික අරමුණු සාක්ෂාත් කරගන්න පහසු වෙනවා. ඒ සම්බන්ධව කටයුතු කරන්න කියලා අපි රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
නිර්මාණ දෘශ්‍යකරණය
හැම අවුරුද්දකම ප්‍රශස්තතම නිර්මාණ හඳුනගන්නවා. ඒ නිර්මාණ දෘශ්‍යකරණය (රූපරචනය) කරන්න රූපවාහිනිය වගේ තැනක බොහොම අඩු වියදමකින් කරන්න පුළුවන්. මේ ප්‍රශස්ත නිර්මාණ තෝරාගෙන රූපරචනය කරලා සමාජගත කරන්න ප්‍රමුඛතාවක් අන්තර්ගත වෙනවනේ. හැම අවුරුද්දකම මොනවහරි ගීතයක් නිර්මාණය කරනවා ඇතිනේ. එනිසා ප්‍රශස්තතම නිර්මාණ ගෙනයාම රාජ්‍ය මාධ්‍යවලට පවරන්න ඕනේ. එය කළහැකි ක්‍රමවේදයක් පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමක් කළ යුතුයි. සංස්කෘතික අමාත්‍යාංශය සහ රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලිය හා ලේක්හවුස් අයිටීඑන් ලක්හඬ යන මාධ්‍ය ඒකාබද්ධව එම නිර්මාණ සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් හැදුවොත් අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එවිට රාජ්‍ය සංගීත සම්මාන උලෙළ වඩාත් ප්‍රශස්ත වූවක් බවට පත්කළ හැකියි. මේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි මේවා අතර සහසම්බන්ධතාවක් ඇති කළ යුතුයි. මෙය රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකරනවා නම් මුදල් වැයවෙන්නෙ නෑ. එය තමයි ප්‍රධානතම කාරණාව
සාමූහික ප්‍රයත්නය
මෙවර අපි සාමූහිකත්වයක් දරල තමයි මේ තරම් දුර ආවෙ. එකට වැඩ කරන පිරිසක් එක් කරගෙන ගීත රචකයො විදියට ගත්තොත් අසංක රුවන් සාගර, සුගත් සෝමවීර, ශාමිලා හුසේන්, නයනසේන වන්නිනායක, බණ්ඩාර බෙලිකැටිමුල්ල, රවී සිරිවර්ධන, කෞශික ගයාන් යන අය මෙන්ම ගායක ගායිකාවන් හර්ෂණ දිසානායක, ශානිකා සුමනසේකර, ලක්ෂණා ලක්මිණී, ශෂිකා නිසංසලා, සමන් ලෙනින් යන සියලු දෙනා මෙවර සම්මාන උලෙළේ නිර්දේශ වුණා සහ සම්මාන හිමිකර ගත්තා. "පුංචි පුටුව" ගීය ගැයූ විදුෂා නේත්‍රාංජලී දියණියත් ප්‍රශස්තතම ළමා ගායිකාව ලෙස නිර්දේශ වුණා. එමෙන්ම ප්‍රශස්තතම ගායකයා වුණේ හර්ෂණ.
එය ලොකු සතුටක්. සාමූහිකව යන ගමනෙදි තව ගොඩක් පිරිසක් මෙවැනි ප්‍රයත්න දරනවැති. නමුත් අපි අවට සිටි පිරිසක ඇගයීමක් ලැබීම ලොකු සතුටක්. එහිදී මගේ නිර්මාණ විදියට ගත්තොත් අසංක රුවන් සාගරට ප්‍රශස්තතම ගේය පද රචනාවට සම්මාන හිමිවුණේ මා විසින් නිර්මාණය කළ "නාගසිංහම්" ගීතය සහ ප්‍රශස්තතම ගායකයාට සම්මාන දිනූ %සරස්වතී අභිනන්දන^ ගීතයත් මවිසින් සංගීතවත් කළ ගීතයක්. එය රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හිමියෝ. එමෙන්ම ප්‍රශස්තතම ගායිකාව විදියට ශෂිකා නිසංසලාගේ සම්මානය හිමිකරගත් "සුනිල නෙත් පොකුණේ" ගීතය රචනා කළේ සුගත් සෝමවීරයි. රවී සිරිවර්ධන සොයුරා අපි සියලු දෙනා එක්ව නිර්මාණය කළ 2015 දී නිර්මාණය කළ "රෑ අහස" සංයුක්ත තැටියට සම්මානයක් හිමිකර ගත්තා. රවි සිරිවර්ධන ඔහුගේ පෞද්ගලික ධනය වියදම් කරලයි එම නිර්මාණය කළේ. එයට ඇගයීමක් ලැබීමත් එවැන්නකට මුදල් වෙන් කරන්නට උත්ප්‍රේරකයක්. එනිසා මම දකින්නෙ මෙම සම්මාන උලෙළ බොහොම සාධනීයව සුභාවිත ගීතය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළට ලොකු ශක්තියක් වුණාය යන කාරණාව බොහොම කෘතවේදීව මතක් කරනවා. එහිදී සංගීත අනුමණ්ඩලයටත් විනිශ්චය මණ්ඩලයටත් මගේ කෘතවේදීත්වය පළ කරනවා.
සටහන - ඉඳුනිල් සින්දු