රැල්ලේ සිංදු ගහගෙන ගිහින් හොඳ නිර්මාණ ඉතුරුවෙයි


2016-08-13-ent-40

සංගීතය කාලයෙන් කාලයට වෙනස් වෙයි. ටවර් හෝල් යුගයෙන් ඇරඹි නූර්ති නාඩගම් ඔස්සේ ගමන් කර අද සිංහල සංගීතය වාක්‍ය රචනාවලට තනු යොදා ගායනා කරන මට්ටමට පත් වී ඇත. අද නාලිකාවලින් වැඩිපුරම ඇසෙන්නේ එබඳු අප‍්‍රභංස මෙලෝ රහක් නැති ගීත බවට චෝදනාවක් නැගෙයි.

මේ නිසාම ප‍්‍රවීණයෝ හැත්තෑව දශකයේ ඇසුණු අන්දමේ මනරම් අර්ථවත් සුභාවිත ගීතය රැක ගැනීම සඳහා යම් යම් ක‍්‍රියාමාර්ග ගනිති. කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියා සුභාවිත ගී මග එළි පෙහෙළි කරන්නට කළේ කුමක්දැයි විමසමු.

 

සුභාවිත ගීතය රැක ගැනීමට, එහෙමත් නැත්නම් පවත්වාගෙන යෑමට ජනප‍්‍රිය ගායන ශිල්පියකු වශයෙන් ඔබ කරන්නේ මොනවද?

2016-08-13-ent-38මම මොනවද නොකරන්නේ? මට කරන්න පුළුවන් හැමදේම සුභාවිත ගීතය වෙනුවෙන් කරනවා. ”නිල් දියවර” නමින් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කරනවා. ඊට අමතරව අද කාලෙ කිසිම කෙනෙක් නොකරන වැඩකුත් කළානේ. ඒක තමයි මගේ අලූත්ම ගීත ඇතුළත් සී.ඞී. තැටිය ‘මේ සිහින හරි පුදුමයි’ මේ හැමදේම සුභාවිත ගීතය වෙනුවෙන් තමයි.

 

ඔබ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය ”නිල් දියවර” ලෙසින් බෞතීස්ම කළේ ඇයි?

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා

ඒ හිරු එළියේ නැණමල් පොඩි පිපුණා

ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා

කලාවැවේ නිල් දියවර අපෙ අම්මා

මා ගැයූ මගේ මේ ජනප‍්‍රිය ගීතයෙනුයි මම මේ නිල් දියවර කියන වචනය තෝරාගත්තේ. ඒ නම ප‍්‍රසංගයකටත් අපූරුවට ගැලපෙනවා.

දිවුල්ගනේ කියන්නේ රජරටින් උපන් ගායකයෙක්. නිල් දියවර කියන වචනයත් වැව් පරිසරය එක්ක බද්ධ වෙන වචනයක්. නිල් දියවර නම ගනිද්දි ඔබ ඒ ගැනත් හිතන්න ඇති. දියවර කියන්නේ රජරට ගොවීන්ට සම්පතක්. අවුරුද්දෙ වැඩි කාලයක් නියගෙන් පීඩාවට පත්වෙන රජරටට නිල් දියවර කියන්නෙ විය තම් වටින දෙයක්. මේ කාරණයක් මට මතක් වුණා.

 

ඔබ නිල් දියවර මුදාහරින්නෙ කාටද?

සුභාවිත ගීතයට ආදරය කරන රසිකයන් වෙනුවෙන්

 

ඒ කියන්නේ නිල් දියවර ගී අමෝඝය, සුභාවිත ගීතය පෝෂණය කරන්න වියැලූණු ගී කතරට මුදා හරින නිල් දියවරක්?

ඔබ හරි... මගේ අරමුණ වෙන්නෙත් ඒකම තමයි. අද ඇසෙන ඝෝෂාකාරී අමිහිරි සංගීතයෙන් හිත චංචල කරගත්තු රසිකයාට හිත නිවන, හිත සුවපත් කරන, හිත සංසුන් කරන සංගීතයක මිහිර දිය යුතුයි. මම ගයන්නේ එබඳු සංසුන් ගීත.

 

ඔබේ නිල් දියවර ප‍්‍රසංගය මීළඟට පැවැත්වෙන්නෙ කවදද? කොහෙද?

අගෝස්තු 13 වෙනිදා ගාල්ලෙදි පැවැත්වුණා. ඊට පස්සෙ අගෝස්තු 27 බණ්ඩාරවෙලත්, සැප්තැම්බර් 11 මහනුවරත්, 24 වෙනිදා හොරණෙත්, ඔක්තෝබර් 02 මීගමුවෙත්, 22 මාතරත්, නොවැම්බර් 05 ගම්පහත්, 19 රත්නපුරයෙත්, දෙසැම්බර් 3 කෑගල්ලෙත්, 17 කුරුණෑගලත් ආදි වශයෙන් නිල් දියවර ප‍්‍රසංග දහයක් ඉදිරියේදී සංවිධානය කරලා තියෙනවා. මේ කටයුත්ත කරන්නේ ප‍්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ ‘ටයිම් ඇන්ඞ් ස්පේස්’ සහ සමස්ත ලංකා දේශකවරුන්ගේ සංගමය එකතු වෙලා. සුභාවිත ගීතයට ඔවුන් දක්වන ආදරයට අප ගෞරව කළ යුතුයි.

 

මට හිතෙනවා ඔබ නිල් දියවර ප‍්‍රසංගය පටන්ගත්තෙ බොහෝ ප‍්‍රමාද වෙලා කියලා.?

බොහෝ දෙනෙක් මගෙන් ඒක පුද්ගල ප‍්‍රසංගයක් ඉල්ලා සිටියේ දශකයකට පමණ කලින් ඉඳලා. නමුත් ඊට වෙලාව කාලය මට ඉඩ ලබාදුන්නේ නැහැ. මං හිතනවා නිල් දියවර ආරම්භ කාළේ ඊට ගැලපෙනම මොහොතේ කියලා.

 

ඔබත් අපේ රටේ අනෙක් ගායන ශිල්පීන් වගේම උකටලී වෙලා කියලා මට හිතෙනවා. මෑතකදී අලූත් ගීතයක් එළි දැක්වූවාද?

මම කොහොමටත් කලබලේට වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ගීතයක් කරන්නෙත් හොඳට තෝරලා. සංගීත නිර්මාණයක් කල් අරගෙන පරිස්සමට කරන්නෙ. නමුත් මම හැමදාමත් අලූත් ගීත නිර්මාණය කළා. අදටත් කරනවා. පසුගියදා නිකුත් වුණු මේ සිහින හරි පුදුමයි ගී එකතුව කියන්නෙත් අලූත් ගීතම විස්සක්නේ.

 

මේ ගීත එකතුවෙන් ගීත දෙකක්ම ලියලා තියෙන්නෙ යමුනා මාලිනී පෙරේරා... මං හිතන්නෙ ඔබට වැඩිම ගීත ගණනක් ලියලා තියෙන්නෙත් යමුනා?

ඒක හරි, යමුනා මට ගීත රාශියක්ම ලියපු රචිකාවක්. රෝස තොල් ඉඹිමි, සුදු ඇඳගෙන සඳ ඇවිදින්, වැස්ස නුඹ වගෙයි, පිබිදීම වගෙම බැසයාම අයිති සඳටයි. ඒ වගේම තමයි මගෙ අලූත් සී.ඞී. එකෙත් යමුනගෙ ගීත දෙකක්ම තියෙනවා. සයුරට සීමා සහ වියරණ වැරදී නමින්.

 

ඔබ නිල් දියවර ප‍්‍රසංගයෙන් ඉදිරිපත් කරන්නේ ඔබේ පැරැණි ජනප‍්‍රිය ගීතාවලිය. නමුත් එක් අලූත් ගීතයකට ඔබ බෙහෙවින් ආදරය කරන බව පේනවා. පසුගියදා හිරු අන්ප්ලග් වැඩසටහනෙන් පවා ඔබ මේ ගීතය ගායනා කළා.

කොහේ හෝ ඔබ නතර වී

කාට හෝ ජීවිතය දී

තුටින් නම් මට ඒ ඇති

මගේ නොවුනට කම් නැතී

 

උන්නු දා අපි අපේ වී

නුඹ දුන්නු සෙනෙහස අරුමැති

ලෝබ නෑ හිත අහිමි දා අද

මමත් දැන් මට හිමි නැතී

 

නුඹ ළඟත් මතකය ඇති

නමුදු අපි වෙන් වී ඇති

එපා රිදවුම් ගන්න දිවියට

අපට හිමි ජීවිත ඇති

 

ඔය ගීතය මට ලැබෙන්නෙ දර්ශන වික‍්‍රමතුංග කියන සංගීත ශිල්පියා හරහා. ඔහු මට තනුවක් එක්ක ගී පද මාලාව දුන්නා. මේ ගීතය ලියලා තියෙන්නේ ශාමිලා හුසේන් කියන මුස්ලිම් යුවතියක්. මට ඇගේ සිංහල භාෂා දැනුම ගැන විමතියක් මුලින්ම ඇති වුණා. ඊට පස්සෙ පේ‍්‍රමය පිළිබඳ ඇගේ ආකල්පය මාව විස්මයට පත් කළා. සැබෑ පේ‍්‍රමය කියන්නෙ මේ අවබෝධය තමා. පේ‍්‍රම කරන්න අපි අපිට අයිතිකරගන්නම ඕනෙ නෑ. මලක් වුණත් ගහෙන් කඩල අපි සතු කරගත්තොත් ඒ මල පරවෙනවා.

 

දිවුල්ගනේ ඔබ බොහෝ දුරට පේ‍්‍රමයට ඇලූම් කරන කෙනෙක්. ඔබේ ගීවලින් බහුතරය පේ‍්‍රමය?

ඔව්, මාව කම්පනයට පත් කරන්න මේ පේ‍්‍රමයට පුළුවන්. පේ‍්‍රමයෙ විවිධ පැති තියෙනවා. ඔය විවිධ පැතිවලින් අපිට කොයිතරම් දේවල් තියෙනවාද කතා කරන්න.

 

නමුත් ඔබේ වැඩිම ගීත සංඛ්‍යාවක අපට හමුවෙන්නෙ පේ‍්‍රමයේ වියෝව?

පේ‍්‍රමයේ සම්භෝගයට වඩා වියෝගය අපව කම්පනයට පත් කරනවා. මාව කම්පනයට පත් කළොත් විතරයි මම යම් ගීතයක් ගායනා කරන්නේ.

 

අද අපේ රටේ ප‍්‍රවීණයො නගන චෝදනාව තමයි අලූත් ගීත කරලා වැඩක් නෑ. ඒව චැනල්වල ප‍්‍රචාරය කරන්නෙ නෑ. ජනප‍්‍රිය වෙන්නෙ නෑ කියන එක. නමුත් ඔබ එතන නෑ කියල මට හිතෙනවා.

එහෙම හිතන්න නරකයි. අපි හොඳ දෙයක් කළොත් ඒ දේ ඉතුරු වෙනවා. හෙමින් හෙමින් හරි ජනතාව අතරට ගිහින් ජනතාව ඒ හොඳ නිර්මාණවලට ආදරය කරන්න පටන් ගනියි. අද යූටියුබ් තියෙනවා, ෆේස්බුක් තියෙනවා ඕවට ගිහින් රසිකයො කොච්චර නම් ගීත රසවිඳිනවද? අනෙක් කාරණය ඔය රැුළි තාවකාලිකයි. හොඳ දේවල් සදහටම ඉතිරි වෙනවා. ඒ නිසා මම අරයට මෙයාට බැන බැන ඉන්නෙ නැතුව හොඳ නිර්මාණ කරනවා. සාමාන්‍යයෙන් පහසුවෙන් උඩට මතුවෙන්නෙ බරක් නැති දේවල්. වටිනා දේවල් පතුලෙ ඉතුරු වෙනවා. ඒවා මතු කරගන්න ටිකක් අමාරුයි... නමුත් ඔය උඩට මුතුවුණු දේවල් ඉක්මනටම ගහගෙන යනවා. ඒකයි යථාර්ථය. නමුත් හොඳ නිර්මාණයක් ඇහුවාම අපි ඕක නැවත නැවත අහනවා. අහන්න අහන්න ඒකෙ විවිධ අරුත් අපට තේරුම් යනවා. ඒ නිර්මාණය අපට දැනෙනවා. රසිකත්වය වර්ධනය වෙනවා.

 

ශකුවි

 

2016-08-13-ent-39