මේ රටේ සංස්ථා අතුරින් ලුණු සංස්ථාව (1998ට පෙර) බිහිවන්නේ වාසනාවන්ත සංස්ථාවක් වශයෙනි. රට වටේම මුහුද තිබෙන, වසරේ දින 365න් දින 300ක් පමණ හොඳින් හිරු එළිය වැටෙන රටකට ලුණු සංස්ථාවක් හරිනම් දෙයියො දුන්න සම්පතක් විය යුතුය. එහෙත් අවාසනාවක මහත! 1998 වනවිට එවකට පැවැති රජය ලුණු සංස්ථාව විකුණා දැමීමට පිඹුරුපත් සැකසුවේය. ලුණු සංස්ථාව වැනි රාජ්‍ය ආයතනයකින් ලාබ ලැබීමට නොහැකි වීම එම රජයේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කළ අවස්ථාවක් පමණක් නොව එය විකුණා දැමීම යට දේශපාලන කාරණාද තිබෙන්නට ඇත. එහෙත් එම රජයේ කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් ලුණු සංස්ථාව පෞද්ගලික අංශයට නොගොස් රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්.) වෙත පවරා ගනු ලැබීය.
එම පවරා ගැනීම ලුණු සංස්ථාවේ ඉතිහාසය අලුතින් ලියැවීමක් විය. ප්‍රාග්ධනයේ සියයට 90 ක් ඊ.ටී.එෆ්. සතු වූ අතර ඉතිරි සියයට 10 සේවකයන්ටද අයිතිවෙමින් සංස්ථාව සමාගමක් බවට වෙනස් විය. එම වෙනස්කම සමඟ සිදුවූයේ ලංකා ලුණු (පෞද්.) සමාගම අධික ලාබ ලබන ආයතනයක් බවට පත්වීමය. එහෙත් එම තත්ත්වය 2018 වසරේ සිට ආපසු හැරෙමින් යළිත් පාඩු ලබන බව පසුගියදා පෙන්වාදී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. රාජ්‍ය සමාගමක් එසේ පාඩු ලැබීම නොසිදුවිය යුතුය. වසර තුනක් තුළදී සිදුවූ පාඩු ලැබීමට හේතු සොයා බලා එම ආයතනය වසරක් ඇතුළත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ එකී නිලධාරී මණ්ඩලය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේදීය.
අප ආරම්භයේදීම ප්‍රකාශ කළ පරිදි ලුණු සමාගම පවතින්නේ වැඩි අපහසුවකින් තොරවම ලාබ ලැබිය හැකි වටපිටාවකය. එසේ තිබියදී එය පාඩු ලැබීමෙන් පෙන්නුම් කරන්නේ සමාගමේ එවකට පැවති අධ්‍යක්ෂ මණ්ඩලයේ නොහැකියාවය. නැත්නම් ඔවුන් සමාගමේ ලාබය ගසා කා ඇති බවය. රාජ්‍ය සංස්ථාවක් නම් පාඩු ලැබීමට හේතුවන විවිධ දේශපාලන කාරණාද තිබිය හැකි බව අපි දනිමු. එහෙත් සේවකයන්ද කොටස්කරුවන් බවට පත් කරමින් රාජ්‍ය ආයතනයක් බවට පත්කෙරුණු සමාගමක් පාඩු ලැබීම සිදුවිය නොහැක. එය ලුණු සංස්ථාව සමාගමක් බවට පත් කිරීමේ මූලික අරමුණම බිඳ දැමීමකි. අනෙක් අතට සමාගමක් බවට පත් කෙරුණු මුල් අවදියේදී අධික ලෙස ලාබ ලැබිය හැකි නම් එය පසුකාලීනව පාඩු ලබන සමාගමක් බවට පත්වීමට බලපෑ ප්‍රබල හේතුසාධක තිබිය යුතුය. වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට දැන් පැවරී ඇති මුල්ම වගකීම ඒ සඳහා හේතු සොයාබැලීමය.
හේතු හඳුනා ගැනීමෙන් පසුව ඊට පිළියම් යෙදීම පහසු වනු ඇත. එහෙත් මේ කාර්යය සඳහා ලොකු කාලයක් වැයකළ යුතු නොවේ. ඒ අතරවාරයේද සමාගෙම් අධික වියදම් අඩුකොට පාඩුව අවම කළ හැකි පියවර ගැනීමද අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරෙන වගකීමකි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලොකු ලොක්කන් ලක්ෂ ගණන් වටිනා මොබයිල් ෆෝන්, ලැප්ටොප් මිලදී ගැනීම එවැනි අභියෝගයක් ජය ගැනීමට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොවන බවද ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.
ලුණු සමාගම 2015ට පෙර නිෂ්පාදනය කළ ලුණු පිටරට යවා ලාබ උපැයූ ආයතනයක් බවද සඳහන් වී තිබේ. ඒ තරම් දියුණු මට්ටමක පැවති ආයතනය 2018 වනවිට වසර තුනක් තුළදී අධික පාඩු ලබන තත්ත්වයට පත්වීම පිළිබඳ වගකිවයුතු පුද්ගලයෝ වෙත් නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමද සිදුවිය යුතු යැයි අපි අදහස් කරමු. එය දේශපාලනමය කාරණා මත පදනම් නොවී සැබෑ ලෙසම දූෂිත, වංචනික ක්‍රියා හේතුවෙන් සිදුවී ඇත්නම් එවැනි කාරණා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. එය සෙසු රාජ්‍ය ව්‍යවසායක ලොකු ලොක්කන්ටද පාඩමක් වනු ඇති බව අපගේ වැටහීමය.
ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබූ තවත් සුවිශේෂ කාරණයක්ද තිබිණි. එනම් පාඩු ලැබීම පිළිබඳ නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාබ ඉපැයීමට ඇති උපාය මාර්ග පිළිබඳව දැනගැනීම තමාගේ අවශ්‍යතාව බව සඳහන් කිරීමය. පාඩු ලැබුවේ කෙසේද යන්නට පිළිතුරු දවස් ගණනාවක් වුවද කතාකළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ලාබ උපයා ගැනීමේ සැලසුම් සකස් කිරීමය. එය පහසු නැත. ජනාධිපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට ලබාදී ඇත්තේ එම අපහසු ඉලක්කය ජයගැනීම සඳහා නිශ්චිත කාලසීමාවකි. එම අභියෝගය ජයගැනීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානම වගකීමය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති නියමිත කාලය ගතවීමෙන් පසුව ඔහු නිසැකවම පසු විපරමක යෙදෙනු ඇති බවද අධ්‍යක්ෂ මණ්ඩලය දැන සිටීම ඇඟට ගුණය.
රටේ ස්වාභාවික සම්පතකින් ප්‍රයෝජන ගතහැකි අමුද්‍රව්‍යයක් වන ලුණු නිෂ්පාදනය පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්වීම සම්බන්ධයෙන් අප රටක් ජාතියක් වශයෙන් ලජ්ජා විය යුතුය. නිවැරදි සැලසුම් සහ උපාය මාර්ග භාවිතයෙන් මේ අභියෝගය ජයගැනීම අපහසු නැතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ කැපවීම පමණි.