තරුණයෙක් සහ තරුණියක් අත්පා විහිදුවමින් ශරීර ලාලිත්‍ය මතුවනසේ කරන ලයාන්විත නර්තනය නෙත් දෙක ඉවතට ගැනීමට බැරි තරම් හරිම අපූරුය. ඇස මදකට හෝ ඉවත් කරගන්නට සිදුවුවහොත් ඒ අපූරු නර්තන කලාංගය රසවිඳීමට බාධාවකි. අප කැමරා ශිල්පියා ද නර්තනයට බාධාවක් නොවන සේ විවිධ කෝණවලින් එම මනහර රැුඟුම නිශ්චල ඡුායාරූපවලට හසුකරගන්නට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ. පීදීගෙන එන කහ පාටට හැරී තිබෙන ගොයම් ගස් අතරින් හමාගෙන එන සිහින් මඳ සුළං රැුල්ල මහරගම ආනන්ද මෛත‍්‍රීය විහාරස්ථානයේ නාට්‍ය පුහුණුවීම් ශාලාවේ සිටින හැමගේම ගත මෙන්ම සිතද අමුතුම ජීවයකින් පුරවාලනු පෙනේ. ආනන්ද සේනාරත්න නාට්‍යය පුහුණුවීම් සඳහා තෝරා ගෙන තිබෙන ස්ථානය නාට්‍යයක රංගනයක් පුහුණුවීම සඳහා හැම අතින්ම උචිතය. පංචාලි නාඩගම, කොමළවත නිර්මාණ වේදිකාවට තිළිණ කළ ආනන්ද සෙනෙවිරත්නගේ නවතම නිර්මාණ කාර්යය වන්නේ ‘‘වල් සීයාගේ සංධ්වනිය’’ නාට්‍ය නිර්මාණයයි. පවුලේ සැමට සුදුසු නිර්මාණයක් ලෙස වේදිකාවට කැඳවාගෙන එන එම නිර්මාණයේ මංගල වේදිකාදිග හැරුම අගෝස්තු 11 බ‍්‍රහස්පතින්දා සවස 3.30ට හා 6.30 ට කොළඹ 07 නෙළුම් පොකුණ මාවතේ පිහිටි නව නගර ශාලාවේදී සිදු කිරීම නිමිතිකර ගනිමින් නාට්‍ය කණ්ඩායමේ පිරිස යුහුසුළුව සිය පුහුණුවීම් කරමින් සිටිති.
‘‘වල් සීයාගේ සංධ්වනිය’’ නාට්‍ය නිර්මාණය සමඟ අන් කිසිදා වේදිකා නාට්‍යයකදී සිදු නොවුණු අපූරු යමක් සිදුවන බව අපට දැනුම් දුන්නේ නාට්‍ය අධ්‍යක්ෂ ආනන්දමය. එනම් එදින නාට්‍යය නැරඹීමට එන සියලූ දෙනාටම වටිනා ත්‍යාගයක් පිරිනැමීමට ආනන්ද ප‍්‍රමුඛ නාට්‍ය කණ්ඩායම සූදානමින් සිටිති. නාට්‍යයේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණපොවන සංජීවනී ඇඹුල්දෙනිය සිය නර්තන ගුරුවරයා සමග තවමත් නර්තනය පුහුණුවෙමින් සිටියි. දැඩි දහඩියෙන් ඔවුන්ගේ ගත හොඳටම පෙඟී තිබෙතත් ඒ දෙදෙනාටම වෙහෙසක් ඇති බවක් මුහුණුවලින් පෙනෙන්නට නැත. වේදිකාවේ කිරි හාමි ලෙස හඳුනාගෙන සිටින වික‍්‍රම සෙනෙවිරත්නත්, අධ්‍යක්ෂ ආනන්ද සේනාරත්නත්, සුසන්ත ප‍්‍රියදර්ශනත් සංජීවනීලාගේ නර්තනයට තව තව ලූණු ඇඹුල් එකතු කරන්නේ වඩාත් සාර්ථක නර්තන අංගයක් සකස් කර ගැනීම සඳහාය. මුහුණේ දාබිදු එකින් එක වැඩි වන විට සිය නර්තන රංගනයට මද විරාමයක් ලබාදීමට සියල්ලෝම එකඟ වූහ. ඒ ලැබෙන විවේකයත් නළු නිළියන්ට ප‍්‍රයෝජනවත් වන කාර්යය යොදවන්නට නාට්‍ය අධ්‍යක්ෂ ආනන්දට අවශ්‍යය.
ඒ නිසාම ඔහු නාට්‍ය පුහුණුවීම්වලට අත් උදවුවට ගෙනා කැසට් යන්ත‍්‍රය සුසර කළේ ඒ අතරතුරේත් නළු නිළියන්ට ගීත ඇසීමට සැලැස්වීම සඳහාය.
සිරිලක රාජ කුණු අලේ පණුවෝ අපි තමා
රට උගසේ තියා සිරිසැප ගන්නේ
දේස පාලූවන්ට හෙණ නොවදින්නේ
කුඩු ටොන් ගණනින් ගෙන්නවමින්
අල්ලස බිය රජ කරමින්
නීතිය බල්ලටලන්නේ
ආනන්දගේ නාට්‍ය නිර්මාණයේ ‘‘සිරිලක රාජ කුණු අලේ’’ ගීතය මධුර ස්වරයෙන් විහාර භූමිය සිසාරා පැතිර යයි. නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මෙන්ම නාට්‍යයේ ගායකයා ද සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ද අපේ ආනන්දමය.
පියදාස කොඩිතුවක්කු (පියා) සිරියාවතී කොඩිතුවක්කු, දොස්තර කරුපයියා හෙවත් සැමී, වල් සීයා, නිවේදක ඇතුළු චරිත මේ නාට්‍යයේදී ඔබව හමුවීමට සූදානමින් සිටින චරිතය.
නර්තන ගුරුවරයා සහ සංජීවනීගේ රංගනයෙන් පසු ඊළඟ නර්තන අංගය සඳහා වික‍්‍රම සෙනෙවිරත්නත් සංජීවනිත් කරළියට පිවිසියහ. සංජීවනිත් එක්ක එහෙට මෙහෙට කැරැුකෙමින් නර්තනය කරන්නට වික‍්‍රමගේ තිබෙන කැමැත්ත ඔහුගේ මුහුණින් පිළිඹිබු වෙයි.
‘‘අනේ නංගී ඔහොම රට බඹරේ වගේ කැරැුකෙන් නැතුව මාත් එක්කම පොඞ්ඩක් කැරැුකෙන්නකෝ. මං ඇල්ලූවේ නැතත් කමක් නැහැ. මගේ ඇඟිල්ල අල්ලගෙන කැරැුකෙන්න.’’
වික‍්‍රම කියන විදියට කැරැුකෙන්නට සංජීවනීට අපහසු හැඩකි. නර්තන අංගය හරියට හදාගන්නට සංජීවනිත් වික‍්‍රමත් අතර ඇති වන සොඳුරු කතා බහ ද ආශ්වාදජනකය.
‘‘අනේ නංගී ඔයා ඇඟිල්ල අඹරලා ගන්න විදියට ඇඟිල්ල කැඩිලා යාවිද දන්නෑ. පොඞ්ඩක් බලාගෙන ඈ.....’’
වික‍්‍රම එවැනි කතාවක් කියන්නේ ඇත්තටදැයි බොරුවටදැයි තේරුම් ගැනීමට නොහැකිව නාට්‍ය කණ්ඩායමේ පිරිස බලා සිටිති.
වික‍්‍රම මේ නාට්‍යයේදී අපූරු අත්දැකීමකට මුහුණ දී තිබේ. ඒ හිටිහැටියේම නාට්‍යයේ බිරිඳ මාරු වීම නිසාය. කලින් බිරිඳගේ චරිතය නිරූපණය කළ නිළිය පැදුරටත් නොකියා හදිස්සියේම අතුරුදන් වීම නිසා අලූත් නිළියක් වික‍්‍රමට ලැබී තිබේ. කලින් නිළිය සමඟ චරිතය ගොඩනගාගත් සියල්ල දැන් අලූත් නිළිය සමඟ පුහුණුවන්නට වික‍්‍රමට සිදු වී ඇත.
වික‍්‍රම කොහොමත් හිනාවෙලා ඉන්නට ආසය. චරිතයෙන් මිදී සිටින විට ඒ සැහැල්ලූව ඔහු සතුය. වික‍්‍රම දෙස බලා සිටින විට මට සිිහිපත් වන්නේම හත්පනේ කිරිහාමිය. මම ආයාසයෙන් මේ සිටින්නේ කිරිහාමි නොව පියදාස කොඩිතුවක්කු බව මගේ සිතට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමි. රැුවුලකුත් වවාගෙන මුහුණට අමුතු හැඩයක් හදාගෙන සිටින වික‍්‍රමගෙන් මම චරිතය ගැන විමසන්නට අදහස් කළෙමි.
‘‘මේ පිටපත කියෙවුවාට පස්සේ මට තේරුණා යම් දෙයක් මේ චරිතය තුළ කරන්නට තිබෙන බව. මේ චරිතය තුළ හාස්‍ය ගැබ් වෙලා තිබෙන විදියට මම කැමැතියි. චරිතයට ඇතුළුවෙලා ජීවත් වන විට අපට නිරායාසයෙන්ම චරිතයට සාධාරණය ඉෂ්ඨ කිරීමට පුළුවන්. සමාජයේ තිබෙන අඩු ලූහුඩුකම් තමයි හාස්‍යමය ආකාරයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ. ඒක නියමාකාරයෙන් මතු කිරීම තමයි ශිල්පියාගේ දක්ෂතාව.’’
වික‍්‍රම බැරෑරුම් ලෙස චරිතය දැනටමත් අවබෝධ කරගෙන තිබෙන බව ඔහුගේ කතාවෙන් අපට පැහැදිලිය. නාට්‍ය පිරිස අතරේ එහෙට මෙහෙට දුවමින් නාට්‍යයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වෙහෙසෙන අධ්‍යක්ෂ ආනන්දව මේ කතා බහට එක්කර ගැනීමට මට අවැසිය. ‘‘මේක කාලීන දේශපාලන ඛේදවාචකයක් යටිපෙළක් සහිතව ඉදිරිපත් කරන නාට්‍යයක්. පේ‍්‍රක්ෂකයාට නීරස නොවන ආකාරයට වින්දනාත්මකව නාට්‍යය පේ‍්‍රක්ෂකයාට තිළිණ කරනවා.
සංගීතයෙන් ලෙඩ සුව කරන්න හැකියි කියන කාරණය වගේම අපිම කරන වැරැුදි නිසා තමයි රටට මේ ඛේදවාචකය ඇති වී තිබෙන්නේ කියන එක මේ නාට්‍යයෙන් අපි කතා කරනවා. නාට්‍යය තුළින් පේ‍්‍රක්ෂකයාට අර්ථවත් පණිවුඩයක් ලබාදීමට මට අවශ්‍යයි.’’
ආනන්ද විවිධ කලා කුසලතා රාශියක්ම තිබෙන කලාකාමියෙකි. මීට පෙර ශෛලීගත නාට්‍ය නිර්මාණ දෙකක් වේදිකාවට තිළිණ කළ ආනන්ද හාස්‍යමය නිර්මාණයකින් පේ‍්‍රක්ෂකයා අතරට පැමිණෙන්නට අදහස් කළ හේතුව මට ඔහුගෙන් දැන ගැනීමට අවශ්‍යය.
‘‘සමහරු අපට නොගැළපෙන නාට්‍ය කලාවක් මෙහේ පැළකරන්න හදනවා. ඒක අපේ දේශීය නාට්‍ය කලාවට තර්ජනයක් විදියට තමයි මම දකින්නේ. මගේ ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කනපිට හරවලා මට මං මේ නාට්‍යයට අත ගැහුවේ, මේ හරහා අලූත් නාට්‍ය ප‍්‍රවණතාවයකට යන්න හැකි බව මම විශ්වාස කරනවා.’’
අප පැමිණ හෝරා දෙක තුනක් ගතවී ඇතත් අවට වෙල් යායෙන් හමාගෙන එන මද සුළඟ මදක් හෝ අඩු කර නැත. වෙහෙසකාරී රංගනයකට සම වැදී සිටින සියල්ලන්ටම එය ආශ්වාදජනකය. නැවුම් නිර්මාණයක් වේදිකාවට ගොඩවෙතැයි පුංචි බලාපොරොත්තුවක් සිතෙහි දරාගෙන නාට්‍ය කණ්ඩායමට අපි සමු දුනිමු.
අමිල චින්තක ගමගේ / ඡායාරූප - චමත් වින්දුල