අයිරාංගනී කළුතන්ත‍්‍රී කැනඩාවේ සිට මවුබිමට පැමිණියේ නොබෝදාය. එහෙත් කාලය මරමින් නිකරුණේ කල් ගත කරන්නට අකමැති ඇය ලංකාවට පැමිණි විගසම යොවුන් සෞන්දර්ය පදනම ගොඩනැගුවේ නාට්‍යකරණයෙන් ඉදිරියට යන්නට කැමති නව පරම්පරාවට අත්වැලක් සැපයීමේ අරමුණෙනි. ඊට අමතරව අලූත් පිරිසක් ද එක් කර ගනිමින් 1980 දශකයේ මුලින්ම වේදිකාවට ගෙන ආ දුටුගැමුණු නාට්‍ය නිර්මාණය නව නිෂ්පාදනයක් ලෙස ද වේදිකාවට ගෙන ආවාය. මේ දිනවල සාර්ථක ලෙස වේදිකාගතවන දුටුගැමුණු නාට්‍ය ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 26 වැනිදා 02.30ට හා 06.30ට කොළඹ ටවර් රඟහලේදී වේදිකාගත කිරීමට සුදානමින් සිටී.
ඓතිහාසික වේදිකා නාට්‍ය රැුසක් වේදිකාවට ගෙනවිත් සාර්ථක වී සිටින ප‍්‍රකට නාට්‍ය නිර්මාණ ශිල්පිණී අයිරාංගනී කළුතන්ත‍්‍රී මහත්මියට ප‍්‍රශ්න පත‍්‍රයක් යොමු කළෙමු. ඇය එයට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.
කාලයක් වේදිකාව දිග් විජය කළ ඔබ එක පාරටම නොපෙනී ගියා නේද?
ඔව්. මං කැනඩාවේ අවුරුදු 14 ජීවත් වුණා. ඒත් ඒ කාලයේත් මං නාට්‍ය කලාව අතහැරියේ නැහැ. දිගටම නාට්‍ය නිර්මාණය කළා. කැනඩාවේ ප‍්‍රාන්ත ගණනාවක ඒ නාට්‍ය පෙන්නුවා. ගොඩාක් අපේ පැරැණි ශ්‍රී විභූතිය තමයි මං ඒ නාට්‍යවලින් පෙන්නුවේ. විදේශගතව සිටියත් අපේ ශ්‍රී ලාංකේය කීර්තිනාමය ඉහළ තැනක රැඳවීම තමයි මගේ අපේක්ෂාව වුණේ.
ලංකාවේ නාට්‍ය කරන එක අත හැරලා යන එක අපහසු වුණේ නැද්ද?
මම කුවන්නා, ලේ නෑයෝ, එළොවින් බෑනෙක්, ළමා දෝංකාරය, කුසපබා, සාප ලද්දෝ, දැයක කඳුළු, දුටුගැමුණු වැනි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළා. බොහෝ අය අද ආදරය කරන ඓතිහාසික නිර්මාණ මම කළේ එදා. මා කළ නාට්‍ය අතුරින් කුසපබා සහ දුටුගැමුණු ප්‍රේක්ෂකයා ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.
ඒ නිසාද දුටුගැමුණු නාට්‍ය ආපසු කරන්න ඕනෙ කියලා හිතුනේ?
බොහෝ නාට්‍ය රසිකයන්ගෙන් හා පදනමේ සාමාජිකයන්ගෙන් මට ආරාධනා ලැබුණා. මගේ පැරැුණි නිර්මාණ නැවත පණ ගන්වන්න කියලා. ඒ නිසා තමයි අනාගත පරපුරට ලබා දෙන තිළිණයක් විදියට දුටුගැමුණු නාට්‍යය නැවත නිෂ්පාදනය කළේ.
අපේ පැරැණි ශ්‍රී විභූතිය කලා නිර්මාණ විදියට නැවත පෙන්වීමේ අර්ථයක් තිබෙනවාද?
අපේ රටේ මෙන්ම විදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයනුත් මේ නිර්මාණවලට ගොඩාක් කැමතියි. අපේ රටේ අභිමානය ඒ අය ආසාවෙන් රස විඳිනවා. කොටින්ම විදේශිකයනුත් මේ නිර්මාණ ගොඩාක් ආසාවෙන් රසවින්ඳා කියලා මම තේරුම් ගත්තා. ශ්‍රී ලංකාවේ දෙමළ අයත් කැනඩාවේ දී අපේ නාට්‍ය බලන්න ආවා.
ලංකාවට ඇවිත් ආපහු නාට්‍ය කලාව පටන් ගනිද්දි එදා තිබුණු තත්ත්වය එක්ක වෙනසක් දැනුනේ නැද්ද?
දක්ෂතා තිබෙන ගොඩක් අය එදා වගේම අදත් ගොඩාක් ඉන්නවා. එහේදී නිර්මාණ රස විඳින්න අය හිටියාට නිර්මාණවලට එකතු කර ගන්න අය අඩුයි. කොහොම නමුත් එහේ ශිල්පීන් පුහුණුවීම්වලට වෙලාවට එනවා. මෙහේ අය වෙලාව කියනදේ වැඩිය තකන්නේ නැහැ. අපේ රටේ අය කලාවට ගොඩාක් ආස වුණත් ප‍්‍රසිද්ධ වෙන්න බලාගෙන තමයි එන්නේ.
දුටුගැමුණු කියන්නේ අපි දන්න කතාවක්. ඒ දන්න කතාවම ප්‍රේක්ෂකයාට පෙන්නනවාද?
නැත්නම් වෙන අර්ථ කථනයක් දෙන්න උත්සාහ කරනවාද? දුටුගැමුණු කියන්නේ තුන් සිංහලය එක්සේසත් කළ රජතුමා. සතුරන්ගෙන් අපේ රට මුදා ගත් නායකයා. දුටුගැමුණු රජතුමාට මම ඉතිහාසයට සාහිත්‍යයට ආදරය කරන කෙනෙකු ලෙස පොඩි කාලේ සිට ආදරය කළා. දුටුගැමුණු කියපු ගමන් කට්ටිය හිතන්නේ එළාර දුටුගැමුණු සටන ගැන පමණයි. එහෙත් ඒ සංග‍්‍රාමයට යටින් දිවෙන සුන්දර ආදර කතාවකුත් තිබෙනවා. ඒ ආදර කතාවත් නාට්‍යයේදී මා පාදක කර ගත්තා.
ඔබ මෙවර ‘‘දුටුගැමුණු’’ නාට්‍යයට තෝරා ගන්නේ අලූත්ම පිරිසක්, ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?
ඒ කාලේ අපි දුටුගැමුණු නාට්‍ය කරන කොට ශිල්පීන්ගේ ලොකු කැපකිරීමක් තිබුණා. නාට්‍යයේ පෝස්ටර් පවා ඒ ළමයි තමයි නිර්මාණය කළේ. රෑ 1, 2 වෙනකන් කැපවීමෙන් පුහුණුවීම් කළා. ජයසේකර අපෝන්සුලා පවා හවස ඇවිත් එහෙම තමයි පුහුණුවීම්වලට සහභාගී වුණේ. අද කලාවට ආස කරන අය අතළොස්සයි ඉන්නේ. තරුණ ජවයෙන් මීට වඩා වැඩක් ගන්න කියලා මම ඒ අයට නිතරම උපදෙස් දෙනවා. මම මගේ වියදමින් දුෂ්කර පළාත් දරුවන් ගෙන්වාගෙන නාට්‍ය කලාවේ දුර ගමනක් යන්න ඒ අයට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඔබ නාට්‍ය කරනවාට ඒ කාලේ ගෙදරින් කැමැති වුනාද?
ගැහැණු කෙනෙකුට පිරිමි කෙනෙකුට වඩා ක්‍ෂේත‍්‍රයේදී විඳින්නට වන ගැහැට අපමණයි. ගෙදරින් මට කිසිම බලපෑමක් තිබුණේ නැහැ. නාට්‍යකරණයට එළැඹුණා කියලා කිසිම අපහසුතාවක් දැනුනෙත් නැහැ. අද ටෙලි නාට්‍ය නිසා නාට්‍ය බලන පිරිසේ යම් අඩු වීමක් සිදු වී තිබෙනවා. අද ඇගේ ගහලා නාට්‍ය ටිකට් දුන්නාට එදා දුටුගැමුණු කරන කාලේ නාට්‍ය ටිකට් ගන්න කට්ටිය පොරකෑවා.
පරණ නාට්‍යම කරකර ඉන්නවා. අලූත් යමක් කරන්න උත්සාහ නොකරන බවට ඔබට කවුරු හරි චෝදනා කළොත්.
බොරැල්ල තරුණ බෞද්ධ සමිතියේ නිලධාරීන්ගේ ඉල්ලීමට අනුව තමයි එදා මම ‘දුටුගැමුණු’ නාට්‍යයට මූලාරම්භය තැබුවේ. රට ජාතිය ගැන කැක්කුමක් ඇති කරන්න ඒ ආරාධනාව මම පිළිගත්තා. නාට්‍යයේ පිටපත රචනා කළේ මගේ සැමියා වන ඞී.ජී. කළුතන්ත‍්‍රි. අපිට ඕන වුණේ හොඳ පිටපතක් සහිත සංගීතමය නිර්මාණයක් කරන්න. මේ නිර්මාණයෙන් පස්සේ මම කුසපබා නාට්‍යය නැවත නිෂ්පාදනයක් කරනවා. එතනින් පස්සේ අලූත් නිර්මාණයකට යාම තමයි මගේ අරමුණ.
වැඩමුළු නිෂ්පාදන අද ගොඩක් සාර්ථක වී තිබෙනවා. ඔබේ මේ නාට්‍යයත් ඊට කදිම උදාහරණයක්.
මගේ නිර්මාණයේ අලූත්ම තරුණ පිරිසක් රඟපාන්නේ. දිනිදු ඒකනායක දුටුගැමුණුගේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව මේනකා පිංගහාරගේ ධනුෂිකා රාජකරුණා, සමන් පුෂ්පවර්ණ, සුරංග වික‍්‍රමසිංහ, විමල් අශෝක, නාලන්ද කුලරත්න, සිසිර ජයකොඩි, අසිත කුමාර, යමුනා සුභාෂිණී, ගයාන් චතුරංග සෙසු රංගනයෙන් දායක වෙනවා.
තරුණ පරම්පරාව සමග වැඩ කිරීමේ අත්දැකීම ඔබට දැනේන්නේ කොහොමද?
මම ශිල්පීන් වෙන වෙනම අරගෙන ඒ අයට කටහඬ පුහුණු කළා. ආධුනිකයන්ට තැන දෙන්න ගියාම විශාල අපහසුතාවකට මුහුණ දෙන්නත් සිදුවෙනවා. මුදල් පසුපස හඹා යන අය මම එතරම් පිළිගන්නේ නැහැ. ආසාවෙන් කලාව කරන අයට තමයි මගේ වැඩි කැමැත්ත තිබෙන්නේ. ඒ වගේම නාට්‍ය සම්මාන උත්සවවලිනුත් සාධාරණයක් ඉටු නොවන නිසා මං දැන් ඒවාට නාට්‍ය නිර්මාණ දාන්නෙත් නැහැ.
ඔබ ප‍්‍රවීණයෙක් විදිහට අලූත් පරම්පරාවේ නාට්‍යය බලනවාද?
විශිෂ්ඨ නිර්මාණ පරණ නොවන නිසා තමයි මනමේ, සිංහබාහු තවමත් දුවන්නේ. දුටුගැමුණුත් තව පරම්පරා කීපයක් පවතීවි. ඉතිහාසය නොදන්නා තරුණ පරපුරක් තමයි අද ඉන්නේ. විහාරමහා දේවිය ගැන ඇසුවාම විහාරමහා දේවි පාක් එක ගැනයි කියන්නේ. එදා තිබුණු නාට්‍ය සංස්කෘතිය අද නාට්‍ය නිර්මාණවල නැහැ. අද නාට්‍යවල නම් ඇහුවමත් හිනායන තත්ත්වයක් තිබෙන්නේ. මම කවදාවත් මගේ නාට්‍ය කලාව පහතට වට්ට ගන්නේ නැහැ.
අමිල චින්තක ගමගේ