සඳදිය මංකඩ යළි හමු වූ පෙම්වත්තු


20160902Sadadiya-1පේ‍්‍රමය සංසාරික බන්ධනයකි. සසර සැරිසරන තෙක් භවයෙන් භවය මුණගැසෙමින් යළි යළිත් වෙන් වෙමින් යන දීර්ඝ සංචාරයකි. මේ නිසාදෝ කිසියම් කෙනෙක් දුටු විගස ඔහු හෝ ඇය කෙරෙහි ඇල්මක් බැදීමක් අපේ සිත්වල උපදියි.

ලන්ඩනයේ වාසය කරන විලියම් ගැන්ස් නම් ඉංග‍්‍රීසි ජාතික තරුණයා ලංකාවට පැමිණ සිංහල භාෂාව හදාරන්නේය.

ලංකාවේ සංස්කෘතිය, සිංහල බසට, උඩරට නැටුම් ආදියට අසීමිතව පෙම් බඳින ඔහු සුබේ නම් නැටුම් ගුරුන්නාන්සේ කෙනකුගෙන් උඩරට නැටුම් ඉගෙන ගනියි. තරුපබා ඔහුට මුණගැසෙන්නේ මෙන්න මේ නැටුම් පංතියේදීය. තරුපබාගේ රුව නෙත ගැටුණු විගසම විලියම්ගේ හිතට මොකක්දෝ ආදරයක් දැනෙයි. ඒ ආදරය අතීත ආත්මයක බැඳුණු පේ‍්‍රමයක් බව වටහාගත් නිසා ඔහුට ඒ අතීත තත්ත්වය මතක් වෙන්නට වෙයි.

මෙදා විලියම් එදා සුදු ආණ්ඩුවේ නිලධාරියෙකි. අද තරුපබා එදා මේනකා නම් වූ පිළිමතලාව වලව්වේ වාසය කළ උඩරට ප‍්‍රබල පරම්පරාවක යුවතියකි. එහෙත්් එදා මේ පේ‍්‍රමයට එක්වීමක් තිබුණේ නැත. සුදු නිලධාරියා පිටුවහල් කෙරිණි.

තම පෙම්වතා නැව් තොටට රැුගෙන යන ආකාරය බලාසිටි යුවතියට හැගුණේ යළිදු කිසි දවසක ඔහු තමන්ට මුණ නොගැසෙන බවයි. පේ‍්‍රමයෙන් තොර ජීවිතය කුමකටදැයි කල්පනා කළ ඇය උස් කඳුමුදුනකට නැග ඉන් පල්ලෙහාට පැන දිවිතොර කර ගත්තාය. තම පෙම්වතිය දිවි හානි කරගත් බව එහිදී නැව් තොටට යමින් සිටි සුදු නිලධාරියාටද දැනගැනීමට ලැබිණි. ඔහුට හිතුනේ ඔහුටද ජීවත් වීම පලක් නැති දෙයක් ලෙසය. ඔහුද දිවි තොරගත්තේ මතු භවයක යළිත් එකිනෙකා හමුවන්නට ගිවිස ගනිමිනි. මෙදා විලියම් සහ තරුපබා එදා එකී ප‍්‍රාර්ථනාවෙන් වෙන් වූ පෙම්වතුන්ය.

20160902Sadadiya-2සසරෙහි සරා යුග යුග අරා

කඳුලැල් පෙරා හසකැන් දරා

මගෙ පෙම්බරා හමුවනතුරා

ඉන්නම් ඉන්නම්...

 

නන්දන උයන් සුර ලද ලියන්

මිනිබැඳි වියන් අතහැර සියන්

පෙම්කව ලියන් නුඹවම සොයන්

ඉන්නම් ඉන්නම්...

 

සුදුරැුස් තලා මේකුළු එලා

පුර හඳ පෙරා කළුවර කලා

පෙති හකුලලා කුමුදක් වෙලා

ඉන්නම් ඉන්නම්....

 

සඳගිරි හිසේ කිඳුරන් ලෙසේ

රන් රස ලෙසේ දිගු මියුලැසේ

සෙවනට කෙසේ හෝ නොවලසේ

ඉන්නම් ඉන්නම්...

 

ප‍්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් සහ දනෝද්‍යා අයෝනි එක්ව මේ ගයන්නේ විලියම් සහ තරුපබා එක්ව ගයන පේ‍්‍රමයේ පේ‍්‍රමණීය ගීතයයි.

ක‍්‍රිෂ් හෙන්රි සහ හිමාලි සිරිවර්ධන එක්ව චරිත නිරූපණය කරන විලියම් තරුපබා ආදර කතාව මේ දිනවල ඉරිදා රාත‍්‍රි 8.35ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන සඳ දිය මංකඩ ටෙලිනාට්‍යයෙන් දැක බලාගත හැකිය.

ප‍්‍රවීණ ගී පද රචක ගයා රම්‍ය අල්විස් සඳ දිය මංකඩ තේමා ගීතය රචනා කළ බැවින් ඔහු ඒ ගීතය ලියන්නට ගත් වෙහෙස පිළිබඳව අපි විමසුවෙමු.

‘‘විජිත මංජුල මට මේ කතාව කිව්වා. ඒ එක්කම පුෂ්ප කුමාර එල්ලාවල ලියපූ තිර රචනයත් මට කියවන්න දුන්නා. මේ කතාව කියවගෙන යද්දී මට හිතුනා මේ තේමා ගීතය මොනවගේ ගීතයක් වෙන්න  ඕනෙද කියලා. විලියම් කියන පෙම්වතාත් තරුපබා කියන පෙම්වතියත් තමන්ගේ පේ‍්‍රම ප‍්‍රාර්ථනාව ගැන කියන හැගීම් හා ප‍්‍රාර්ථනා සමුදායක් තමයි මේ ගීතයේ තේමාව විය යුත්තේ කියලා මට හිතුණේ. අනික මේක ටෙලිනාට්‍යයක තේමා ගීතය එහෙමනම් මෙම ගීතයට කතාවේ ප‍්‍රධානම දේ කැටිවිය යුතුය. මේ සඳ දිය මංකඬේ තියෙන ප‍්‍රධානම දේ තමයි මේ තරුණ යුවලගේ සංසාරගත පේ‍්‍රමය ගිය ආත්මභවයක වෙන්වෙන්න සිදුවුණු මේ ආත්මභවයේදී කුමක් වෙයිද අවිනිශ්චිත එහෙත් දෙහදක් රසවත් කරන පූර්ව භවය හා වර්තමාන භවය අතර චලනය වන මේ අපූරු පේ‍්‍රමය ගැන කියන්න රිද්මයක් සහ ඒ රිද්මයට ගැලපෙන වචන සෙවීම තමා මට අමාරුම වුණු දේ.

20160902Sadadiya-3මේ තරුපබා උඩරට නැවුම් ගුරුවරියක්. විලියම් නැටුම් ඉගෙන ගන්න සිසුවෙක්. මේ නිසාම මට හිතුනා මේ ගීතයේ රිද්මය උඩරට නැටුම් කලාවට සමීප විය යුතුයි කියලා. උඩරට නැටුම් නාද මාලාව මේ ගීතයේ අඩංගු විය යුතුයි කියන සිතිවිල්ල මගෙ හිතේ උපන්නෙ උඩරට බලිතොවිල්වල තියෙනවා පිරිත් හුයේ සන්නය කියල දෙයක් මෙන්න මේ සන්නයෙ එන මේ ගීතයට කදිමට ගැලපෙයි කියලා මං හිතුවා. ඒ අනුවයි මම මේ ගීතයේ රිද්මය හොයාගත්තෙ. ඊළඟට වචන සංගීතය වගේම පද මාලාවත් බොහොම ප‍්‍රභලයි. මේ ගීතයෙන් කියැවෙන්න පුනරුත්පත්තිය. මේක කොහොමටවත් සරල තේමාවක් නෙමෙයි. ඒ හින්දා මං හිතුවා මේ ගීතය සරල වචනවලින් ලියනවාට වඩා සම්භාව්‍ය සාහිත්‍යයේ එන වචනවලින් ලියන එක හොඳයි කියලා. ඔන්න මෙතනදී මට මතක් වුණේ මගේ තාත්තා. මගේ තාත්තා ගීත ලියද්දී අනුගමනය කළ සිරිත් විරිත් මට මතක් වුණා. තාත්තා ඒ වගේ දේවල් මට කියාදීලත් තිබුණා. ඉතින් මම මගේ තාත්තා ඩෝල්ටන් අල්විස්ගේ පාඩම් හිතේ තියාගෙන මේ ගීතයේ පදමාලාව රචනය කළා. ඒ කාලෙ තාත්තා මට නිතර කියපු දෙයක් තමයි සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කළ යුතුයි කියන කාරණය. ඉතින් මම ඒ කාලෙ ඉඳලම සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවනවා. මේ නිසා මට වචන හිඟයක් තිබුණෙ නෑ. ඔය සුර ලදලියන් වගේ වචන මගේ හිතට එකපාරටම ආවෙ මගෙ වාග් කෝෂය පෝසත්ව තිබුණු නිසයි. මම පද රචනය ලියලා විජිත මංජුලට දුන්නා. ඊට පස්සෙ මේක ගියේ නවරත්න ගමගේ ළඟට. ඔහු නාද මාලාවට උඩරට බෙර වාදන, තානම් වගේ දේවල් යොදාගෙන ගීතයට සාධාරණය ඉෂ්ට කළා.

ගීතය පටිගත කරන දවසෙ මමත් ඒ ස්ටුඩියෝ එකේ හිටියා. අමරසිරි පීරිස් හරිම ලස්සනට මේ ගීතය ගායනා කළා. ඔහු සමඟ යුග ගායනයට සම්බන්ධ වුණේ  දනෝද්‍යා අයෝනි. ඇය අලූත් ශිල්පිනියක් වුණත් බොහොම දක්ෂයි. ඇයත් මේ ගීතයට උපරිම සාධාරණය ඉටුකළා කියලා කියන්න පුළුවන්.

 

ශාන්ත කුමාර විතාන

20160902Sadadiya-4 20160902Sadadiya-5