කර්මාන්ත පුරවරයේ අල් අටියාහ් වෙළෙඳපොළේ ඇති මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ඉදිකර ඇති ඉෆ්තාර් කූඩාරමට රාමදාන් පළමු දිනයේ දී රැස්වූ අඩු ආදායම් ලබන සේවකයන් 2000 කට වැඩි පිරිසක් අහාරපාන බෙදා හදා ගත්තේය. පමාවී මෙම අවස්ථාවට පැමිණි පිරිසට ද වතුර බෝතලයක්, රට ඉඳි සහ පළතුරු යුෂ පිළිගන්වනු ලැබීය. ජාසිම් සහ හමාඞ් බින් ජාසිම් පුණ්‍ය පදනම විසින් පවත්වනු ලබන මෙම කූඩාරම තුළ දිනකට පුද්ගලයන් 1,800 කට පමණ ඉඩ පහසුකම් සලසා දිය හැකිය.
“ඒක රාමදාන් මාසයේ පළමු දිනය. අපි බොහෝ දෙනෙක් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් ඒ අනුව තමයි ආහාර සූදානම් කළේ. ඒත් අපි හිතුවාටත් වැඩි පිරිසක් ඊට සහභාගි වුණා” යනුවෙන් පවසන්නේ කූඩාරමේ සංවිධායකයෙකි.
“කූඩාරම පිරෙන්න සෙනඟ හිටියා. සමහර විට පැමිණි පිරිසට අපහසුවක් දැනෙන්න ඇති. ඉදිරියේ දී අපි වැඩියෙන් ආහාර ගේනවා. කිසිම කෙනෙකුගේ බලාපොරොත්තු සුන් වෙන එකක් නැහැ කියලා මම ඔබලාට සහතික වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම කූඩාරමේදී දිනපතාම බත් සහ කුකුළු මස් හෝ එළු මස්වලින් සමන්විත ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලබාදෙනු ලැබේ. ඊට අමතරව ආහාර සමග පානීය ජලය, රට ඉඳි, පළතුරු යුෂ සහ ලබාන් ද පිරිනමනු ලැබේ.
බොහෝ දෙනෙකු මෙම කූඩාරම වෙත පැමිණෙන්නේ පස්වරු 4 ට අස්ර් යාඥාව අවසන් වීමෙන් පසුවය. ආහාර සිවු දෙනෙකුට අනුභව කළ හැකි සවානක් ලෙසින් ලබාදෙයි.
“අද කූඩාරම තුළ විශාල සෙනඟක් හිටියා. මට යාළුවොත් එක්ක හරිම අපහසුවෙන් තෙරපිලා තමයි ඉන්න වුණේ” යනුවෙන් එක් සේවකයෙක් පවසයි. “ඒත් ආහාර හැම කෙනෙක්ටම ඇති වෙන්න තිබ්බා. ඉතුරු කෑම සේවකයෝ දෙන්නෙක් අරගෙන ගියා. ඒවා සමහර විට සුහූර් වේලාවට කෑමට ගනියි” යැයි ඔහු වැඩිදුරටත් පවසයි. “ඉතිරි වන කෑම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණේ නැහැ. මිනිස්සු ඒවා පස්සේ කන්න කියලා තමන් නවාතැන් ගෙන ඉන්න තැන්වලට ගෙන ගියා” “සෙනඟ එන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. රාමදාන් මාසය ආරම්භයත් සමගම හැම අවුරුද්දකම මේක වෙනවා. සාමාන්‍යයෙන් දින කිහිපයකින් සෙනඟ ටික ටික අඩුවෙනවා” යැයි තවත් සේවකයෙක් පවසයි. දිනෙන් දින ඉහළ යන අඩු ආදායම් ලබන සේවකයන්ට ආහාර ලබාදීම සඳහා කර්මාන්ත පුරවරයේ තවත් කූඩාරම් කිහිපයක් ද ඉදිකර ඇත. වීදි අංක 2 සහ අංක 47 යන ස්ථානවල අඩුම තරමින් මෙවැනි කූඩාරම් දෙකක් වත් ඉදිකර ඇති අතර ඒවායේ පුද්ගලයන් දහස් ගණනකට ඉඩ පහසුකම් ඇත.
සමහර පුණ්‍ය සංවිධාන කර්මාන්ත පුරවරයේ සහ කම්කරු නේවාසික ප්‍රදේශවල ජනාකීර්න ස්ථානවලදී ඉෆ්තාර් ආහාර පාර්සල් බෙදා දෙන අතර මෙවැනි එක් කූඩාරමක් සඳහා දිනකට කටාර් රියාල් 50,000 ක් පමණ වැය වන බව දේශීය පුණ්‍ය සංවිධානයක නිලධාරියෙක් පවසයි.