‘කන්ද නාය ගියාට පස්සේ වැළ නොකැඩී බලන්න ආවා. දැන් නම් බලන්න එන පිරිස අඩුයි. නාය යෑම නිසා කන්දේ තිබුණු ගෙවල් නැතිව ගියා වගේම ගමේ මිනිස්සු හැමදාම නාපු ඔයත් නැතිව ගියා.’ යැයි ගැවිලිටිපිට දෙබත්ගම පාරේ සාමසර කන්ද පෙනෙනතෙක් මානයේ ගම් වැසසියකු වන පී.කේ. පුංචිබණ්ඩා කීවේය.
‘ඔයේ මඩ තට්ටු තට්ටු පිරිලා. මඩ ගඳයි, කුණු ගඳයි දෙකම එනවා. ළිඳ තියෙන්නෙත් වෙළ අයිනෙමයි. දැන් ළිඳේ වතුරත් බොන්න බයයි.’ පුංචි බණ්ඩාර කියාගෙන ගියේය.
අරණායක ගෙවිලිපිටියෙන් හැරී දෙබත්ගම මාර්ගයේ සිට කිලෝමීටර හතරක් පමණ පැමිණි පසු අරණායක කඳු පාමුලට යන මාර්ගය හමුවෙයි. එළඟිපිටිය සාමසර කන්ද නාය ගිය මුල් දින කිහිපයේ මෙන් ඉරිදා (29) සවස් වරුව වන විට ගැවිලිපිටිය හංදියේ පොලිස් මුර නොතිබිණි. පොලිසියේ කහ පැහැති මාර්ග බාධකය පමණක් ගැවිලිපිටිය හංදියේ පැත්තකට වන්නට තිබෙණි.
පසුගිය වෙසක් පොහොය දා වන විට ගැවිලිපිටියෙන් දෙබත්ගම මාර්ගයට පිවිසීමට පැයක් පමණ බලා ඉන්නට වූයේ අති විශාල පිරිසක් සාමසර කන්ද නැරඹීමට හා ආධාර රැගෙන පැමිණීමෙන් එම මාර්ගය අවහිර වී තිබුණු බැවිනි. ඉද හිට යන එන වාහනයක් හැරෙන්නට අද (30) වන විට එම මාර්ගය පාළුවට ගොස් තිබිණි.
ගෙවිලිපිටිය හංදියේ සිට හත්ගම්පොළ පාසල ගාවට එද්දී අරණායක සාමසර කන්දට යන දෙවැනි මාර්ගය දක්නට ලැබෙන අතර එහි පිවිසුමේ එල්ලූ බැනරයක සඳහන් වුයේ ‘මෙය අවධානම් කලාපයකි, ඇතුළු වීම තහනම්‘ යනුවෙනි. එය එල්ලා තිබුණේ පොලිසියෙනි.
ඒ අසලම තරුණයෝ හතර පස් දෙනෙක් කතා බහ කරමින් සිටියහ.
‘මීඩියා නේද? අපිටත් කියන්න දේවල් තියෙනවා‘ කියමින් ඔවුහු කතාවට එක් වූහ.
‘ගමේ ගෙවල් ගියපු මිනිස්සු වගේම අවධානමක් තියෙනවා කියලා අයින් කරපු අයත් කදවුරුවල ඉන්නවා. හානියක් වුණු අය වගේම හානියක් නොවුණු අයත් කඳවුරුවල ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දහලා දෙන පාටක් තවම පේන්න නෑ. හැමදාම ඉස්කෝලවල, පංසල්වල ඉන්ඩ බැහැනේ. දැන් මේ වැඩ පටන් ගන්න කල්.’ කියමින් තරුණයෝ පිරිස එක දිගටම කියාගෙන කියහ.
ටික වේලාවකින් එතැනට පැමිණියේ දෙබත්ගම පල්ලේබාගේ ගම්මානයේ ගාමිණී දිසානායක මහතාය. ඔහු ලංගම ඩිපෝවක රැකියාව කරන අතර සාමසර කන්ද නාය යෑමෙන් ඔහුගේ නිවස ඉතිරිව තිබුණ ද ඔහුගේ සහෝදරයා සිටි නිවස නාය ගොස් තිබිණි. එහි සිටි සහෝදරයා සහ ඔහුගේ බිරිය දැන් සොයාගන්නටවත් නැත. තම සහෝදරයන් සිටි නිවස ප්‍රදේශය යුද හමුදාවෙන් සෝදිසි කරද්දී පසුගිය වෙසක් පොහොය දා ගාමිණීද එතැනටම වී බලා සිටියේය. නමුත් ඔහුගේ ඥාතීන්ගේ සිරුරු සොයා ගැනීමට නොහැකි විය. ගාමිණීගේ නිවස ඉතිරි වී තිබුණ ද එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම්දීමක් ලැබුණු නිසා ගාමිණී දැන් ජීවත් වන්නේ දෙබගත්ගම විහාරස්ථානයේය.
‘ඇතුළුවීම තහනම්’ යනුවෙන් ගසා තිබූ මාර්ගය දිගේ ගාමිණී පෙරටුකරගෙන අපි පල්ලෙබාගේ ගමට ඇතුළුවීමු.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර 150ක් පමණ යද්දී පාර හරහා ගලා බසින ඔය හමුවෙයි. එම ප්‍රදේශයෙන් දැඩි දුඟදක් හමයි.
‘මේ ඔය තිබුණේ බෝක්කුව යටින්. දැන් ඔයේ පාර වෙනස් වෙලා. පාර හරහා ඔය යන්නේ.මඩ තට්ටු තට්ටු පිරිලා තියෙන්නේ කුඹුරු යායේ.’ යැයි අවට පෙන්වමින් ගාමිණී විස්තර කළේය.
පොල්, මඤ්ඤොක්කා, වී, කෙසෙල් ආදී බෝග වගා කර තිබූ එම ප්‍රදේශයේ දැන් ඒවා පෙනෙන්නට නැත. ඇත්තේ කඩා වැටී මඩේ එරුණු පොල් කදන් පමණි. ප්‍රදේශයේ ඉතිරිව තිබූ ගෙවල්වල කිසිවකු නොසිටි අතර ඇතැම් නිවෙස් වල විදුලි බුබුලු දැල්වෙමිනි තිබිණි.
‘මේ කන්දේ දැන් මේ ගල මතු වෙලා තියෙන පැතිවල තිබුණේ ගෙවල්. ඒ ගෙවල්වල ලයිට් දැම්මාම ඉස්සර රෑට හරිම ලස්සනයි කන්ද උඩින් තැනින් තැන එළි ගොඩක් පේනවා. දැන් අඳුර වැටෙද්දි ඒ පැත්ත දැක්කම බය හිතෙන්නේ.’ ගාමිණී කීවේය.
සවස 6.45 පමණ වන විට අඳුර වැටෙද්දී කන්ද පැත්තට යාම සුදුසු නැතැයි යෝජනා කළ ගාමිණී ආපසු ප්‍රධාන පාරට යමු යැයි යෝජනා කළේය. ප්‍රධාන පාරට එන කොන්ක්‍රීට් මාර්ගය මඩ වලින් යටවී ඇති අතර ඒ මතින් එද්දී සෙමින් ගොරවන වැනි සද්ධයක් ඇසෙද්දීම ගාමිණී තිගැස්සී පසු පසට හැරී සාමසර කන්ද දෙස බැලුවේය.
‘මෙන්න මේ විදියට ලොකු සද්ධයක් තමයි ආවේ. මං ඒකයි ආයෙත් මේ පිටිපස්ස බැලුවේ. දැන් ඇහෙන්නේ නම් මේ වතුර පාරේ සද්දෙ.’ ගාමිණි කීවේය.
ගාමිණී මෙන්ම අරණායක බොහෝ දෙනෙක් ගොරවන සද්ධයක් ඇසුණත් බියට පත් වෙති. දෙබත්ගම විහාරස්ථානේ සහන මධ්‍යස්ථානයේ සිටින කිහිප දෙනකු පසුගිය දින කිහිපයේ ගොරවන සද්ධයක් ඇසුණත් ළඟ ඇති ඉටිකවරය හා ළඟ සිටින ළමයා ඇදගෙන එළියට දුවන්නට හැදූ අවස්ථා එමට බව එම මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙක් කීවේය.
අරණායක පාසල් පසුගිය සතියේ ආරම්භ වුවද නිසි ආකාරයට පාසල් ආරම්භ වූයේ ඊයේ (30) ය. අරනායක සාමසර කන්දට ළඟම පාසල හත්ගම්පොල මහා විද්‍යාලයයි. හය ශ්‍රේණියෙන් ඉහළට පන්ති ඇති එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන්නේ ඊ.එම්. විමල් එදිරිසූරිය මහතාය. යුද හමුදාවේ පිරිස් නවා තැන් ගෙන සිටියේ ද එම පාසලේය.
ඩෙස් බංකු උඩ නිදා සිටි යුද හමුදාවේ සාමාජිකයෝ අලුයම හය වන විට නිල ඇඳුම් ඇඳ ඩෙස් බංකු අස් කර පන්ති කාමරවලින් ඉවත්වී තිබිණි. උදෑසන 6.30 වන විට හත්ගම්පොල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ද පාසලට පැමිණ තිබිණි.
මෙම පාසලේ සිසුන් 11ක් අතුරුදන් වී ඇති අතර දෙදෙනකුගේ සිරුරු හමු විය. ළමයින් 20 දෙනකුගේ පමණ ගෙවල් දොරවල් අහිමි වී තාවකාලික කඳවුරුවල ජීවත් වෙති.
උදේ හතේ සිට ළමයින් එකා දෙන්නා පාසලට එන්නට වූහ. සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය පාසල් සිසුන් කිහිප දෙනකුගේ ඇතුළු මරණ දැන්වීම් බැනර් පාසල් ගේට්ටුව ඉදිරිපිට ගසා තිබිණි. උදෑසන පාසල් එන සිසුන් එම මරණ දැන්වීම් අසල රොක්වී තම හිතවතුන් සිටිත්දැයි වට වී බලා සිටින දර්ශනය බොහෝ දෙනකුට ශෝක ජනක දර්ශනයක් විය.
පාසලට එන ඇතැම් සිසුවෙක් පැමිණියේ පාට ඇඳුම් ඇදගෙනය. සමහරුන්ගේ සපත්තු නොතිබිණි. ඔවුහු පාවහන් පැළැඳ සිටියහ. පාසලට පැමිණි සිසුහු බොහෝ දෙනෙක් සාමසර කන්දේ නාය ගිය පෙදෙස සෙල බලා කසුකුසු ගානු දක්නට ලැබිණි.
අරණායකට අද උදෑසනටත් මහ වැසි ඇද හැළිණි.
ශ්‍රි ලංකා යුද හමුදාව පසුගිය දින දෙකේ සෝදිසි මෙහෙයුම් සිදු කළේ නැත. හදිසි අවධානමකට මුහුණ දීමට ඔවුන් සීරුවෙන් තබා ඇත.
ගමේ එකා දෙන්නා තවමත් කන්ද දෙස බලා හූල්ලනු අරණායකට එන ඕනෑම කෙනකුට දැක ගත හැකිය.
සාමසර කන්දේ සිට එන වතුර පාර ඔයට එකතු වීම නිසා අවට ළිංවල ජලය අපිරිසිදු වී ඇති බව හා ඔයෙන් ප්‍රයෝජන ගත් පිරිසට දැන් එය සිදුකිරීමට නොහැකිවීම සත්‍යදැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතාගෙන් විමසූවිට ඔහු කීවේ එවැනි පැමිණිලි ලැබී නොමැති බවයි. නමුත් ගඟේ මඩ ගඳ ඒ ප්‍රදේශයට ගිය විට තමන්ට ද දැනෙන බව ඔහු කීවේය.
ශ්‍රී ලංකා රුතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතාගෙන් විමසූ විට ඔහු කීවේ කන්දේ සිට එන ජලයේ විෂබීජ තිබිය හැකි බැවින් කන්ද බලන්නට එන අයද ප්‍රදේශයට නොඑන ලෙස උපදෙස් දී ඇති බවයි.
‘කඳවුරුවල ඉන්න අයට නම් අපි වතුර බෝතල් දෙනවා. නැත්නම් උණුකර නිවාගත් වතුර දෙනවා. අනිත් අයගේ ළිං පිරිසිදු කළ හැකිදැයි සොයා බලනවා. කන්දේ සිට එන වතුර පාරේ විසබීජ තයෙන්න පුළුවන්. ළිං පිරිසිදු කිරීමට ක්‍රමවේදයක් ගැන අපි සොයා බලනවා.’ යැයි ජොනී මහතා කීවේය.