‘‘එක පාර්ශ්වයක කැපවීමෙන් පමණක් සංහිඳියාව ගොඩ නගන්න බෑ. දෙපාර්ශ්වයේම කැපවීම අවශ්‍යයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඒ කැපවීම ලැබිය යුතුයි.‘‘ යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘‘ රට බෙදන ෆෙඩරල් යෝජනා එපා‘‘ මැයින් ජාතික හෙළ උරුමයේ අවිස්සාවේල්ල ජන සභාව සංවිධානය කළ වැඩසටහනක් අමතමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
‘‘රටක ජාතික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්නේ පාර්ලිමේන්තුව. ඒ පිළිබඳ කිසිම අයිතියක් පළාත් සභාවකට දීලා නෑ. තමන්ට ආවේනික වූ විෂය පතයක් පළාත් සභාවලට තිබෙනවා. එය ව්‍යවස්ථාවේ ලියැවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑ ජාතික ප්‍රතිකප්තියක් සංවාද කළ හැකියි. රටේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ කතා කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.
උතුරේ යෝජනාව සම්මත කළේ හේතු දෙකක් මතයි. එකක් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගෙනයි. අනික ව්‍යවස්ථාව තැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ල කිරීමේ අරමුණින්.
පළමු වැතාවට ඒ වී රාමසාමි නායක්කර් කියන පුද්ගලයා තමයි දකුණු ඉන්දියාවේ ගාන්ධිට විරුද්ධව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේ. ද්‍රවිඩස්ථානයක් ඕනෑ කියා සටනක ඔහු නිරත වුණා. ඉන්දියාවේ දකුණේ ප්‍රාන්ත හතරම එකට එකතු කර දෙමළ රාජ්‍යයක් සැදිය යුතුයි කියා 1939දී වැඩ පිළිවෙළක් ආරම්භ කළා. කරුණානිධි එදා ඒ වැඩපිළිවෙළට තරුණයකු ලෙස දායක වුණා. ඔහු ඒ කාලයේ චිත්‍රපට තිර රචකයෙක්. රාමසාමි නායක්කරුත් ඔහුගේ දෙවැනියා වූ අන්නදොරේත් කරුණානිධිත් ඉන්දියාවේ නිදහස ගනිද්දි අපේ එල්ටීටීඊ සංවිධානය පිහිටෙව්වා වගේ ලොකු සටනක් ගෙනිච්චා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියමින්. ඒ සඳහා සන්නද්ධ ව්‍යාපාරයක් පිහිටෙව්වා. මේ විදියේ වැඩ පිළිවෙළක් ගෙනිච්චා. මුලදී ප්‍රාන්ත මැතිවරණවලට තරග කළේ නෑ.
මෙහෙයම ගිහින් රාමසාමි නායක්කර්ගෙන් අන්නදොරෙයි කරුණානිධියි කැඩී ගිහින් දෙමළ කසාගම් ව්‍යාපාරය, දෙමළ මුන්නේත්‍ර කසාගම් පක්ෂය කියන දේශපාලන පක්ෂය පිහිටෙව්වා. මෙතරම් කාලයක් ඡන්දය ඉල්ලන්නේ නැතිව සටි මිනිසුන් 1957 දී මදුරාසි ප්‍රාන්තයේ ඡන්දය ඉල්ලුවා. ඡන්දයෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුණා. නමුත් පාලන බලය පිහිටුවන්න බැරිවුණා. පාලන බලය පිහිටෙව්වේ නේරුතුමාගේ පක්ෂයයි. නැවත 1962 මැතිවරණයේදී කරුණානිධි නැවත ඉල්ලුවා. නමුත් ජයගන්න බැරිවුණා. ඊළඟ මැතිවරණයේදි කරුණානිධි දිනන්න ඉඩ ඇති බව නේරුතුමාට තේරුණා. අපේ නායකයන් වගේ නොවෙයි, නේරු තුමා වහාම තීරණයක් ගත්තා. කරුණානිධි ඇතුළු සියලුම දේශපාලන ව්‍යාපාර තහනම් කළා. සන්නද්ධ අංශය මර්දනය කළා. එක ඉන්දියාවක් පිළිනොගත්තොත් කිසිම මැතිවරණයකට තරග කිරීමට ඉඩ නොදෙන බවට නියෝගයක් කළා. ඒ අනුව සියලු දෙනා අත්අඩංගුවට ගන්න තීරණය කළා.
අපේ රටේ වගේ පාර්ලිමේන්තුවට ඇවිත් එක් දෙයක් කියමින් වෙනත් තැනකට ගිහින් වෙනත් රාජ්‍යයක් ඕනෑ කියන්න ඉන්දියාවේ බෑ. ඊට දඬුවම් දිය හැකි නීති ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව කරුණානිධි මහත්තයා ඓතිහාසික තීරණයක් ගත්තා. අපි ආයුධ අත හැර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනිමින් සාමකාමී ගමනක් යන බවට තීරණය කළා. අපි ඉන්දියාව බෙදන්න යන්නේ නෑ, එක ඉන්දියාවක් පිළිගන්නා බව ඔවුන් කිව්වා. ඒ අනුව 1967දී ඒ ප්‍රාන්තයේ බලය අල්ලා ගත්තා. අද වනතුරු ඒ ඒ පක්ෂ තිබෙනවා. දකුණු ඉන්දියාවේ කවුරුවත් ෆෙඩරල් ඉල්ලන්නේ නෑ. මේ ආදර්ශය ලංකාවේ උතුරේ දේශපාලකයන් පවත්වාගෙන යා යුතුයි. මේ රටේ ත්‍රස්තවාදයට නැවත ඉඩක් නැති බව මතක තබා ගත යුතුයි. ත්‍රස්තවාදය නිසා වූණේ දෙමළ ජනතාව පස්සට ගිය එක පමණයි. රට ආර්ථික සමාජ ලෙස විනාශ වුණු එක පමණයි ත්‍රස්තවාදය නිසා සිදු වුණේ.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මීට අවුරුදු හතකයට පෙර නන්දිකඩාල්වලදී පෙන්නුවා ත්‍රස්තවාදයට කවදාවත් ජයග්‍රහණය කළ නොහැකි බව. විදේශ හමුදා සහයකින් තොරව අපි ත්‍රස්තවාදය පරාජය කළා.
අද පපුවට ගහගෙන කතා කර බොරු දේශප්‍රේමීන් ඉන්නවා. එදා ඒ කිසිවෙක් ත්‍රස්තවාදයට එරෙහිව කතා කරන්න ආවේ නෑ. එදා ත්‍රස්තවාදීන් මාවිල්ආර් සොරොව්ව වසා අබියෝග කළ අවස්ථාවේ අද දේශප්‍රේමීන් කියන පිරිස් එදා අපේ ජනතාව වෙනුවෙන් මාවිල්ලාරු ගියේ නෑ.
මේ රටේ 1982 සිට තැබූ ජනාධිපතිවරණවලදී තුවක්කුව හරස් වුණා. එක්කෝ තුවක්කුව අල්ලලා උතුරේ ජනතාවගේ ඡන්දය දාන්න දුන්නේ නෑ. 88 ජනතා විමුක්ති පෙරමුණේ දකුණේ තුවක්කුව එල්ල වුණා. අපට නිදහසේ ඡන්දය දෙන්න ලැබුණු පළමුවැනි ජනාධිපතිවරණය තමයි 2015 ජනාධිපතිවරණය. මහින්ද රාජපක්ෂ මහතා 2005 උතුරෙන් ලබා ගත් ඡන්දය වගේ දෙගුණයක් 2015 ජනාධිපතිවරණයේ දී ලබා ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරේ හා දකුණේ බහුතර ඡන්දය ලැබුණා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මුළු රටේම ජනාධිපතිවරයා ලෙසයි මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුණේ. එය විශේෂ තත්ත්වයක්. රටේ ජනාධිපති තෝරන්න දෙමළ ජනතාව මැදිහත් විය යුතු නැතැයි කියන එල්ටීටීඊයේ මතය වෙනස් කරමින් රටේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්න දෙමළ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ඡන්දය දුන්නා.
එක පාර්ශ්වයක කැපවීමෙන් සංහිඳියාව ගොඩ නගන්න බෑ. දෙපාර්ශ්වයේම කැපවීම අවශ්‍යයි. සිංහල, දෙමළ සහ මුද්ලිම් ජනතාව පැත්තෙන් ඒ කැපවීම ලැබිය යුතුයි.
ආරක්ෂක හමුදාව ඉඩම් අල්ලන් ඉන්නවා කියා බොහෝ දෙනකු චෝදනා කරනවා. හමුදාව ආරක්ෂාව තහවුරු කර ගත් පසු ඉඩම් අදාල අයට දිය යුතුයි. එය තමයි අපේ ස්ථාවරය. එමෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් පැහැර ගත් සිංහල සහ මුස්ලිම් ජනයාගේ ඉඩම් නැවත ලබා දීමේ යුක්ති සහගත වැඩ සටහනක් අවශ්‍යයි. සාමය සංහිඳියාව බිහිවෙන්නේ ඒ මගින් පමණයි. දකුණේ, කොළඹ, අවිස්සාවෙල්ලේ දෙමළ ජනතාව ඉතාම සමගියෙන් ජීවත් වෙනවා. අපි සමාන අයිතීන් ලබා දෙනවා. කොළඹ නිවාස දෙද්දී ඔහු සිංහලද, දෙමළද, මුස්ලිම්ද කොයි පක්ෂෙද බලන්නේ නෑ. අපි බලන්නේ පැල්පත් වාසීන්ද නැද්ද කියන එක පමණයි. බහුතරයක් ඒ නිවාස ලැබෙන් දෙමළ මුස්ලිම් ජනතාවට. අපි ඊට සාප කරන්නේ නෑ. ඒ ජනතාව දුප්පත්කමේ පත්ලේ සිටින පිරිසක්. මේ ආරද්ශය විග්නේෂ්වරන් මහත්තයාත් ගත යුතුයි.
අපි විරුද්ධ අන්තවාදයට, ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට පමණයි. සමගියේ ආදර්ශය ඉදිරියට යා යුතුයි. ත්‍රස්තවාදය ඉදිරියට ගෙන යන පිරිස් පරාජය කළ යුතුයි.
විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබෙනවා. රාජපක්ෂ යුගයේ තිබුණු ඒකාධිපති පවුල්වාදය අද දකින්න නෑ. අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. අධිකරණයට තමන්ගේ හිතවතුන් පත් කර අධිකරණය දූෂණය කරන්න මින් ඉදිරියට බෑ.
දූෂිත රාජපක්ෂ පාලනයේ ජුන්ටාවේ හවුල්කරුවන් පොලිස්පතිලා, නීතිපතිලා කරන්න සමහරුන්ට ඕනෑකම තිබුණා. ඒකාබද්ධ විපක්ෂයයි කියා ගන්නා කල්ලියේ කිසිවකුට නව පත්විම් ප්‍රශ්න කරන්න බෑ. අපේ ඊළඟ ඉලක්කය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි.‘‘