‘ආලය කවියේ උල්පතයි‘


ආලයවන් මන රම් කවි කම් දෙන
සිතුමින කොද විස්කම්
හදවත් වී සමහම් නෙගැයුම් කර
සිඳ බිඳ ලයි බව ගිම්

පැන සර මහා බෝසතුන්
විරතට පැමින නොමින්
පබවත වෙත බැඳෙමින්
පුද දුන් උනු කඳුලෙන්
ආලය නම් මනු දම් අද හම් නිති
එතැනය සබය සුදම්

සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනු දම් සුරකින් නිති
එතැනය සුර ලොව නම්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳන ලදුව දිවංගත ඔස්ටින් මුණසිංහ සූරීන්ගේ කර්ණ රසායන සංගීත රචනයට අනුව විශාරද නන්දා මාලිනී ගායන වේදිනිය විසින් ගැයුනු කන්කළු ගීයෙකි මේ. මේ ගීයෙන් කියැවෙන්නේ ආලයේ ඇති සර්වව්යාපී බවය. සන්තකි ගුණයය. සත්තාප භාවයය. සංජීවන ගුණයය. සකාම බවය. සකම්පනතාවයය. සංශ්ලේෂ්ණතාවයය. සංලග්න බවය. සාර්වකාලීක බවය. ස්ත්රී පුරුෂ දෙපක්ෂයෙහි සිත් තුල මානුෂීය ධර්මතාවක් ලෙසින් ඉපිද වැඩෙන ආලය හෙවත් ආදර ලෝකයේ බොහෝ දෑ වෙනස් කොට ඇත. ලෝකය දිනූ මහ රණ ශූරයෝත් සාම් රාජ්‍ය පාලනය කළ මහා නරපතියෝත් විමුක්තිය ලබන්නට වල වැද කෙළෙස් තැවූ තවුසෝත් උග්‍ර වේත්‍රධාරීහුත් ආලයෙන් ඇ‍ළලුනහයි ඉතිහාසයෙන් පෙනේ. ආලයට බිලිවීම නිසා මහා රාජ්යයක් විනාශ වූ බව මහා කවි හෝමරයන්ගේ වීර කාව්‍යයෙන්ද පෙනේ. මුළු ලෝකයේම සාහිත්‍ය රසය පළමුකොට ගලා යන්නේ ආදරය හරහාය.

ආලයවන් මන රම් කවි කම් දෙන සිතුමින කොද විස්කම්

ආදරය වැනි වූ මනෝරම්ය කිවියාවක් ලබාදෙන විශ්ව කර්ම ශක්තිය ඇති චින්තාමාණික්‍යයක් කොහිද යනු මෙහි අරුත්ය. යමෙක් ආලයෙන් ඇළලුනේ හේ කවි කම් දැන ගනියි. ඔහුට ලැබෙන්නේ නිකම්ම නිකං කවි කම නොවේ. මනරම් කවි කමෙකි. ඒ විස්වකර්ම කිවියාවෙකි. එබැවින් ආලය සිතූ පැතූ දෑ දෙන මැණිකකි. සිතුමිණකැයි කියන්නේ එබැවිනි. ආලයෙන් මැඩුනහු මනෝ ලෝකයේදී ඔහුට කිසිවක් නොවරදීයි. හැම විට සුභ පක්ෂයම දනියි. ඔහුට කවි කම ලැබෙයි. සොඳුරු බවින් පිරි මනරම් කවි කමෙකි. ආලයට කළ නොහැක්කක් නොමැත. එය සිත පිනවා පසිඳුරන්ද පිණවයි. අතට ගත් මැටි පිඬ විවිධ හැඩ රූ රටා මවන්නා සේ ආලය පිළිබඳ විවිධ ද්රුෂ්ටි කෝණයෙන් විමසූ අවස්ථා සංස්කෘත සාහිත්යයේ දැක්වෙයි. දැඩි බද්ධ ප්රේමයෙන් බැඳුනු පුරුෂයෙකු තම පියඹ වෙන්ව ගිය කළ මෙසේ කියති. "ඇය මා කරෙන් ඈත්ව ගිය කල ඒ මාසය මට වර්ෂයක් මෙන් දැනෙයි. ඇය මා කරා එන කල ඒ වර්ෂය මට මාසයක් මෙන් දැනෙයි" යනුවෙනි. තවත් පෙම්වතෙකු මෙලෙස කියයි. "ප්රියාවිය නොදක්නා කල දකින්නට රිසි වෙයි. දුටු කල වැලඳගන්නට සිතෙයි. වැලඳ ගත් කල එකම පැතුම වන්නේ ඇගේ සහ මගේ සිරුරු එකක්ම වී අභේදව පවතීවා යනුය." මේ ආලය හෙවත් බැඳීමේ හැටිය. තථ්ය ප්රේමය අතීශය සුන්දරය. අතීශය වේගවත්ය. අතීශය ගාම්භීරය. අතීශය භයංකාරය. අතීශය වේදනා කාරීය. විප්රලම්භය නොඉවසයි.

එහෙත් සමස්ත ආලය එක්නෙකා කෙරෙහි සංසක්තිය උපදවයි. එය ජීව විද්යාත්මක ප්රබලම සාධකය ලෙස විද්වත්හු සළකති. ආලයෙන් තොරව මිනිස් සංහතිය පවතින්නටද නොහැකිවා සේම ජීවත්වන ලෝකය ජීවත් වීමට තරම් සුන්දර ස්ථානයක් කරන්නටද නොහැකිය.

හදවත් වී සමහම් නෙගැයුම් කර සිඳ බිඳ ලයි බව ගිම්

ආලය නිසාම හදවත් සමහං වේ. හෙවත් එක්වේ. එලෙස එක්ව එකිනෙක අමතා නොගැයුම් කරතියි කවියා කියයි. නොගුයුම් නම් නොයෙක් ගැයුම්ය, ගායනාවන්ය. ආලයෙන් සමහන්ව ගයන ගැයුම් ඇසෙන්නටද නොඇසෙන්නටද පුළුවන. එම ශබ්ද අනාහත හා ආහත ශබ්ද වශයෙන් හැඳින්වේ. මාර්ග සංගීතයේදී මේ ශබ්ද භාවිත වේ. එයින් කියැවෙන්නේ කනට හා හදවතට ඇසෙන නාදයන්ය. හදවතට පමණක් ඇසෙන්නට කීමේ හැකියාව ආලයට ඇත. ඒ අනාහත නාද විසිනි. එලෙස ගයන ආලය ඉන් උපදනා ශාන්ත සුන්දර සුළලිත බවින් භවයේ හැසිරීමෙන් අප ලබන ගිමන සමනය කර නිවාලයි. ආලය එතරම්මැ බලවත් බැව් කියැවෙයි. ආලවන්ත හිතට දුම් දොම්නස් නොඑයි. නිරන්තරව රස රස දෑ හිතෙයි. රස තැන් වල වැතිරෙයි. රසම සොයා යෙයි. නිතොරවැ රසායනය වෙයි. ආලයෙන් ලබන කවිකම නිසාම ආලය වෙනුවෙන් තියු ගී ගයයි. එහි සුන්දරත්වයම ජීවිතයට ගෙන විඳියි.

මේ ගීයෙහි ලා කවියා බෞද්ධ සාහිත්යයේ ඇතැම් තැන් මොනවට ස්පර්ශ කර ඇත්තේය.

පැන සර මහා බෝසතුන් - විරතට පැමින නොමින්
පබවත වෙත බැඳෙමින් - පුද දුන් උනු කඳුලෙන්

නුවනින් සරු සාර වූ මහා බෝධිසත්වයන් වහන්සේ පවා එක් භවයකදී කුස රජු ලෙසින් පබවතිය වෙත බැඳී ඉන් විරතට හෙවත් වෙන් වීමට පැමිණ උණු කඳුළින් පූජා කළේ ආලයයි. සසර දුක දිනන්නටම නියත විවරණ ලැබ එක් එක් භවයන්හි සැරිසරමින් ඉපදෙමින් මියෙමින් බුදු බව ලබනුව නැණ වැඩූ මහ බෝසතුන් පවා කුස රජු ලෙස ඉපිද පබවත වෙත බැඳී වෙන්වීමේ දුක දරා ගන්නට බැරිව කඳුළෙන් දළ සොවින් උන් බව ජාතක කථාවේ කියවේ. කෙළෙස් ප්රහීන කෙරෙමින් යන බෝධිසත්ව අවදියේදී පවා ඒ මහා පුරුෂයෙකුගේ වුව මනසේ දේහය කලඹන්නට ආලයට හැකි විය. ආලය කෙටි කලකට වුවත් ඉතා ප්රබලව ක්රියාත්මක වෙයි.

ආලය නම් මනු දම් අද හම් නිති - එතැනය සබය සුදම්

ආදරය මනුෂ්ය ධර්මතාවක් ලෙස ගන්නා බව කවියා කියා සිටී. මනුෂ්‍ය ධර්මතාවන් බොහෝය. ඒ මිනිස් සිතේ ක්රියාකාරීත්වය පිළිබඳව ඇති විශේෂතාවයන්ය. මනුෂ්ය ධර්ම අතර ග්රාම්‍ය ධර්මද තිබේ. ග්රාම්ය ධර්ම යනු මෛථූනයයි. මෙහිදී ද ආලය පෙරදැරිව සිටිනු පෙනේ.

අපේ සිංහල සුභාෂිත කාව්‍ය ග්රන්ථයේද මෙම ග්රාම්ය ධර්මය පිළිබඳව කිසියම් විවරණයක් ඇත.

ලියන් තන නොසිපියෙද සිහිනෙන් විතර
උපන් මව යොවුන් වනයට පොරෝ යුර

මෙහි කියැවෙන්නේ ලඳුන්ගේ තන මඩල සිහිනෙන්වත් සිප ගැනීම යයි අලගියවන්න කිවියරයා අදහස් කරන්නේ මෛථූනය යැයි මම හඟිමි. එය නොකල තැනැත්තා තමන් ඉපදීමෙන් කර ඇත්තේ සිය මවගේ යෙවුන් බව නැසීමකි.

ආලය යනු කාමය යැයිද මතයකි. ආලය නම් වූ ඇල්ම කාමය උපදවන බව කියවේ. ස්නේහය යැයිද එය හැඟවෙයි. පැරණි සංස්කෘත සාහිත්යයේ එබව දැක්වේ.

ස්ත්රීෂු ජාතො මනුෂ්‍යානාං ස්ත්රීණාංච පුරුෂෙෂු වා
පරස්පර කෘත: ස්නේහ: කාම ඉත්‍යාභිධීයතෙ

ගැහැනුන් හා පිරිමින් කෙරෙහි පස්පරව උපදනා ස්නේහය හෙවත් ආලය කාමය යැයි කියනු ලැබේ යි මින් කියවේ. මනුදම් යැයි කවියා හඟවන්නේ මෙය යැයි මට හැඟේ. එය අනුරාගයද ඉක්මවා ලිය ලෝකාස්වාද රතිය බැව් කිය හැකිය.

යොවුනෙහි දී මෙවුන්දම් සෙවිය යුතු බව ශ්රී නිත්යනාථාචාර්යයෝ ශ්ලෝක පදයෙකින් කියති.

අසේවනාන්මේහ මේදෝ ග්රන්ථිරශනේශ්ච මාර්දවම්
ඉන්ද්රියානාං ච ජඩතා ප්රාප්‍යතේ යෞවනේ ජනෛ:

යොවුන් වියේදී මෙවුන්දම් සේවනය නොකිරීම නිසා ප්රමේහ රෝගද මේදස් වර්ධනයෙන් වන ග්රන්ථි රෝගයද කායාග්නිය දුර්වල වීමද ඉන්ද්රියන්ගේ ජඩ හෙවත් හිස් බවද ඇතිවේ යනු අර්ථයි. "ආලය නම් මනු දම් අද හම් නිති" යැ කවියා කියන්නේ එබැවින් විය හැකිය. සුදම් සබය පවත්වනනේ එහි යැයි ද කියති. සුදම් යනු සුධර්මා නම් ශක්ර දේවේන්ද්රයාගේ දේව සභාවයි. එය ලොව සියලු සැප ඇති කාමාවචර ලෝකයක පිහිටියහයි යෙති. එහි උර්වශී වැනි දිව්ය වෛශ්යාංගනාවෝද සිටිති. දිව්ය සම්පත් විඳීමට ද සැදුනු තැනකි. ආලය නම් වූ මනුෂ්යා ධර්ම විඳීමට ලැබේ නම් එතැන සුදම් සබය වෙතියි මින් කියවේ.

සහලඟුරෙන් දැවෙමින් - පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින් - පුද දුන් සිය රුහිරෙන්

මේ කියැවෙන්නේ චුල්ල පදුම ජාතක කථාවේ එන්නකියි මට හැඟේ. ගිනි රස්නෙන් තැවි තැවීත් සිය බිසවගේ පවස නිවන්ට ස්වකීය උර පලා රුධිරය බොන්නට දුන් චුල්ලපදුම රජු එසේ කළේ බිසවට තුබූ දැඩි ස්නේහය ආලය නිසාය. ආලයට කරන්ට බැරි දෙයක් ඇත්ද? ආලයේ තරම මින් කියැවේ. තමා ගිනි ගොඩක සිටියදීත් බිසවගේ පවස නිවන්නට උර පලා ලේ දෙන්නට තරම් රජුගේ ආලවන්ත සිත දැඩි විය. ඒ ආලය නිසාමය, එහි බල මහිමය නිසාමය. ආලය නම් වූ මනුෂ්‍ය ධර්මය තමාද සුරකින බවත් එතැන සුරලොව පහලවන බවත් කිවියා කියයි. සැබැවින්ම එය මනු දමයි. ලොව පවත්වන දහමයි. ලෝක ධර්මයේ සත්යතාවයි.

මේ ගීයෙන් සමස්ත ආලයම නොකියැවෙතත් එහි ගැඹුරු තැන් හොඳින්ම ස්පර්ශ කර ඇති බව පෙනේ. ගීතයේ පද වැල දෙයකුරින් දෙයකුරට යතිය තබා සුගායනීය අයුරින් නිමවා ඇත. එයද ආලය තරමටම මනරම්ය. මේ මනරම් පද වැලට සංගීතය යෙදූ දිවංගත ඔස්ටින් මුණසිංහයෝ ස්වකීය සංගීත ව්‍යවහාරයේ තරම කොපමණදැයි අපට පස් කලහ. සිංහලයේ අද්විතීය හා වාදන විශාරදවරිය ගීතයකට ගායනයෙන් කළ හැකි ඉහලම මෙහෙවර මේ ගීතයට කර ඇති බව ස්තුති පූර්වකව කිව යුතුව ඇත එයද ආලය තරමටම රසවත්ය.