‘එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට‘ කටහඬ නවතී


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා (75) බදාදා (10) රාත්‍රී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය පැලැවත්ත බත්තරමුල්ල අරුප්පිටියේ අංක 314 බී නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද සවස හතරට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

1967 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වූ ඒ මහතා එහි වාර්තාකරුවකු, වැඩසටහන් නිශ්පාදකයකු මෙන්ම නිවේදකයෙක් ද විය. 1984 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමු දුන් එල්මෝ ප්‍රනාන්දු පිලිපීන කතෝලික ගුවන් විදුලි සේවයකට සම්බන්ධ විය. 1993 දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (බීබීසී) හා සම්බන්ධ වූ ඒ මහතා වසර විස්සක් පමණ එහි කොළඹ වාර්තාකරු ලෙස කටයුතු කළේය.

එල්රුමෝ ප්‍රනාන්දු මහතා තරුණ ජනාධ්‍යවේදීන් සමග සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් ඔවුන්ට නිරන්තරයෙන් මගපෙන්වීම් කළේය.

 

එය අසූව දශකයේ අවසාන භාගයයි. මා එවකට බොරලැස්ගමුව මහා විද්‍යාලයේ 7 වන හෝ 8 වන වසරේ අධ්‍යාපනය ලබමින් පසු විය. උතුරේ වර්ධනය වෙමින් පැවති දෙමළ සන්නද්ධ අරගලයට අමතරව දකුණ ද භීෂණයේ ගොදුරක් බවට පත්ව තිබුණි. ලෝකයේ කොතැනක වුවද සිදුවෙන්නාවූ පරිද්දෙන්ම අර්බුදකාරී වාතාවරණය තුළ ”සත්‍යය “ අනතුරේ වැටී තිබුණු මොහොතකි. රාජ්‍ය පාලිත විද්‍යුත් සහ සහ පුවත්පත් කිහිපයකට පමණක් සීමා වී තිබුණු මාධ්‍ය වපසරිය තුළ රටේ සිදුවන දෑ පිළිබඳව සැබෑ තත්ත්වය දැනගැනීමට තිබුණු ඉඩ කඩ ඉතා සීමා සහිත විය. ඒ පසුබිම තුළ, මගේ තාත්තා එවකට අප සතුව තිබු බැටරියෙන් පණ ගැන්වුණු ගුවන් විදුලි යන්ත්‍රයට , දිනපතා රාත්‍රීයේ වයර් කැබලි දෙකක් අමුණා වහලය දෙසට ඇද කෙටි තරංග ඔස්සේ පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වූ “වෙරිටාස්” ගුවන් විදුලිය් ප්‍රවෘත්ති විකාශයට සවන් දුන්නේය. රටේ සිදුවන දෑ සම්බන්ධයෙන් හරිහමන් යමක් දැන ගන්නට නම් “වෙරිටාස් ” ප්‍රවෘත්තිවලට සවන් දිය යුතු බව ඔහුගේ මතය විය.

පසු කලෙක මගේ ජිවිතයේ සමීපතමයකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතාගේ හඬ මගේ සවනට මුල්වරට අසන්නට ලැබුණේ එලෙසිනි. ඔහු ප්‍රවෘත්ති කියනු හෝ ගුවන් විදුලියේ වැඩ සටහන් ඉදිරිපත් කරනු මතක නැති දැයි මගේ දෙමවුපියන් පසු කලෙක මගෙන් විමසුවත් මගේ මතකයේ දෝංකාර දෙන්නේ...පිලිපීනයේ මැනිලා නුවර සිට..පොල් අතු වහලයට ඇමිණු වයර් කැබලි දෙකක, “ඇන්ටනාව“ ඔස්සේ ගලා ආ ඔහුගේ ප්‍රතාපවත් සහ අභිමානවත් හඬයි.

කටහඬින් පමණක් හඳුනා ගෙන සිටි එල්මෝ ප්‍රනාන්දු නම් ඒ විසල් මිනිසාව පුද්ගලිකව දැන හඳුනා ගන්නට ලැබුණේ 1996 වසරේදී මා ටිඑන්එල් රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතයට එළඹීමත් සමගිනි. එතැන් පටන් ජනමාධ්‍යයේ බොහෝ දෙනෙකු, වයස් බේදයකින් තොරව ඔහු ඇමතූ පරිදි මට ද ඔහු ”එල්මෝ අයියා” විය. ගත වූ දශක දෙකක කාලය පුරා ඔහුගේ සමීප මිතුරෙකු වී සිටිමට තරම් මා භාග්‍යමත් විය. අංකුර මාධ්‍යවේදීන් ලෙසට අප බොහෝ දෙනෙකුට ඔහුගේ ලැබුණු ගුරු හරුකම් සහ ආදර්ශ ඉතා මහඟු විය. ප්‍රවෘත්තියක් ලබා ගැනීමට හෝ වෙනයම් තොරතුරක් දැන ගැනීමට කථා කළ සැම අයකුටම ඔහු නොමසුරුව සහ නොපැකිලිව සිය සහය ලබා දුන්නේය. වර්තමාන තරගකාරී වාතාවරණය තුළ ජනමාධ්‍ය වෘත්තීයේ නියැලෙන බොහෝ දෙනකු තුළ නැති වටිනාකම් ස්වකිය ක්‍රියාකාරීත්වයෙන් ම ඔහු සෑම විටම අපට මතක් කර දුන්නේය. වයසින් තමන්ගේ වැඩි මහලුකම පෙන්වා පමණක් තමන්ගේ තත්ත්වය රැක ගැනීමට වෙර දරමින්, කනිෂ්ඨ සගයින් නොසළකා හරින ‘’ජ්‍යෙෂ්ඨ” සිටින කර්මාන්තයක එල්මෝ අයියා සියලු දෙනා සමඟ කුළුපග වුවා පමණක් නොව ඔවුන්ට නිසි ගරුත්වයකින් සැලකීමට ද ක්‍රියා කළේය. එය මා ඔහු තුළින් දුටු විරල ගුණයකි. සැමවිටම ස්වකීය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් ක්‍රියා කළ ඔහු වාර්තාකරණයේ මධ්‍යස්ථභාවය දුෂ්කර තත්ත්වයන් යටතේ පවා නිරතුරුව රැකගත්තේය.

බොහෝ දෙනෙකු නොදන්නා නමුත් ගුවන් විදුලියට පිවිසෙන්නට පෙර සහ ඊට එක් වූ මුල් වකවානුවේ පවා එල්මෝ ප්‍රනාන්දු ඔහු ඉපදුණු හලාවත සහ ඒ අවට ප්‍රදේශවල වේදිකා ගත වුනු පාස්කු නාට්‍යයන්හි කැපී පෙනුණ රංගන ශිල්පියකු විය. නිවේදකයෙකු ලෙස රූපාන්තරනයත් සමගින් රඟපෑම ඔහුගෙන් ගිලිහි ගියද ඒ වෙනුවට කුසලතා පූර්ණ නිවේදකයකු මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ජනමාධ්‍යවේදියකු ද ඒ නිසා බිහි විය.

පිලිපීනයේ ‘වෙරිටාස්‘ ගුවන් විදුලියෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එක් වූ ඔහු මෑතක් වනතුරු ම ‘බීබීසී‘ ලෝක සේවයේ ‘සිංහල සංදේශය‘ වැඩසටහනේ කොළඹ වාර්තාකරු ලෙස ක්‍රියා කළේ ය. ඒ ලොව පුරා ශ්‍රී ලාංකික අසන්නන්ගේ හදවත්හි නොමැකෙන මතකයක් ද සනිටුහන් කරමිනි. සිය වාර්තාව අවසානයේ ඔහු කරන “බීබීසී ලෝක සේවයේ සංදේශයට එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට...” යනුවෙන් කළ සඳහන එක්තරා ආකාරයකට ඔහුගේ අනන්‍යතාවය ගුවන් තරංග අතර සදාකාලිකවම සනිටුහන් කල සන්නාමය විය. නිවේදකයකු ලෙස ඔහුට ආවේණික වූ භාෂා ශෛලිය, ප්‍රතාපවත් හඬ පෞරුෂය සහ ඉදිරිපත් කිරීමේ අභිමානවත් විලාශය, ජාත්‍යන්තර මට්ටමින් සිංහල භාෂා ජනමාධ්‍යවේදියෙකුට යා හැකි ඉහළ ම මට්ටම දක්වා යාමට එල්මෝ අයියාට උපකාරී විය. පොදු මහජනයා කේන්ද්‍ර කරගනිමින් හඬක් අහිමි ජනතාවට හඬක් වූ ඔහු ස්වකීය වගකීම ඉටු කිරීමේදී නොයෙක් ගැටලු සහ තර්ජනවලට ද මුහුණ දුන් අවස්ථා එමට ය. නමුත් ඒවාට සිය ධෛර්යය දිය කර හැරීමට ඔහු ඉඩ නො තැබුවේය.

මාස කිහිපයක සිට රෝගීව සිටි එල්මෝ අයියා ගේ අවසන් අපේක්ෂාව වුයේ ඔහුගේ ජීවිතය අළලා රචනා කෙරුණු ග්‍රන්ථය එළි දැක්වීමයි. පසුගිය සෙනසුරාදා සුනිල් ජයසේකර සහ මම ඔහුගේ නිවසේ මුණ ගැසී ඔහු සමඟ කළ කථා බහ, අවසන් වරට අප දෙදෙනා හමු වූ දිනයයි. දිනපතාම දුරකතනයෙන් කථා බහ කිරීම අපගේ සිරිත වුවත් ඊයේ එය මග හැරිණි. අද අලුයම 1.50 ට ඔහුගේ වැඩිමහල් දියණිය, දිල්හානි, දුරකතනයෙන් අමතා සිය පියාගේ අභාවය සැල කළාය. ඉතා සාර්ථක සහ ආදර්ශ සම්පන්න පවුල් ජීවිතයක් ගත කළ එල්මෝ අයියා ඔහුගේ ප්‍රිය බිරිඳ, සහ දියණියන් දෙදෙනා සහ එකම පුතු රංගන ගේ සෙනහස සහ සත්කාරය නොඅඩුවම ලැබුවේය. ගත වූ වසරකට වැඩි කාලයක් ඔවුන්ගේ කාලය ශ්‍රමය සහ කැපවීම නිරතුරුවම යොමු වුයේ ඔහුගේ ජීවිතය වෙනුවෙනි. ඔවුහු එය නොපිරිහෙළා ඉටු කළහ.

එල්මෝ අයියාගේ වෙන්වීම, මාධ්‍යවේදියකු හෝ මිතුරෙකුගේ හෝ අහිමි වීමක් පමණක් නොවේ. ඔහුගේ වියෝව මගේ ජීවිතයේ මට මුණ ගැසුණු සහ මට ඇසුරු කිරීමට භාග්‍ය හිමි වූ දුර්ලභ මානුෂීය ගුණයන්ගෙන් පිරුණු උතුම් මිනිසෙකුගේ සමු ගැනීමකි. ඔහු පිළිබඳ මතකය මසිතේ කිසිදා නොමියෙනු නිසැකය.

හිතාදර එල්මෝ අයියේ ...ඔබට සුබ ගමන්!

(නාමල් පෙරේරා)

IMG_2782

13---Copy 14---Copy 15---Copy 16---Copy 22 28 32 34