‘ඔන්ලයින්’ වැඩට ගස් නගින දරුවන්ගේ ගැටලු විසඳමු


මේ දවස්වල මොබයිල් ෆෝන්වලට නිමක් නැති දැන්වීම් ගලා එයි. තාවකාලික ඩේටා ප්ලෑන්, එනිටයිම් ඩේටා පැකේජ්, ඩේටා ඇඩ් ඔන් සේවාද ඇතුළු වෙනත් පහසුකම්ද විවිධ සහන යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන බවට ඒවායේ පොරොන්දු රැසකි. මේ ඇතැම් පැකේජ් නොමිලේ සැපයෙන බවද සඳහන්ය. තවත් ඒවාට අඩු ගාස්තු අයකරන බවද කියති. ෆෝන් හිමියන්ට අවශ්‍ය වුවත් නැතත් ඒ දැන්වීම් නවතින්නේ නැත. එහෙත් පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශයේ ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන කටයුතු සිදුකරන සිසු දරුවන්ට නම් එවැනි වාසනාවක් නැත. ඔවුන්ට මෙවැනි පැකේජ් කෙසේ වෙතත් අඩු තරමින් පාඩමක් හරියට කියවා ගැනීමට නම් ගස්, ගල් උඩට නැගීමට සිදුවන තත්ත්වයක් පවතින බව එම දරුවන්ගේ මාපියෝ කියති.

ඔන්ලයින් සේවා අතදිගහැර ලබාදීමට සූදානම් පණිවුඩ දිනපතා ලැබෙන රටක මෙවැනි තත්ත්වයක් පවතින බව ඇදහීමටත් අමාරුය. එහෙත් මේ තිත්ත ඇත්ත හෙළිකරන අපගේ ලංකාදීප මීගහතැන්න වාර්තාකරු ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට ජංගම දුරකතනවලට සංඥා නොමැතිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිසුන් බලවත් අපහසුතාවලට ලක්වී සිටින බවයි. පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශය තුළ වෙසෙන එම දරුවන් ජංගම දුරකතනවලට සංඥා ඇති ස්ථාන සොයමින් ගස් ගල්වලට නැග ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන බව ඔවුන්ගේ මාපියන් පවසා තිබිණි. මෙය කොතරම් දුක්ඛදායක තත්ත්වයක් දැයි විස්තර කළයුතු නැත. එහෙත් ඔවුන්ගේ ගැටලු‍ව විසඳා දීමට ‘‘ඔන්ලයින්’’ පැකේජ බලෙන් පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීමට කටයුතු කරන පෞද්ගලික සමාගම් උනන්දු නොවන බව නම් කිව හැකිය.

කඳු බෑවුම් සහ කැළෑවලින් ගහන කෙළිකන්ද ප්‍රදේශයේ උස් තැන්, ගල් පර්වත මතට තමන්ගේ ජංගම දුරකතන රැගෙන ගොස් ඔන්ලයින් හරහා තම ගුරුවරුන් සමඟ සම්බන්ධ වීමට වෙරදරන මේ දිරිය දරුවන්ගේ ගැටලු‍ව විසඳීමට කවුරුන් හෝ නොපමාව ඉදිරිපත්වීම අවශ්‍යය. මේ සිසුන් අතුරින් වැඩිදෙනකු ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වෙති. පළාතේ ගුරුවරුන් ප්‍රකාශ කරන්නේ එකී ප්‍රදේශයේ සිසු දරුවන්ට අවශ්‍ය පැවරුම් යැවීමට පවතින මේ තත්ත්වය මහත් බාධාවක් වී ඇති බවය. අ.පො.ස. සා.පෙ. විභාගය ඇරඹීමට දැනට දින නියම කර ඇත්තේ ලබන ජනවාරි 18 වැනිදා බවත් ඉදිරි දෙසතිය තුළදී ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථීර තීරණයක් ගැනීමට නියමිත බවත් සඳහන් වෙයි. එසේ නම් මේ දරුවන්ගේ ජංගම දුරකථනවලට සංඥා ලබාදීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බව පැහැදිලිය. දුරකතනවලට සංඥා නොලැබීම හේතුවෙන් විභාගයේදී කෙළිකන්දේ දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය යුතු නැත.

මෙවැනි ගැටලු‍ පවතින එකම ප්‍රදේශය පාලින්දනුවර කෙළිකන්ද පමණක් යැයි අප කිසිසේත් සිතන්නේ නැත. මෙවැනි දුරකථන සංඥා නොලැබී යාමෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණෙන තවත් ප්‍රදේශ තිබිය හැක. අප කෙළිකන්ද පිළිබඳව කතා කරන්නේ අපගේ වාර්තාකරු ඒ පිළිබඳව සිදුකරන ලද හෙළිදරව්ව හේතුවෙනි. තම තමන්ගේ ප්‍රදේශවල සිටින සිසු දරුවන් මේ ගැටලු‍වට මුහුණ දී සිටිනවා දැයි සොයාබැලීමට ඒ ඒ ප්‍රදේශවල දේශපාලන බලවතුන්ටද හැකියාව තිබේ. ආසන මට්ටමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද, ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටද මේ සොයාබැලීම සිදුකළ හැක. මෙය දේශපාලන ගැටලු‍වක් කරගත යුතු නැත. රටක අධ්‍යාපනයට ලබාදෙන පහසුකම් ඒ රටේ අනාගතයට කෙරෙන හොඳම ආයෝජනය බව අමතක නොකළ යුතුය.

ඔන්ලයින් උපයෝගී කරගන්නා එකම පිරිස පාසල් සිසු දරුවන් පමණක් නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරියේ නිරතවීමට බලකෙරෙන දහස් ගණනක් පෞද්ගලික සහ රාජ්‍ය දෙඅංශයේම සිටිති. ඔවුන්ද සිටින්නේ දුරකථන සංඥා හරිහැටි නොලැබෙන කෙළිකන්ද වැනි ප්‍රදේශයක නම් එය නිසැකවම රාජකාරි ඉටු කිරීමට බාධාවකි. එක් එක් නිලධාරීන් අතර සිදුකළ යුතු වැදගත් තීන්දු තීරණ ගන්නා සාකච්ඡා, සම්මන්ත්‍රණ ඔන්ලයින් හරහා සිදුකෙරෙන විට තම ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය හෝ ඔසවාගෙන ගස් ගල් නැගීමට මේ පිරිසට හැකියාවක් නැත. එවැනි තත්ත්වයකදී සිදුවන්නේ සාකච්ඡා ඇනහිටීමය. එහෙත් සිසුන්ට නම් ගුරුවරුන්ගෙන් ලැබෙන පාඩම් සහ පැවරුම් නොලැබී ගියොත් ඔවුන්ට විභාගයට පෙනී සිටීමට සිදුවනු ඇත්තේ දැනුමින් අඩක් අහිමි තත්ත්වයකිනි. හැකි තරම් ඉක්මනින් කෙළිකන්දේ සිසුන්ගේ ගැටලු‍ව විසඳා දීමට රාජ්‍ය මැදිහත්වීමක් හෝ සිදුවිය යුතු යැයි එම ප්‍රදේශවාසීන්  පවසන්නේ ගැටලු‍වේ දිග පළල ඔවුන් හොඳින්ම දන්නා නිසා විය යුතුය.

අපේ රටේ අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කෙරෙයි. මෙවරද එය එසේම විය. අපේ රටේ ඇතැම් පළාත්වල පවතින අධ්‍යාපනයට අදාළ දුරකථන සංඥා නොලැබීම වැනි තාක්ෂණික ගැටලු‍ විසඳීම සඳහාද අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කෙරෙන මුදලින් කිසියම් ආයෝජනයක් කෙරෙන්නේ නම් එය කාලීන වශයෙන් වැදගත් යැයි අපි සිතන්නෙමු. කොරෝනා වසංගතය සමඟ තව වසර කිහිපයක් ජීවත්වීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කර ඇති පුරෝකථන සැලකිල්ලට ගැනීමේදී මෙය තවදුරටත් කෙළිකන්දේ දරුවන්ගේ ගැටලු‍වක් පමණක් නොවන බව පෙනී යයි. ඉදිරි වසර කිහිපය තුළදී ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන ක්‍රමවේද තවදුරටත් පුළුල් කිරීමට සිදුවනු ඇති බවට සැකයක් නැත. එවැනි පුළුල් කිරීමකදී රටේ සියලු‍ ප්‍රදේශ තුළ පවතින ගැටලු‍ හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදිය හැක. එහෙත් සියල්ලටම පළමුව මේ ගැටලු‍ව රට ඉදිරියේ තැබූ කෙළිකන්ද සිසු දරුවන්ගේ ගැටලු‍ව හැකි ඉක්මනින් විසඳාදීම අප කාගේත් යුතුකමක් බව පවසනු කැමැත්තෙමු.