‘‘කටුනායක ගුවන් තොට අපායක්‘‘


කටුනායක (කොළඹ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපොළ පමණක් නොව දෙවැනි ලෝක යුද්ධය සමයේදී රාජකීය ගුවන් හමුදාවේ ගුවන් තොටුපොළක් ලෙස ද සේවා සැපයීය. පසුකාලීනව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක තත්ත්වයට පත් කරමින් මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නමින් නම් කරන ලදි. ‘ස්ලීපින්එයාර්පෝට්ස්.නෙට්’ වෙබ් අඩවිය කියනුයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසියාවේ ඉතා නරකම ගුවන් තොටක් බවය. 

එම ලැයිස්තුවට 2013 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද මත්තල ගුවන් තොටුපොළ ද ඇතුළත් කළ හැකි වූ අතර ෆෝබ්ස් සඟරාව විසින් මත්තල ගුවන් තොටුපොළ ‘ලොව හිස්ම ගුවන් තොටුපොළ’ යනුවෙන් නම් කරන ලදි. මත්තල ගුවන් තොටුපොළ එම තත්ත්වයට පත්වීමට හේතු කිහිපයක්ම විය. 

1. ගුවන්තොටට පැමිණෙන ජනතාවගේ ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට සැපයුම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම.

2. මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත ස්වභාවධර්මය ගුවන් ගමන්වලට බාධා එල්ල කිරීම. එමඟින් ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව ද ගැටලුවක් මතුවිය.

කෙසේ වෙතත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ ලියන්නක් නොව කඩිනම් පියවර නොගතහොත් දරුණු අර්බුදයකට මුහුණ දීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳවය. 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රේණිගත කෙරෙන්නේ කෙසේ ද ?

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රේණිගත කිරීම්වල පහළට යෑම පහත කරුණු හේතුවිය. 

1. සනීපාරක්ෂාව පහත වැටීම, විශේෂයෙන්ම ගුවන් තොටුපොළේ වැසිකිළිවල සනීපාරක්ෂාව පහත මට්ටමක පැවැති අතර එම නිසා එහි පැමිණෙන බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූහ. 

2. මෙරට ආයතනවල පවතින සුපුරුදු වංචා දූෂණ ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයෙන් ද සිදුවීම. ශ්‍රී ලාංකිකයෝ මේ තත්ත්වයට හුරුපුරුදුව සිටිති. එරෙහිව විරෝධයක් පැන නොනැගීමත් නිසා දූෂණ වංචා සමාජයේ සාම්ප්‍රදායික හා සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම ඊට හේතු ලෙස පෙන්වා දිය හැකිය. එහෙත් මෙහි පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයෝ  ගුවන් තොටේ සිදුවන අල්ලස් ගැනීම්, වංචා නොඉවසති.

ගුවන්තොටේ සනීපාරක්ෂාව 

අපවිත්‍ර වී තිබෙන ගුවන් තොටේ වැසිකිළි නානකාමර පිරිසුදු කිරීමත් එය නිරන්තරයෙන් සිදු කිරීමටත් පළමු කරුණය. එහෙත් ‘ස්ලීපින්එයාර්පෝට්ස්.නෙට්’ වෙබ් අඩවියේ මත විමසුමට සම්බන්ධවූ ලොව පුරා සංචාරකයෝ වෙනත් අවශ්‍යතා රැසක් ද බලාපොරොත්තු වෙති. ඒ අනුව යමින් ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන්ට ප්‍රශ්නාවලියක් ලබා දීම මඟින් ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද, ඔවුන්ට පහසුකම් සැපයිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොපයා ගත හැකි අතර සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා කුසපත් ඇදීම්, ත්‍යාග වවුචර පත්, බදු සහන දීමනා ආදී ක්‍රමවේද භාවිත කළ හැකිය. මෙම ක්‍රම ඔස්සේ ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන්ගේ තොරතුරු එක්රැස් කරගත හැකිය. ඉන් අනතුරුව කෙරෙන විශ්ලේෂණයකින් පසු අවශ්‍ය පහසුකම් සපුරමින් ගුවන් තොටුපොළ සංචාරකයන්ට හිතකර තැනක් බවට පත්කිරීමට අවස්ථාව උදා වේ. මෙම තත්ත්වය සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොළේ අත්විඳිය හැකි අතර එම ගුවන්තොටුපොළ 2016 වසරේ හොඳම ගුවන් තොටුපොළවල් දහය අතරට ශ්‍රේණිගත විය. 

දූෂණ හා හිරිහැර කිරීම්

ගුවන් තොටුපොළ බලධාරීන් අවස්ථා රැසකදීම සංක්‍රමණික සේවකයන්ට හිරිහැර කළ බව පසුගිය වසරේදී වාර්තා වූ අතර ඊට එරෙහිව ගත් පියවර පලක් නොවීය. ලිපිය යන මා ද එවැනි හිරිහැර කිරීම්වලට ලක්වූ අතර මෙවැනි හිරිහැර කිරීම් දිගින් දිගටම සිදුවෙයි. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමින් අල්ලස් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මට හැකියාවක් තිබුණද බහුතරයක් කාන්තාවන් වන අහිංසක සංක්‍රමණික සේවකයන්ට (විදෙස් ශ්‍රමිකයන්) එවැන්නක් සිදු කිරීමට හැකියාවක් නැති අතර එම නිසා ඔවුහු නිලධාරීන්ට විශාල වශයෙන් මුදලක් ගෙවති. 

1. ගුවන්තොටුපොළේ විවෘතවම කාන්තාවන්ට හිරිහැර සිදුවීම

2. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් නොවීම නිසා ගුවන් තොටුපොළට නිලධාරීන්ට අල්ලස් ගෙවිය යුතු යැයි පවතින මිත්‍යා විශ්වාස

3. රටට පැමිණීමට පෙර තමන් සේවය කරන රටේදී විවිධ තාඩන පීඩනවලට ලක්වීම නිසා හැකි ඉක්මනින් තම ආදරණීයන් බැලීමට සිටින සංක්‍රමණික සේවකයන් අල්ලස් දීමට පෙළඹීම ආදිය හැකිය. කෙසේ වෙතත් එම කරුණු නිසා නීතිවිරෝධී කටයුතු සාධරණීයකරණය කළ නොහැක. 

බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ නිලධාරීයකු අතින් ලිංගික හිංසනයට ලක්ව ප්‍රශ්න කිරීම්වලට ලක්වූ විදේශීය කාන්තාවක සිටින වීඩියෝ පටයක් පසුගිය කාලයේදී ප්‍රසිද්ධියට පත්වූ අතර එය ශ්‍රී ලංකාවට සිදු වූ කළු පැල්ලමකි. අවාසනාවකට මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුවන අතර වැරැදිකරුවන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගත් බවක් වාර්තා නොවීය. එම නිසා වැරැදිකරුවන්ට නීතිය පියවර ගැනීම අනාගතයේදී එවැනි දෑ සිදුවීම වැළැක්වීමට හේතුවනු ඇත. 

ගුවන් තොටුපොළේ නිරන්තරයෙන් සිදුවන අවකල්ක්‍රියා හා දුරාචාරවලට ඉහළ පෙළේ නිලධාරීන් ද වගවිය යුතුය. දුරාචාරවලට ඉහළ පෙළේ බලධාරීන් සම්බන්ධ නොවුවද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා දිනෙන් දින ගුවන් තොටුපොළ ද ඇතුළුව රාජ්‍ය ආයතනවල සිදුවන අපරාධ, දුරාචාර වැඩි වී ඇත. එබැවින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නිලධාරීන්ට ද නීතිමය පියවර ගැනීම ඔවුන් වැරැදිවලට එරෙහිව හඬ නැගීමට හේතුවක් වනු ඇත. 

මෙම අර්බුදවලට ගොඩ ඒමට ස්වාධීන විශේෂඥ සමාලෝචන ද අත්‍යාවශය වේ. බලයට පත්වූ වත්මන් ආණ්ඩුව විසින් පිහිටුවන ලද දූෂණ විරෝධී පෙරමුණ රට පුරා දූෂණ පිටුදැකීමට කටයුතු කරනවා මෙන්ම රටේ පිවිසුම් දොරටුව වන ගුවන් තොටුපොළේ සිදුවන වංචා දූෂණ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුය. 

දේශපාලනික බාධා කිරීම්වලින් තොරව ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතරම ජනමාධ්‍යවේදීන්ට ද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලැබී ඇත. එහෙත් විමර්ශනාත්මක ජනමාධ්‍යවේදයේ නිරතවීමට මෙරට මාධ්‍යවේදීන්ට අවශ්‍ය නිසි කුසලතා, දැනුම් හා අවබෝධය තිබෙනවා ද ? එම නිසා මෙරට පුවත් ජාලවලට නිසි විශේෂඥයන්ගෙන් සමන්විත පුද්ගලයන් බඳවාගැනීමේ වගකීමක් ඇත. 

ඒ අතරම ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයට මහජන සේවා ලබාදීමේ ආචාරධර්ම, රාජකාරීයේ යෙදි සිටියදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතුය. එමෙන්ම දුෂණ, වංචා හා අල්ලස් ගැනීම්වල යෙදුණහොත් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අවබෝධයක් දීම සඳහා ඔවුන්ට දූෂණ විරෝධී වැඩමුළු පැවැත්වීම ද සිදු කළ යුතුයි. එමෙන්ම බොහෝ වෙනස්කම් තාර්කිකව සිතා බැලිය යුතුය. 

එමෙන්ම නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට කිසිදු සමාවක් නොදී දඬුවම් දිය යුතු අතර එය අන් පිරිසට ආදර්ශයක් ගැනීමට ද හේතුවක් වනු ඇත. නීති කඩන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශය කරුණකි. එසේ නොමැතිව වංචා, දූෂණ, අල්ලස් ගැනීම්, දුරාචාර චක්‍රය නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැත. වැරැදිකරුවන්ට අවස්ථා නොදී ගුවන් තොටුපොළේ සෑම ස්ථානයකම ආරක්ෂිත කැමරා සවි කළ යුතු අතර එමඟින් වැරැදිකරුවන්ගේ වැරැදි ඔප්පු කිරීමට සාක්ෂි ද ලැබෙනු ඇත. අවශ්‍ය ප්‍රතිපාදන ලැබනේනේ නම් ඇඳුම්වලට සවි කරන කැමරාද භාවිත කර , ඒවා නිලධාරීන්ගේ ඇඳුම්වලට සවි කළ හැකිය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරීන්ට ආචාරධර්ම, සේවය සැපයිය යුතු ආකාර, විනය තත්ත්ව පිළිබඳ පුළුල් හා කාර්යක්ෂම පුහුණුවක් දිය යුතුය.

වත්මන් තත්ත්වය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සැලසුම් කළ සංවර්ධන කටයුතු

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අනුව වසර 30ක් පැරැණි ගුවන් පථයේ නඩත්තු කිරීම් ලබන වසරේ ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කෙරෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මඟින් වසරකය මඟීන් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇතැයි වත්මන් ආණ්ඩුව අනුව බලාපොරොත්තු වෙයි. ගුවන් තොටුපොළ පුළුල් කිරීම රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටත් ආර්ථික සංවර්ධනයටත් හේතුවනු ඇත. එහෙත් වර්තමානයේ පවතින දූෂණය, සනීපාරක්ෂව පිළිබඳ ඇති ගැටලු ආදිය ගුවන් තොටුපොළේ පුළුල් කරන කොටස්වලටත් ගමන් කළ හැකිය. 

පසුගිය කාලයේදී සිටි බොහෝ නායකයන්ගේ අනුවණ ක්‍රියාකාරකම් නිසා මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණ දී සිටියි. ඉහළ අපේක්ෂා සහිතව කරන ලද ව්‍යාපෘති නිසාවෙන් වත්මන් තත්ත්වය, නැතිනම් ගුවන් තොටුපොළේ අව තත්ත්ව සැඟවී ගිය බවක් පෙනෙන්ට ඇත. ගුවන් තොටුපොළේ සනීපාරක්ෂාව ඉහළ දැමීමටත් දූෂණ, වංචා හා අල්ලස් ගැනීම් මුළු මනින් තුරන් කිරීමට හෝ අවම කිරීමටත් කඩිනම් පියවර ගත යුතුය. ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැත. එබැවින් මීළඟ වාර්ෂික ඉලක්ක වෙත ගමන් කිරීමට පෙර කුඩා ගැටලුවලට උපායමාර්ගික විසඳුම් සෙවිය යුතුයි. 

හිතන්න, හඳුනාගන්න සහ ක්‍රියාකරන්න

අප පාසල් යනවිට නිල ඇඳුමේ සිට සෑම දෙයකම නීති රීති රැසක් තිබුණි. එහෙත් අපි වැඩිවියට පත්වන විට පෙනුමෙන් පුද්ගලයකුගේ තීරණ ගැනීම කළ නොහැකි බවත් පෙනුමෙන් කෙනෙකු පිළිබඳ තීරණ ගත නොහැකි බවත් තේරුම් ගත්තෙමු. එහෙත් පළමු හමුවීම් බොහෝ දේ තීරණය කරන බවත් එය දිගු කාලීන බලපෑම් එල්ල කරන බවත් අප තේරුම් ගත යුතු සත්‍යයකි. එබැවින් රටක ප්‍රධාන ගුවන් තොටුපොළ රටකට පිවිසෙන ස්ථානයයි. රට තුළට පිවිසීමට පෙර සංචාරකයන් දකින්නේ රටේ ගුවන් තොටුපොළය. එහි ස්වභාවය අනුව සංචාරකයෝ රටේ අභ්‍යන්තරය පිළිබඳ තීරණයක් ගැනීමට නිතැතින්ම පෙළඹෙති. එම නිසා අප විසින් මේ කරුණු පිළිබඳව තාර්කිකව හා ප්‍රායෝගිකව සිතා බලා ප්‍රමාද නොවී අපේ ගුවන් තොටුපොළ සංචාරකයන්ට හිතකර ලොව හොඳ පණිවිඩයක් ගෙන යන ස්ථානයක් බවට පත්කරගැනීමට කටයුතු කරමු. 

 

රාහුල් සමරනායක විසිනි

ඬේලි එෆ්.ටී පුවත්පතේ පළවු ලිපිය සිංහලට සකස් කළේ හර්ෂණ තුෂාර සිල්වා