මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර


 

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි        මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්      සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.