ඉන්දික හේවාවිතාරණ
මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම පසුගිය 08 වැනිදා සිට නතර කර ඇති බවද දැනගන්නට ලැබේ
සහල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාර්තාවක්ද කැඳවා ඇත. නත්තල් සමයේදී හා වර්ෂාවසාන උත්සව කාලයේදී සහල් ඉල්ලුම ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
මේ අනුව සහල් හිඟයක් ඇති කර සහල් මිල ඉහළ දමා ගැනීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවට වාර්තා වෙයි. පසුගිය කාලයේදී කීරි සම්බා සහල් හිඟයක් ඇති කර අධික මිලකට සහල් අලෙවි කරනු ලැබිණ.
මේ අනුව කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 260 ක් බවට පත් කර තිබියදී පසුගිය කාලයේදී රුපියල් 360 ක් දක්වා මිලකටද ඇතැම් ප්‍ර දේශවල අලෙවි කරනු ලැබීය.අලෙවිය අඩු වීම නිසා කීරිසම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 260 කට අලෙවි කිරිමට මෝල් හිමියෝ කටයුතු කරති.
නාඩු සහල් ඉල්ලුම ඉහළ ගොස් තිබෙන නිසා නාඩු සහල් මිල ඉහළ දමා ගැනීම සඳහා කෘත්‍රිමව නාඩු සහල් හිඟයක් ඇති කර තිබෙන බවට ගොවි සංවිධාන හා සහල් අලෙවි කරන පිරිස් චෝදනා කරති. දෛනික සහල් අවශ්‍යතාවෙන් සියයට හැටපහත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් නාඩු සහල්වලින් සම්පූර්ණ කර ගන්නා බව වාර්තා වේ.
මේ වන විට වෙළෙඳ පොළේ පවතින සහල් හිඟය මහ පරිමාණ මෝල් හිමියන් විසින් කෘත්‍රිමව මවාපාන ලද්දක් බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. මේ වසරේ මාර්තු හා පෙබරවාරි මාසයේදී හා සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල ලැබුණු අස්වැන්න ලබන වසරේ අප්‍රේල් වන තුරු සහල් අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට ප්‍රමාණවත් බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
සහල් හිඟයක් මවා පා ඇතැම් ව්‍යාපාරිකයන් විදේශ රටවලින් සහල් ගෙන්වීමට උත්සාහ කරමින් තිබෙන බවද හෙතෙම පැවසීය. යම් ලෙසකින් සහල් රටින් ගෙන්වීමට කටයුතු කළ හොත් මෙවර මාස් කන්නයේ වී වගා කර තිබෙන ගොවිපවුල් ලක්ෂ 18 කට අස්වැන්න නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වන බවද ඔහු සඳහන් කළේය.
මාස් කන්නයේ අස්වැන්න ලබන පෙබරවාරි මාසයේ සිට වෙළෙඳ පොළට පැමිණිමට නියමිතය.
මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබුණ වී අස්වැන්න පමණක් සලකා බැලුූ විට රට තුළ පවතින වී සංචිත ප්‍රමාණය අනුවනිපදවිය හැකි සමස්ත සහල් ප්‍රමාණය මේට්‍රික්ටොන් විසි අට ලක්ෂ හැත්තෑපන් දහසක් වන අතර එය වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවද ඉක්මවූවක් බවත් එකී ප්‍රමාණයෙන් ලබන වසරේ අප්‍රේල් අග වන තුරු සහල් අවශ්‍යතාව සම්පූර්ණ කර ගත හැකි බවත් අනුරාධ තෙන්නකෝන් පවසයි.
වෙළෙඳපොළෙහි මේ වන විට නාඩු සහල් හිඟයක් පවතින අතර එය කිසිසේත්ම වී හිඟයක් මත සිදුවූ දෙයක් නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. 2023/2024 මහ කන්නයේ මෙන්ම 2024 යල කන්නයේද ප්රශස්ත මට්ටමින් වී වගාව සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ සහල් පරිභෝජනයට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් මෙම වසර තුළ සිදුවී තිබෙන බව ද එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය.
සහල් නිෂ්පාදකයන් කණ්ඩායමක් සහ වී තොග රුස්කරන්නන් කණ්ඩායමක් විසින් නාඩු වී තොග, ගබඩා තුළ රඳවාගනිමින් ව්‍යාජ ලෙස නාඩු වී හිඟයක් රට තුළ නිර්මාණය කර තිබෙන බවට වාර්තා වන බවද ඔහු පවසා සිටියේය.