ජනාධිපතිවරණයට 22න් බාධාවක් නෑ


චාමර සම්පත්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද එමගින් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් මතු නොවෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරන ලෙස ජනාධිපතිවරයා ඉකුත් සිකුරාදා (19) නියෝග කොට තිබූ අතර එයින් ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා පැමිණෙන්නේ ද යන්න ගැන කළ විමසීමේදී ඔහු එසේ පැවසීය.


ජනමත විචාරණය හා ජනාධිපතිවරණය එක් දිනයකදී පැවැත්විය නොහැකි බව ද ජනමත විචාරණය හා ජනාධිපතිවරණය පවත්වන දින වකවානු ඇතුළු ප්‍රතිපාදන ඇතුළත් නීති දෙකක් පවතින හෙයින් එම මැතිවරණ එකම දිනයකදී පැවැත්විය නොහැකි බව ද රත්නායක මහතා සඳහන් කළේය.
1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ගෙන එන බව ජූලි 15 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණ ප්‍රසිද්ධ කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ. 
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රහස් ඡන්දයකට ගොස් මන්ත්‍රීවරුන්ට විවිධ මුදල් ඇතුළු වරදාන ලබා දී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ ඔහුට ජනප්‍රියත්වයක් ඇති බව පෙන්වීමට යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.මෙවැනි සංශෝධනයක් ගෙනඒමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එය පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට කටයුතු කරන බවද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අප කළ විමසුමකදී පැවසීය.