- 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මනෝප්රිය ගුණසේකර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැණි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මූලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටී.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේදී ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය සංශෝධනය කරමින් තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක කාලයක් ඉක්ම යෑමෙන් අනතුරුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහිමි කර ඇතැයිද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට තීන්දු කර ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරු එය මේ දක්වා ජනමත විචාරණයකින් අනුමත වී නැතැයිද සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව සඳහන් කරන පෙත්සම්කරු එවැනි තත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත යැයිද සඳහන් කර ඇත.