පාර්ලිමේන්තුව පිරිසිදුයි මාලිමාව ඉතිහාසයේ දැවන්තම ජය ලබයි


උපුල් වික්‍රමසිංහ
පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21 ක් ජයගත් ජාතික ජනබලවේගය ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය හැට අට ලක්ෂ හැට තුන්දහස් එකසිය අසූහයක් (6,863,186) විය. මෙය මෙතෙක් මහ මැතිවරණයකදී පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රමාණය වන අතර එහි ප්‍රතිශතය සියයට 61.56 කි.


මේ අනුව එම පක්ෂයට පාර්ලිමේන්තු ආසන 159 ක් හිමි වෙයි. එය පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව 7/10 ක දැවැන්ත බලයකි. මෙය දෙවැනි වන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂය ලබාගත් 5/6 ක පාර්ලිමේන්තු බලයට පමණි. 
එසේම සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදුන් පසුව තනි පක්ෂයක් හෝ කණ්ඩායමක් මහ මැතිවරණයකදී ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය වෙයි. එසේම මැතිවරණ කොට්ඨාස 160 න් 152කම ජය හිමි කර ගැනීමටද ජාතික ජනබලවේගය සමත් විය. සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයගැනීමටද ඔවුහු සමත් වූහ. 
මෙවර මැතිවරණයේ දෙවැනි ස්ථානයට පත්වූ සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය දහනව ලක්ෂ හැටඅට දහස් හත්සිය දහසයක් (1,968,716) වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66කි. මේ අනුව ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමටද ජාතික ජනබලවේගය සමත් විය. එය වැඩි ඡන්ද හතළිස් අට ලක්ෂ අනූහතර දහස් හාරසිය හැත්තෑවක් (4,894,470) විය. එය ප්‍රතිශතය අනුව දෙවැනි ස්ථානයට පත් සමගි ජනබලවේගයට වඩා සියයට 43.9 ක වෙනසකි. 
මීට පෙර මහ මැතිවරණයක ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය වාර්තා කර තිබුණේ 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයයි. 
එය වැඩි ඡන්ද 4,081,710 ක් විය. ප්‍රතිශත වෙනස සියයට 35.19කි. මඩකලපු දිස්ත්‍රික්කයේ ජය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දිනාගත් අතර ජාතික ජනබලවේගය ජයග්‍රහණය නොකළ එකම මැතිවරණ දිස්ත්‍රික්කය එයයි. 
මෙවර මහමැතිවරණයේ දී පිරිසිදු පාර්ලිමේන්තුවක් බිහි කිරීමට ඡන්දය දෙන්නැයි ජාතික ජනබලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා උපරිම බලය ජනතාව විසින් ජාතික ජනබලවේගයට ලබා දී තිබේ.