- පාඩුව නිලධාරීන්ගෙන් අයකර ගන්නත් නියෝග
- බාල ඖෂධ සැපයූ සමාගම් කළු ලැයිස්තුවට
- කෝටි 2199ක හදිසි මිලදී ගැනීම් කරලා
- බාල සිරප් බෝතල් 6000කුත් රෝහල්වලට බෙදලා
සුජිත් හේවාජුලිගේ
ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද නිර්දේශ කර තිබේ. තත්ත්වයෙන් බාල ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛනගත කිරීමට ද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. පිළිගත් විධිමත් ක්‍රමවේදවලට පටහැණිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නිර්දේශ කර ඇත.
රුපියල් කෝටි 2199 කට වැඩි වටිනා හදිසි මිලදී ගැනීම් සහ ඇෙමරිකානු ඩොලර් කෝටි දෙකකට වැඩි වටිනා ප්‍රසම්පාදන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ආවරණ අනුමැතීන් පසුගිය මාර්තු 31 වැනිදා වන විටත් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම ප්‍රසම්පාදන කර ඇතැයි පැවසෙන්නේ 2022 ජුනි මස සිට 2023 නොවැම්බර් මස දක්වා කාලයේදීය.
මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ 2022 ජුනි 16 ලිපිය අනුව සෞඛ්යාංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කෙරෙන ප්‍රසම්පාදන සහ මිලදී ගත් අයිතම පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල ආවරණ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බව දැක්වේ.
මේ අතර හදිසි ප්‍රසම්පාදන සහ ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන අංශය විසින් නිරීක්ෂණය කරනු ලැබ නොමැති බව ද විගණනයේදී තහවුරු වී ඇත. වැඩි මිලට හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් රජයට ෙවන පාඩුව සම්බන්ධයෙන් ෙවන අවදානම නොසලකා හැර ඇතැයි ද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
මේ අතර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ සියයට 254 ක ඉහළ මිලකට හදිසි මිලදී ගැනීම් යටතේ ප්‍රසම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණ බව නිරීක්ෂණය කර ඇති විගණන නිලධාරීහු, මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි හයකට ආසන්න බව ප්‍රකාශ කරති. මෙමගින් ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු නොකරන ලද ඖෂධයක් මෙරටට ගෙන්වීම සඳහා පිටුබලයක් සපයා ඇති බවද එහි දැක්වේ.
පසුගිය 2022 ඔක්තෝබර් 3 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමට දින හයකට පෙර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ අයිතම 285ක් මිලදී ගැනීමට සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතියෙන් අභිලාෂ කැඳවීමේ ලේඛන සකස් කර ඉදිරිපත් කර තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
එලෙස අභිලාෂ කැඳවූ අයිතමයන්හි අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇතුළත් නොවන ඖෂධ අයිතමද ඇතුළත් කර තිබී ඇතැයි සඳහන්වේ.
මේ අතර පිළිකා සඳහා වන විශේෂිත ඖෂධ ඇගයීම් සඳහා තාක්ෂණික දැනුම ඇති කිසිදු විශේෂඥ වෛද්‍යවරයකු හෝ ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම ඇති ප්රවීණකු සම්බන්ධ කරගෙන නොතිබූ බවද නිරීක්ෂණය කර ඇත.
හදිසි මිලදී ගැනීම් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ දක්වා ඇති පරිදි තාක්ෂණික ඇගයීම් කමිටු පත් නොකළද හදිසි මිලදී ගැනීම් කමිටුව තාක්ෂණික විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවද ඒ අයුරින් කටයුතු කර නැති බව වාර්තාවේ දැක්වේ.
තවද ගුණාත්මක ඖෂධයක්ද යන්න සහතික කෙරෙන ලියාපදිංචි සහතිකයේ අනිවාර්ය අවශ්‍යතාව නොසලකා හැරීමත් තාක්ෂණික ප්රවීණයන්ගේ උපදෙස් ලබා නොගැනීමත් ඖෂධවල ගුණාත්මක තත්ත්වයට අදාළ ලේඛන පරීක්ෂා නොකිරීමත් යන කරුණු හේතුවෙන් ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවදානමක් පවතින බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
තවද ඉන්දියානු ණය යෝජනා ක්රමයේ ඉතිරි අරමුදල් භාවිත කරමින් හදිසි ප්‍රසම්පාදන ලෙස වෛද්‍ය සැපයුම් ආනයනය කිරීමට පෞද්ගලික අංශයේ ආනයනික නියෝජිතයන්ට අවසර ලබා දෙමින් 2022 ඔක්තෝබර් 3 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අබිබවා යමින් සෞඛ්‍ය හදිසි මිලදී ගැනීම් කමිටුව ක්‍රියා කර ඇති බව පවසන වාර්තාව, මිලදී ගත් ඖෂධ සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමවේදයෙන් බැහැරව යමින් දේශීය අරමුදල්වලින් රුපියල් කෝටි 290 ක් ගෙවා ඇතැයි ද සඳහන් කර ඇත.
මේ අතර සෞඛ්‍ය අංශ හදිසි ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 1220ක් වටිනා ඖෂධ අයිතම 280ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගෙන ඇතැයි වාර්තාව සඳහන් කරයි. ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි ක්‍රියාවලිය හා ලියාපදිංචිය අලුත් කිරීමේ ක්‍රියාවලිය පසුබෑමට ලක්ව තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.
සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම හේතුවෙන් ගුණාත්මක තත්ත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව තහවුරු වීමක් නොමැතිව ඖෂධ රටට ආනයනය කිරීමේ අවදානමක් පවතින බවත්, ගුණාත්මක තත්ත්වය පිළිබඳව ගැටලු ඇති බව අනාවරණය කර ගන්නා අවස්ථාව වන විට එම ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිත කර ඇති බවත් විගණනයේදී නිරීක්ෂණ විය.
2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ඖෂධ 248ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත්, ඖෂධ 173ක් භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් විගණන කාර්යාලය පවසයි. ඒ අනුව ඖෂධ ගැටලු ඇතිවූ මුළු අවස්ථා ගණන 448කි. ඖෂධයක මිල නියම කිරීම අධිකාරිය සතු වුවත් එම කර්තව්‍යය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් උපරිම සිල්ලර මිලක් නියම නොවූ ඖෂධ 765 ක් වෙළඳපොළේ පවතින බව විගණනයේදී නිරීක්ෂණය කර ඇත. මේ අතර ජාතික මට්ටමේ පර්යේෂණාගාරයක ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයේ සහ පරීක්ෂණ ප්‍රතිඵල කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි ආකාරයේ වාතාවරණයක් ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයේ නිර්මාණය වී ඇති බව ද නිරීක්ෂණය කර ඇත.
එහි මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රීයව පැවතුණ අතර, ඇතැම් අංශවල සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර ද අක්‍රීයව පැවතීම හේතුවෙන් රසායනාගාර උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාවක් නොතිබුණු බව ද වාර්තාවේ සඳහන් වේ. ජල හා අපවහන නළවලින් ජලය කාන්දු වීම හේතුවෙන් අපිරිසිදු වාතාවරණයක් නිර්මාණය වී තිබූ බව ද එහි දැක්වේ.
සාම්පල පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීම හේතුවෙන් තත්ත්වය පිළිබඳ තහවුරුවක් නොමැති ඖෂධ රටට ආනයනය කෙරෙන බව විගණනයේදී නිරීක්ෂණය කර ඇත. තත්ත්වය පිළිබඳ තහවුරුවක් නොමැති ඖෂධ මෙරටට ආනයනය කරන බවත් පිළිකා සඳහා ආනයනය කරන ඖෂධ රෝහල්වලට බෙදාහැරීමට පෙර තත්ත්වය පිළිබඳ පරීක්ෂාවක් නොකරන බවත් විගණන නිලධාරීහු පවසති. එවැනි ඖෂධ භාවිතයෙන් රෝගීන්ට සිදුවන හානිය මැනිය නොහැකි බවත් එමගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ යහ පැවැත්ම කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරන බව නිරීක්ෂණය කර ඇත.
හෘද, අක්මා, වකුගඩු රෝග හා අධික රුධිර පීඩන වැනි රෝග තත්ත්වයන් සඳහා භාවිත කරන ෆොරොසිමයිඩ් සිරප් බෝතල් 6000 ක තොගයක් තත්වයෙන් අසමත් බවත් අසමත් බව දැනගන්නා විටත් එම ඖෂධවලින් සියයට 98ක් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර තිබූ බවත් විගණනයේදී හෙළිවී ඇත.
එසේම මහජනතාවට සාධාරණ මිලකට ඖෂධ දෙන බවට තහවුරු කිරීමට ද ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
හදිසි මිලදී ගැනීම සඳහා යොමුවීමට නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අකාර්යක්ෂමතාව හේතු වී ඇත්නම් එම නිලධාරීන්ට විරුද්ධව ද ක්‍රියාමාර්ග ගතයුතු බවටත්, හදිසි මිලදී ගැනීම් නිසා රජයට සිදුවූ අලාභය එම වගකිවයුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටත් නිර්දේශ කර ඇත.